රතු සෙවණැල්ල ❤️ - Chapter 2

by Uma

නිතුර්ය නින්දට ගියා නොව, විඩාවත් සමඟ පොරබදමින් සිටි ඔහුගේ මනස මහා අඳුරු ආගාධයකට ඇද වැටුණාක් මෙන් විය.

ඔහු නැවතත් සිටියේ සහස්‍ර උද්‍යානයේ ය. එහෙත් මේ ඔහු දන්නා සුන්දර උද්‍යානය නොවේ. එහි වූ සියලුම නා ගස්වල කොළ හැලී ගොස්, වියළි අතු ඉහළට එසවී තිබුණේ අහසට කරන යම් ශාපයක් මෙනි. අහසේ තරු නොතිබුණි. ඒ වෙනුවට මුළු අහසම වසාගෙන තිබුණේ ලේ පැහැති, යෝධ සඳ මණ්ඩලයකි. රුහිරු පැහැති සඳ එළියෙන් මුළු ලෝකයම රතු පැහැයෙන් නහවා තිබුණි.

"නිතු..."

සුළඟ සමඟ මුසු වූ ඒ හඬ ඈතින් ඇසුණි. නිතුර්ය වටපිට බැලුවේය.

ඈතින්, වියළි නා ගස් අතරින්, අර රතු සෙවණැලි රුව සෙමෙන් ඇවිද යනු ඔහු දුටුවේය. මෙවර ඇය දුවන්නේ නැත. ඇය පාවෙන්නාක් මෙන් ඔහුගෙන් ඈතට යයි.

"රිහාර්යා!"

නිතුර්ය ඇය පසුපස දිව ගියේය. නමුත් ඔහුට දැනුනේ ඔහුගේ කකුල් පොළොවට ඇලී ඇති බවකි. පොළොව තාර මෙන් ඇලෙන සුළු විය. ඔහු බලෙන්ම පාද ඇද දමමින් ඉදිරියට ගියේය.

"යන්න එපා! මට කතා කරන්න ඕන!" ඔහු කෑගැසුවේය.

රතු සෙවණැල්ල හදිසියේම නතර විය. ඇය සෙමෙන් ඔහු දෙසට හැරුණාය. සඳ එළිය ඇගේ මුහුණට වැටුණි.

නිතුර්යගේ හුස්ම නතර විය. ඒ රිහාර්යා ය.

නමුත් ඇය සිටියේ රිය අනතුර සිදුවූ මොහොතේ තිබූ ස්වභාවයෙනි. ඇගේ නළලෙන් ගලා ගිය රුහිරු ධාරාව රතු කබාය දිගේ පහළට ගලා ගියේය. ඇගේ දෑස්වල තිබුණේ හිස් බැල්මකි. කණාමැදිරි එළියක් මෙන් දිලිසෙන ඒ දෑස් නිතුර්යගේ ආත්මය විනිවිද යන බවක් දැනිණි.

"ඇයි නිතු... ඇයි ඔයා මාව අත ඇරියේ?" ඇගේ හඬ ගොරෝසු ය. එය පොළොව යටින් එන හඬක් මෙන් විය.

"මම අත ඇරියේ නෑ! මම හැමදාම ඔයා වෙනුවෙන් හිටියා!" නිතුර්ය හඬමින් කෑගැසුවේය. ඔහු ඇයව වැළඳ ගැනීමට දෑත් දිගු කළේය.

නමුත් ඇය සිනාසුණාය. ඒ සිනහව විරූපී විය. "එහෙනම් ඇයි ඔයා අද රෑ එතනට එන්නේ? ඔයා හොයන්නේ මාවද? නැත්නම් මගේ මරණයද?"

ඇය අහස දෙසට ඇඟිල්ල දිගු කළාය. නිතුර්ය අහස දෙස බැලුවේය. අර යෝධ රතු සඳ මණ්ඩලය මැදින් කළු පැහැති දියරයක් ගලා එන්නට විය. එය ලේ වැස්සක් මෙන් මුළු උද්‍යානයම යට කරමින් තිබුණි.

"බේරගන්න! නිතුර්ය මාව බේරගන්න!" රිහාර්යාගේ හඬ දැන් බියෙන් පිරී තිබුණි.

නිතුර්ය ආපසු ඇය දෙස බලන විට, රතු සළුව පමණක් බිම තිබුණි. ඇය අතුරුදහන් ය. ඒ වෙනුවට රතු සළුව තුළින් දහස් ගණන් කළු කුහුඹුවන් එළියට පැමිණ නිතුර්යගේ ඇඟ දෙසට එන්නට විය.

"නෑ... නෑ...!!!"

නිතුර්ය ගැස්සී අවදි විය.

ඔහු හති දමමින් ඇඳ මත වාඩි විය. මුළු ඇඟම දහඩියෙන් තෙත් වී තිබුණි. කාමරයේ ජනේලය තුළින් උදෑසන හිරු එළිය කාමරයට වැටී තිබුණද, ඔහුගේ සිතේ තවමත් තිබුණේ අර රුහිරු සඳ එළියේ අඳුරු සෙවණැල්ලයි.

"හීනයක්..." ඔහු නළල පිස දමා ගත්තේය. හදවත තවමත් වේගයෙන් ගැහෙයි.

ඔහු ඇඳ අසල තිබූ වතුර වීදුරුව එක හුස්මට බීගෙන ගියේය. එය නිකම්ම නිකන් හීනයක් නොවේ. එය අනතුරු ඇඟවීමකි. රිහාර්යා සිහිනයෙන් පැවසූ දෙය ඔහුගේ කන්වල දෝංකාර දෙන්නට විය. 'ඔයා හොයන්නේ මාවද? නැත්නම් මගේ මරණයද?'

නිතුර්ය දුරකථනය අතට ගත්තේය. වෙලාව උදෑසන 9.30 යි. 'රතු සෙවණැල්ල' නමින් සේව් කළ අංකයෙන් අලුත් පණිවිඩයක් නැත. ඊයේ රාත්‍රියේ ආ පණිවිඩය තවමත් එලෙසම ඇත.

"හෙට රෑ 8ට 'රෙඩ් මූන්' ක්ලබ් එකට එන්න."

ඔහු ඇඳෙන් බැස ජනේලය ලඟට ගියේය. පහළ පාරේ මිනිසුන් කාර්යබහුලව එහා මෙහා යති. ලෝකය සාමාන්‍ය පරිදි ගලා යයි. නමුත් නිතුර්යගේ ලෝකය අද රාත්‍රියේ වෙනස් වීමට නියමිතය.

ඔහුගේ සිතේ දෙගිඩියාවක් ඇති විය. සිහිනයෙන් දුටු දෙය සත්‍යයක් නම්, ඔහු මේ යන්නේ මරණයේ කටටද? නැතහොත් තමාගේ නැතිවූ ආදරය සොයාගෙනද?

"මොන දේ වුණත් මම යනවා," ඔහු ජනේලයේ වීදුරුව මත තමාගේ ප්‍රතිබිම්බය දෙස බලා කියා ගත්තේය. "රිහාර්යා ජීවත් වෙනවා නම්, මම එයාව හොයාගන්නවා. යක්ෂයෙක් එක්ක ගනුදෙනු කරන්න වුණත් කමක් නෑ."

ඔහු නාන කාමරයට ගියේ උණුසුම් වතුරෙන් ගත සෝදා ගැනීමටය. නමුත් වතුර කරාමයෙන් ගලා ආ වතුර පහර දෙස ඔහු මොහොතක් බලා සිටියේය. තත්පරයකට එය ඔහුට පෙනුනේ රතු පැහැති ලේ ධාරාවක් ලෙසිනි. ඔහු දෑස් තදින් පියාගෙන නැවත ඇරියේය. එය පිරිසිදු වතුර ය.

මනස ඔහුට විහිළු කරයි. අද රාත්‍රිය වන විට ඔහු තමාගේ සිහිය එළඹාගෙන සිටිය යුතුය. 'රෙඩ් මූන්' සමාජ ශාලාව යනු සාන්තුවරයන් ගැවසෙන තැනක් නොවන බව ඔහු දනී.

නාන කාමරයෙන් එළියට පැමිණි නිතුර්ය, ඇඳ මත තිබූ ඇඳුම් කිහිපයක් අපිළිවෙලට ඇඳගත්තේය. ඔහුගේ සිත පුරා දිව ගියේ අද රාත්‍රියේ සිදු වන්නට යන හමුවීම ගැනය. නමුත් ඊට පෙර ඔහුට මුහුණ දීමට තවත් සටනක් විය. ඒ ඔහුගේ දෙමාපියන්ය.

ඔහු කාමරයෙන් පහළ මාලයට බසින විට, කෑම කාමරයෙන් ඉඳි ආප්ප සහ පොල් සම්බෝල සුවඳ වහනය විය. වෙනදාට එම සුවඳ ඔහුගේ බඩගින්න අවුලුවන නමුත්, අද එය ඔහුට දැනුනේ අපුලක් ලෙසය.

කෑම මේසයේ පියා පුවත්පතක් කියවමින් සිටියේය. මව, කුස්සියේ සිට උණුසුම් කිරි වීදුරුවක් රැගෙන පැමිණියාය. නිතුර්ය දුටු විගස ඇගේ මුහුණේ තිබූ කම්පාව මඳක් ලිහිල් විය.

"පුතා..." මව හෙමින් මේසය අසලට පැමිණියාය. "ඊයේ රෑ කෑවෙත් නෑ නේද? වාඩි වෙන්න, මම උණුවෙන් කිරි ටිකක් හැදුවා."

නිතුර්ය නිහඬවම පුටුව ඇදගෙන වාඩි විය. පියා පුවත්පත පහත් කර කණ්ණාඩි රාමුවට උඩින් නිතුර්ය දෙස බැලුවේය. ඒ බැල්ම තියුණුය.

"කසුන් කතා කළා උදේ," පියා හදිසියේම නිහඬතාවය බින්දේය.

නිතුර්යගේ අතේ තිබූ වතුර වීදුරුව මඳක් ගැස්සී ගියේය. "මොකද එයා කිව්වේ?"

"එයා කිව්වේ උඹ ඊයේ රෑ ආයෙත් අර පාක් එකට ගියා කියලා. වැස්සෙ තෙමි තෙමි මොනවා කරනවද මන්දා." පියා පුවත්පත මේසය මත තැබුවේය. "නිතුර්ය, උඹ දැන් පොඩි ළමයෙක් නෙවෙයි. ඔය පිස්සුව නවත්තන්න කාලේ හරි. මාස හයක් ගියා. මැරුණු මිනිස්සු ආයේ එන්නෙ නෑ."

"සුනිල්... දරුවට පාඩුවේ ඉන්න දෙන්නකෝ," මව මැදට පැන්නාය. ඇය නිතුර්යගේ හිස අතගෑවාය. "පුතා, තාත්තා කියන දේත් ඇත්ත. අපි මේ කියන්නේ ඔයා ගැන දුක හිතිලා. ඔයා ඔහොම දිය වෙවී යනවා අපිට බලන් ඉන්න බෑ."

නිතුර්ය බිම බලා ගත්තේය. දෙමාපියන්ගේ මේ ආදරය සහ උපදෙස් ඔහුට මේ මොහොතේ දැනුනේ මහා බරක් ලෙසිනි. ඔවුන් කියන්නේ ඇත්ත බව ඔහු දනී. නමුත් ඊයේ රාත්‍රියේ තමා දුටු දේ, තමාට ලැබුණු පණිවිඩය ගැන ඔවුන්ට කියන්නේ කෙසේද? ඔවුන් එය කෙසේවත් විශ්වාස නොකරනු ඇත. ඔහුට පිස්සු යැයි සිතා ගෙදර කාමරයක සිර කිරීමට වුවද ඉඩ ඇත.

"මම දන්නවා අම්මේ..." නිතුර්ය අමාරුවෙන් වචන ගලපා ගත්තේය. "මට ටිකක් කාලය ඕන."

"කාලය තමයි ඕන. හැබැයි ඒ කාලය ගෙවන්න ඕන ජීවත් වෙන මිනිස්සු එක්ක," පියා තරයේ කීවේය. "ලබන මාසේ ඉඳන් උඹ ආපහු ඔෆිස් යන්න ඕන. මම බොස් එක්ක කතා කරලා තියෙන්නේ. එතකන් ගෙදරට වෙලා ඉන්නවා."

නිතුර්ය හිස එසවූයේය. අද රාත්‍රිය ගැන කුමක් කියන්නද?

"තාත්තේ, මම අද රෑට කසුන්ලාගේ ගෙදර යනවා. එහේ පොඩි පාටියක්."

බොරුව ඔහුගේ මුවින් පිටවූයේ නිරායාසයෙනි. පියා සැකයෙන් මෙන් බැලුවද, මව ඊට ඉක්මනින් එකඟ වූවාය.

"ඒක හොඳයි. කසුන් පුතා එක්ක ඉන්න එක හොඳයි. ගෙදරට වෙලා කල්පනා කරනවට වඩා යාළුවොත් එක්ක ඉන්න එක හිතට සුවයක් වෙයි," මව සතුටින් කීවාය.

නිතුර්යගේ හදවතට සියුම් වේදනාවක් දැනිණි. අහිංසක මව තමාගේ බොරුව විශ්වාස කරන්නේ තමාගේ යහපත පතාය. නමුත් තමා මේ යන්නේ සාදයකට නොව, මරණයේ අභිරහසක් සොයාගෙනය.

"හැබැයි රෑ වෙන්න කලින් ගෙදර එන්න ඕන. ආයේ රස්තියාදු වෙන්න බෑ," පියා අවවාද කළේය.

"හරි."

නිතුර්ය කිරි වීදුරුවෙන් උගුරක් බී නැගිට්ටේය. "මම කාමරේට යනවා. පොඩි වැඩක් තියෙනවා."

ඔහු පඩිපෙළ නගින විට, පහළින් දෙමාපියන් කුටු කුටු ගාන හඬ ඔහුට ඇසුණි.

"සුනිල්, දරුවට සැර කරන්න එපා. එයා තාම හිත හදාගෙන නෑ."

"හිත හදාගන්න නෙවෙයි මැණිකේ, මට බය එයාට මේ යන විදිහට පිස්සු හැදෙයි කියලා. මම දැක්කා එයා ඊයේ රෑ තනියම කාමරේ ඇතුලේ කාත් එක්කද කතා කරනවා."

නිතුර්ය පඩිපෙළ මැද නතර විය. පියාගේ වචන පපුවට කිනිස්සක් බැස්සුවාක් මෙන් විය. තමා තනිවම කතා කළා? ඔහුට එවැන්නක් මතක නැත. ඔහු ඊයේ රාත්‍රියේ කතා කළේ රිහාර්යාගේ ඡායාරූපයට පමණි. නැත්නම්... තමා නොදැනුවත්වම මනස විකෘති වීගෙන එනවාද?

කෙසේ වෙතත්, දැන් ආපසු හැරීමක් නැත. අද රාත්‍රියේ 'රෙඩ් මූන්' ක්ලබ් එකේදී එක්කෝ රිහාර්යා හමුවනු ඇත. නැතහොත් තමාගේ පිස්සුව සනාථ වනු ඇත.

රාත්‍රී හතයි තිහේ කණිසම වැදෙද්දී නිතුර්ය නිවසෙන් පිටත් විය. ඔහු හැඳ සිටියේ තද කළු පැහැති කමිසයක් සහ නිල් පැහැති ඩෙනිම් කලිසමකි. අම්මා කුස්සියේ සිට "පරිස්සමෙන් ගිහින් එන්න පුතා" යැයි කී වදන්වලට හූමිටි තැබූ ඔහු, ඉක්මන් පියවරින් ප්‍රධාන පාර දෙසට ඇවිද ගියේය.

නගරය පුරා තවමත් රජ කළේ මූසල බවකි. ඊයේ රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව අද රාත්‍රියටත් ආරාධනා කරමින් සිටියේය. අහස කළු වලාකුළු වලින් බර වී තිබුණි. නිතුර්ය ත්‍රිරෝද රථයක් නවතා ගත්තේය.

"කොල්ලුපිටියට..."

ත්‍රිරෝද රථය වේගයෙන් ඉදිරියට ඇදුණි. නගරයේ විදුලි පහන් එළි එකින් එක පසුපසට යද්දී, නිතුර්යගේ හදවතේ ගැස්ම ක්‍රමයෙන් වැඩි විය. ඔහු මේ යන්නේ නිකම්ම නිකන් සමාජ ශාලාවකට නොවේ. ඔහු යන්නේ අතීතය සහ වර්තමානය එකට හමුවන මංසන්ධියකටය.

'රෙඩ් මූන්' (Red Moon) සමාජ ශාලාව පිහිටා තිබුණේ කොළඹ නගරයේ තරමක් පටු වීදියක කෙළවරකය. එය පිටතින් බලන විට අබලන් ගොඩනැගිල්ලක් මෙන් පෙනුනද, එහි ප්‍රධාන දොරටුවට ඉහළින් තිබූ යෝධ රතු නියොන් පුවරුව කාගේත් අවධානය දිනා ගන්නා සුළු විය. අඩ සඳක හැඩය ගත් ඒ රතු ආලෝකය, අඳුරේ දැල්වෙන යක්ෂ ඇසක් මෙන් නිතුර්ය දෙස බලා සිටියේය.

නිතුර්ය ත්‍රිරෝද රථයෙන් බැස ගත්තේය. වෙලාව රාත්‍රී හතයි පනස් පහයි.

ප්‍රධාන දොරටුව අසල යෝධ ශරීරයක් ඇති මුරකරුවන් දෙදෙනෙකු සිටගෙන සිටියහ. ඔවුන්ගේ දැඩි බැල්ම ඇතුලට යන එන කා මතත් යොමු වී තිබුණි. මෙතැනට පැමිණෙන පිරිස දෙස බලන විට මෙය කොතරම් සංකීර්ණ තැනක්දැයි නිතුර්යට වැටහුණි. ඉහළ පැළැන්තියේ වාහන වලින් බසින සල්ලිකාර තරුණයන් මෙන්ම, මුහුණ වසාගෙන සැක කටයුතු ලෙස හැසිරෙන පිරිස්ද ඒ අතර වූහ.

නිතුර්ය ගැඹුරු හුස්මක් ගෙන දොරටුව දෙසට ගියේය.

"ID එක?" එක් මුරකරුවෙක් ඔහුගේ ගමන හරස් කළේය.

නිතුර්ය පසුම්බියෙන් හැඳුනුම්පත පෙන්වූ පසු මුරකරුවා හිස සැලුවේය. "යන්න."

ඔහු දොරටුවෙන් ඇතුළු විය.

දොර ඇරෙද්දී පළමුව නිතුර්යව පිළිගත්තේ කන් බිහිරි කරවන සංගීත ඝෝෂාවයි. ඩ්‍රම්ස් හඬ පපුව පසාරු කරගෙන යන තරම් ප්‍රබලය. ඇතුළත පරිසරය දුම් වලාවකින් වැසී ගොස් තිබුණි. රතු, නිල් සහ දම් පැහැති ලේසර් කිරණ ඒ දුම් වලාව අතරින් වේගයෙන් එහා මෙහා දිව ගියේ පිස්සු වැටුණු ආලෝක ධාරාවන් ලෙසිනි.

සිය ගණනක් මිනිසුන් එකිනෙකා හා ගැටෙමින්, මත්පැන් වීදුරු අතැතිව නටමින් සිටියහ. ඔවුන්ගේ මුහුණුවල තිබුණේ සතුටක්ද, මත් ගතියක්ද යන්න වෙන් කර හඳුනාගත නොහැකි විය. මේ ඝෝෂාකාරී, වර්ණවත් ලෝකය තුළ නිතුර්යට දැනුනේ මහා තනිකමකි. ඔහුගේ ලෝකය අළු පැහැති එකකි. මේ මිනිසුන්ගේ සතුට ඔහුට අප්‍රසන්න විය.

ඔහු සෙනඟ අතරින් රිංගාගෙන ශාලාවේ කෙළවරකට ගියේය. ඔහුට අවශ්‍ය වූයේ මුළු ශාලාවම පෙනෙන තැනකි.

"තනියම එන්න..." පණිවිඩයේ තිබුණේ එලෙසයි.

නිතුර්ය බාර් කවුන්ටරය අසල හිස්ව තිබූ උස් පුටුවක වාඩි විය. කවුන්ටරයේ සිටි සේවකයා ඔහු දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයෙනි.

"සෝඩා එකක්," නිතුර්ය කෙටියෙන් පැවසුවේය. සිහිය විකල් කර ගැනීමට ඔහුට අවශ්‍ය නැත.

වෙලාව රාත්‍රී 8:00 යි.

ඔහු වටපිට බැලුවේය. නටන පිරිස අතර, අඳුරු මුළු වල, බැල්කනියේ... කොහේ හෝ ඒ රතු සළුව තිබිය යුතුය. නැතහොත් තමා දන්නා හඳුනන මුහුණක් තිබිය යුතුය.

විනාඩි පහක් ගත විය. දහයක් ගත විය. කිසිවෙක් නැත.

නිතුර්යගේ ඉවසීම හීන වෙමින් තිබුණි. මෙය කසුන් කීවාක් මෙන් විහිළුවක්ද? කවුරුන් හෝ තමා දෙස බලා සිනාසෙනවාද?

එකවරම, බාර් කවුන්ටරය මත තිබූ ඔහුගේ අත අසලට යමෙකු වීදුරුවක් තැබුවේය. එය ලේ පැහැති රතු වයින් වීදුරුවකි.

"මම මේක ඕඩර් කළේ නෑ," නිතුර්ය සේවකයා දෙස බලා කීවේය.

සේවකයා උරහිස් හැකිලුවේය. "මම නෙවෙයි සර් දැම්මේ. අර එහා පැත්තේ හිටපු කෙනෙක් මේක සර්ට දෙන්න කිව්වා."

"කවුද?" නිතුර්ය වහාම සේවකයා පෙන්වූ දෙස බැලුවේය.

සෙනඟ අතරින් ඈතට යන සිහින් සිරුරක් ඔහු දුටුවේය. ඇය ඇඳ සිටියේ රතු සළුවක් නොවේ. ඇඟටම ඇලුණු කළු පැහැති දිගු ගවුමකි (Black Evening Gown). නමුත් ඇගේ කොණ්ඩය... ඒ දිගු, රැලි සහිත කොණ්ඩය... එය ඔහුට හුරු පුරුදුය.

ඇය පිරිස අතරින් රිංගා VIP කොටස දෙසට යන පඩිපෙළ නැග්ගාය. පඩිපෙළ මුදුනේදී ඇය මොහොතකට නැවතී පහළ බැලුවාය. ක්ෂණිකව දැල්වුණු ස්ට්‍රෝබ් ලයිට් එළියෙන් නිතුර්ය ඇගේ මුහුණ දුටුවේය.

ඒ රිහාර්යා නොවේ.

නමුත් ඇගේ මුහුණේ තිබුණේ රිහාර්යාගේ දෑස් ය.

නිතුර්ය වහාම පුටුවෙන් නැගිට්ටේය. ඔහු වීදුරුව එතැනම දමා ඇය පසුපස දිව ගියේය.

"Hey! නවතිනවා!"

ඔහු පඩිපෙළ ළඟට එන විට ආරක්ෂකයන් දෙදෙනෙක් ඔහුගේ මග හරස් කළහ. "සර්, උඩට යන්න අවසර නෑ. ඒක ප්‍රයිවට් ඒරියා එකක්."

"මට අර ගෑනු ළමයව හම්බවෙන්න ඕන! එයා මට එන්න කිව්වා!" නිතුර්ය කෑගැසුවේ සංගීත ඝෝෂාව පරදවමිනි.

ආරක්ෂකයා සමච්චලයට මෙන් සිනාසුණේය. "මෙතන හැමෝම කියන්නේ ඕක තමයි මහත්තයෝ. මෙම්බර්ශිප් කාඩ් එක නැත්නම් යන්න බෑ."

නිතුර්ය අසරණව පඩිපෙළ දෙස බැලුවේය. අර කාන්තාව දැන් නොපෙනී ගොස්ය. නමුත් පඩිපෙළ මත ඇය වැටෙන්නට හැර ගිය යමක් දිලිසෙමින් තිබුණි.

ආරක්ෂකයන්ගේ අවධානය වෙනතක යොමු වූ මොහොතේ, නිතුර්ය වේගයෙන් අත දමා පඩිපෙළ මත තිබූ ඒ වස්තුව ඇහිඳ ගත්තේය.

එය යතුරකි. පැරණි, මලකඩ කෑ යතුරක්. එහි ප්ලාස්ටික් ටැග් එකේ අංකයක් ලියා තිබුණි: "204".

සහ ඊට යටින් කුඩා අකුරින් මෙසේ ලියා තිබුණි: 'සත්‍යය ඇත්තේ නිහඬතාවය තුළයි.'

නිතුර්යගේ දෑස් අතේ තිබූ යතුර මතත්, පඩිපෙළ මුදුනේ සිටින ආරක්ෂකයන් මතත් මාරුවෙන් මාරුවට දිව ගියේය. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වීම කළ නොහැක්කකි. එහෙත්, අර කළු ගවුම ඇඳගත් කාන්තාව ඔහුට මේ යතුර ලබා දුන්නේ නිකම්ම නොවේ. ඇය බලාපොරොත්තු වන්නේ ඔහු කෙසේ හෝ මෙය භාවිතා කර ඇය වෙත පැමිණෙනු ඇතැයි කියාය.

"සර්, බාර් එකෙන් ඈත් වෙලා ඉන්න," ආරක්ෂකයා නැවතත් ගොරනාඩු කළේය.

නිතුර්ය පසුබසින බවක් පෙන්වා සෙනඟ අතරට රිංගුවේය. ඝෝෂාකාරී සංගීතය සහ මිනිසුන්ගේ පොරබැදීම ඔහුට කදිම ආවරණයක් විය. ඔහු නටන පිරිස අතරින් හිමින් සීරුවේ සමාජ ශාලාවේ අඳුරු මුල්ලක් දෙසට ගමන් කළේය. ඔහුගේ ඉලක්කය වූයේ මුළුතැන්ගෙය හෝ සේවකයන් භාවිතා කරන දොරටුවක් සොයා ගැනීමයි.

වාසනාවකට මෙන්, බීම බෝතල් පෙට්ටියක් කර තබාගත් සේවකයෙකු කුඩා පැති දොරක් විවෘත කරගෙන ඇතුළට යනු ඔහු දුටුවේය. දොර වැසෙන්නට පෙර නිතුර්ය වේගයෙන් එතැනට පැන දොර අල්ලා ගත්තේය.

"කවුද...?" සේවකයා හැරී බලද්දී නිතුර්ය ඔහුගේ කටට රුපියල් පන්දාහේ නෝට්ටුවක් ඔබනවාත් සමඟම, ඇඟිල්ල තොල් මත තබා "ෂ්..." යැයි සංඥා කළේය.

සේවකයා මුදල් නෝට්ටුව දෙස බලා, කරබාගෙන යන්නට ගියේය. නිතුර්ය පටු කොරිඩෝව දිගේ ඉදිරියට දිව ගියේය. එය සේවකයන් ගමන් කරන මාර්ගයයි. සිමෙන්ති පඩිපෙළක් ඉහළට විහිදී තිබුණි.

ඔහු පඩිපෙළ දෙක තුන එකවර පනිමින් ඉහළ මාලයට ළඟා විය.

ඉහළ මාලයට ගොඩවූ සැණින් පහළ තිබූ ඝෝෂාකාරී සංගීතය මැකී ගියේය. මෙය VIP ප්‍රදේශයයි. බිමට ඝනකම් රතු පලසක් එලා තිබූ අතර, බිත්ති ශබ්ද නොඇසෙන සේ (Soundproof) සකස් කර තිබුණි. මුළු කොරිඩෝවම අද්භූත නිහඬතාවක ගිලී තිබුණි. යතුරේ ටැග් එකේ තිබූ වදන් නිතුර්යගේ මතකයට ආවේය. 'සත්‍යය ඇත්තේ නිහඬතාවය තුළයි.'

ඔහු කාමර අංක පරීක්ෂා කරමින් ඉදිරියට ගියේය. 201, 202, 203...

අවසානයේ කොරිඩෝවේ කෙළවර අංක 204 දොර හමුවිය.

නිතුර්ය මොහොතක් නතර වී හුස්ම පාලනය කර ගත්තේය. ඔහුගේ හදවත පපුව පසාරු කරගෙන එළියට පනින්නට දඟලයි. මේ දොරෙන් එහා පැත්තේ ඇත්තේ කුමක්ද? රිහාර්යා ද? නැත්නම් මරණය ද?

ඔහු වෙව්ලන දෑතින් යතුර දොරේ යතුරු හිලට ඇතුළු කර කරකැවීය.

ක්ලික්.

දොර අගුල ඇරින.

නිතුර්ය සෙමෙන් දොර තල්ලු කරගෙන ඇතුළට ගියේය. කාමරය ඇතුළත අඳුරුය. දැල්වෙමින් තිබුණේ මේසයක් මත තිබූ කුඩා ලාම්පුවක් පමණි. ඒ අඳුරු ආලෝකයෙන් ඔහු දුටුවේ කාමරයේ මැද තිබූ විශාල සෝෆාව මත වාඩි වී සිටින රුවකි.

ඇය අර කළු ගවුම ඇඳගත් තැනැත්තියයි. ඇය සිටියේ වීදුරු ජනේලය දෙස බලාගෙනය. ඇගේ අතේ සිගරට් එකක් දුම් දමමින් තිබුණි.

"ඔයා පරක්කුයි නිතුර්ය," ඇය නොහැරී කීවාය. ඇගේ කටහඬ... එය රිහාර්යාගේ කටහඬට බොහෝ සමාන නමුත් ඊට වඩා ගැඹුරු, රළු ස්වභාවයක් ගත්තේය.

නිතුර්ය දොර වසා ඉදිරියට අඩියක් තැබුවේය. "ඔයා කවුද? ඇයි මට එන්න කිව්වේ?"

කාන්තාව සෙමෙන් පුටුව කරකවා ඔහු දෙසට හැරුණාය.

නිතුර්යගේ දෙපා පණ නැති වී ගියේය.

ඇගේ මුහුණ... එය රිහාර්යාගේ මුහුණම ය. ඇස්, නාසය, තොල්... සියල්ල එක සමානය. එකම වෙනසකට තිබුණේ ඇගේ වම් ඇසට පහළින් තිබූ කුඩා කැළැල් පාරක් සහ ඇගේ දෑස්වල තිබූ කූට, අනුකම්පා විරහිත බැල්මයි. රිහාර්යාගේ දෑස්වල තිබූ අහිංසක බව මේ දෑස්වල අහලකවත් නැත.

"රි... රිහාර්යා?" නිතුර්ය ගොත ගැසුවේය.

කාන්තාව සමච්චලයට මෙන් සිනාසුණාය. ඇය සිගරට් එක අළු බඳුනට තද කර නිවා දැමුවාය.

"රිහාර්යා මැරුණා නිතුර්ය. ඔයා තාම ඒක පිළිගන්න ලෑස්ති නැද්ද?"

"එහෙනම් ඔයා කවුද? ඔයා කොහොමද මගේ නම දන්නේ? ඇයි අර බ්‍රේස්ලට් එක දාගෙන හිටියේ?" නිතුර්ය ප්‍රශ්න වැලක් මුදා හැරියේය.

ඇය නැගිට ඔහු වෙතට පිය මැන්නාය. ඇගේ සුවඳ... එය රිහාර්යා භාවිතා කළ පිනි රෝස සුවඳම ය. නිතුර්යගේ ඔලුව අවුල් වී යන බවක් දැනිණි.

"මගේ නම ශායා," ඇය ඔහු ඉදිරිපිට නතර වූවාය. "මම රිහාර්යාගේ නිවුන් සහෝදරිය."

"මොකක්?" නිතුර්ය අන්දමන්ද විය. "රිහාර්යාට සහෝදරියක් හිටියේ නෑ. එයා පවුලේ තනි ළමයා. එයා මට හැමදේම කියලා තියෙන්නේ."

"එයා ඔයාට කිව්වේ එයාට කියන්න අවසර තිබුණු දේවල් විතරයි," ශායාගේ හඬ රහසක් මෙන් පහත් විය. "රිහාර්යා ඔයාට ආදරේ කළා. ඒක ඇත්ත. ඒත් එයා ඔයාට නොකිව්ව ලොකු රහසක් එයාගේ ජීවිතේ තිබුණා. ඒ රහස නිසා තමයි එයාට මැරෙන්න වුණේ."

"මැරෙන්න වුණේ? ඒක ඇක්සිඩන්ට් එකක්..."

"ඇක්සිඩන්ට් එකක්?" ශායාගේ දෑස් ගිනි ගත්තේය. "ඔයා හිතනවද පාරේ යන ලොරියක් අහම්බෙන් ඇවිත් එයාගේ කාර් එක කුඩු කළා කියලා? නෑ නිතුර්ය. ඒක මිනීමැරුමක්. ප්ලෑන් කරපු මිනීමැරුමක්."

නිතුර්යගේ ලෝකය දෙදරා ගියේය. ඔහු පසුපසට වී බිත්තියට හේත්තු විය. "කවුද... කවුද එහෙම කරන්නේ? රිහාර්යා කාටවත් කරදරයක් කරපු කෙල්ලෙක් නෙවෙයි."

"එයා කාටවත් කරදරයක් කළේ නෑ. ඒත් එයා දැක්කා දකින්න හොඳ නැති දෙයක්. එයා ළඟ තිබුණා තියෙන්න හොඳ නැති දෙයක්." ශායා සිය අත් බෑගයෙන් යමක් ඉවතට ගත්තාය.

එය පරණ ඡායාරූපයකි. එහි සිටියේ පාසල් වියේ පසුවන රිහාර්යා සහ තවත් නාඳුනන පිරිමි ළමයෙකි. නමුත් ඒ පිරිමි ළමයාගේ පසුබිමේ සිටගෙන සිටි පුද්ගලයා...

නිතුර්ය ඡායාරූපය අතට ගෙන බැලුවේය. ඔහුගේ දෑස් උඩ ගියේය.

"මේ..."

"ඔව්," ශායා හිස සැලුවාය. "මේ ඉන්නේ ඔයාගේ තාත්තා. සුනිල් වික්‍රමසිංහ."

නිතුර්යගේ අතින් ඡායාරූපය බිමට වැටුණි.

"මගේ තාත්තා? තාත්තා කොහොමද රිහාර්යාව අඳුරන්නේ?"

"ඒක තමයි නිතුර්ය අපි හොයාගන්න ඕන," ශායා ඔහුගේ දෑස් දෙස කෙලින්ම බැලුවාය. "රිහාර්යා මැරෙන්න කලින් අන්තිමට කෝල් කළේ මට නෙවෙයි. ඔයාටත් නෙවෙයි. ඔයාගේ තාත්තට. ඒ කෝල් එකෙන් විනාඩි දහයකට පස්සේ තමයි ඒ ලොරිය එයාගේ වාහනේ හැප්පුවේ."

කාමරයේ නිහඬතාවය දැන් මරණීය බියක් බවට පත්ව තිබුණි. තමාගේ ආදරණීය පියා, තමාගේ පෙම්වතියගේ මිනීමරුවා විය හැකිද?

"මට මේක විශ්වාස කරන්න බෑ..." නිතුර්ය හිස දෙපසට වැනුවේය.

"විශ්වාස කරන්න එපා. හොයලා බලන්න," ශායා මේසය මත තිබූ ලැප්ටොප් පරිගණකයක් විවෘත කළාය. "මේ බලන්න. මේක රිහාර්යාගේ cloud backup එකෙන් මට හම්බුණේ."

ඇය වීඩියෝවක් ප්ලේ කළාය. එහි මැවී පෙනුනේ රිහාර්යා ය. ඇය සිටියේ මෝටර් රථය තුළය. ඇය බියෙන් මෙන් කැමරාව දෙස බලයි.

"නිතු... මම දන්නේ නෑ මට මොනවා වෙයිද කියලා. මේ අය මගේ පස්සෙන් එනවා. මම හිතුවේ ඔයාගේ තාත්තා හොඳ කෙනෙක් කියලා. ඒත් එයා... එයා මගෙන් ඉල්ලන දේ මට දෙන්න බෑ. මම මේක ඔයාට එවන්න හදන්නේ. මට කරදරයක් වුණොත්..."

වීඩියෝව හදිසියේම විසන්ධි විය. තිරය කළු වී ගියේය.

නිතුර්ය ගල් ගැසී බලා සිටියේය. තමාගේ මුළු ජීවිතයම බොරුවක් මත ගොඩනැගී ඇතැයි ඔහුට සිතුණි.

"දැන් තේරෙනවද නිතුර්ය?" ශායා ඔහුගේ උරහිසට අත තැබුවාය. "අපි දෙන්නටම එකම හතුරෙක් ඉන්නේ. ඔයාට ඇත්ත දැනගන්න ඕන නම්, මාත් එක්ක එකතු වෙන්න වෙනවා. හැබැයි මතක තියාගන්න... මේ ගේම් එකේදී ඔයාට ඔයාගේ තාත්තා එක්ක වුණත් යුද්ධ කරන්න වෙයි."

"බොරු!"

නිතුර්යගේ කටහඬ කාමරය තුළ දෝංකාර දුන්නේය. ඔහුගේ දෑස්වල තිබුණේ කෝපයක්, කම්පනයක්. තම පියා... කුඩා කල සිට තමාට ලෝකය පෙන්වූ, දැඩි නමුත් ආදරණීය තාත්තා මිනීමරුවෙක් යැයි පිළිගැනීමට ඔහුගේ හෘද සාක්ෂිය ඉඩ දුන්නේ නැත.

"මගේ තාත්තා එහෙම කෙනෙක් නෙවෙයි. ඔයා මොනවා හරි පටලවාගෙන." නිතුර්ය ලැප්ටොප් එක වසා දැමුවේය. "ඔයා මේ හදන්නේ මාව රවට්ටන්න. රිහාර්යා කවදාවත් මට නොකිය එහෙම වීඩියෝ එකක් කාටවත් යවන්නේ නෑ."

ශායා සන්සුන්ව සිටියාය. ඇය නැවතත් පුටුවේ වාඩි වී කකුලක් පිට කකුලක් දාගත්තාය. ඇගේ මුහුණේ තිබුණේ රිහාර්යාගේ රූපයම වුවත්, ඒ බැල්ම අයිස් කුට්ටියක් මෙන් සීතලය.

"ඔයා තාත්තා ගැන ලොකුවට විශ්වාස කරනවා වගේ," ඇය සරදම් ස්වරයෙන් කීවාය. "හොඳයි. මගේ වචන විශ්වාස කරන්න එපා. ඔයාම හොයලා බලන්න."

"කොහොමද?"

"අද රෑට ගෙදර ගිහින් තාත්තාගේ ඔෆිස් රූම් එකට යන්න. එයාගේ මේසයේ දකුණු පැත්තේ ලාච්චුවේ, පොත් අස්සේ හංගලා තියෙන නිල් පාට ෆයිල් එකක් ඇති. ඒකේ නම 'Project Lotus'. ඒක හොයලා බලන්න."

"මම කොහොමද ඔෆිස් රූම් එකට යන්නේ? තාත්තා ඒක ලොක් කරගෙන ඉන්නේ."

ශායා අත් බෑගයෙන් කුඩා කම්බි කැබැල්ලක් වැනි මෙවලමක් සහ තවත් ඡායාරූපයක් මේසය මත තැබුවාය. "මේ යතුර මම හැදුවේ රිහාර්යා එවපු ෆොටෝ එකකින්. තාත්තා යතුර එළියේ තියලා ගිය වෙලාවක රිහාර්යා ඒක ෆොටෝ ගහලා තිබුණා. මේකෙන් ලාච්චුව අරින්න පුළුවන්."

නිතුර්ය ඒ අමුතු යතුර දෙස පිළිකුලෙන් මෙන් බැලුවේය.

"මම මේක ගන්නේ නෑ. මම පොලිසියට යනවා. මේ ඔක්කොම එයාලට කියනවා." ඔහු හැරී දොර දෙසට ගියේය.

"පොලිසියට?" ශායා හඬ නඟා සිනාසුණාය. "නිතුර්ය, ඔයාගේ තාත්තා බිස්නස්මන් කෙනෙක් විතරක් නෙවෙයි. එයාට පොලිසියේ ලොකු ලොකු යාළුවො ඉන්නවා. ඔයා ගිහින් කිව්වොත් වෙන්නේ ඔයාව පිස්සන් කොටුවට දාන එක විතරයි. එතකොට රිහාර්යාට සාධාරණයක් වෙන්නේ කවද්ද?"

නිතුර්යගේ අත දොර අගුල මත නතර විය. ශායා කියන කතාවේ යම් සත්‍යයක් තිබේද? තාත්තාගේ සම්බන්ධකම් ගැන ඔහු නොදන්නවා නොවේ.

"හරි..." නිතුර්ය ආපසු හැරුණේය. ඔහු මේසය මත තිබූ අර අමුතු යතුර අතට ගත්තේය. "මම මේක බලනවා. හැබැයි මේක බොරුවක් කියලා ඔප්පු වුණු ගමන් මම ඔයාව හොයාගෙන එනවා."

ශායා නැගිට ඔහු අසලට පැමිණියාය. ඇය ඔහුගේ කනට කර රහසින් මිමිණුවාය. "පරිස්සමෙන් නිතුර්ය. අද රෑට ඔයා දකින දේ ඔයාගේ මුළු ලෝකයම කණපිට පෙරළයි. ගෙදර ගිහින් කාටවත් සැක හිතෙන්න හැසිරෙන්න එපා."

ඇය ඔහුට සමු නොදී, නැවතත් වීදුරු ජනේලය දෙසට හැරුණාය. නිතුර්ය කාමරයෙන් එළියට පැමිණියේය.

කොරිඩෝවේ නිහඬතාවය දැන් ඔහුට දැනුනේ මරණයේ නිහඬතාවය ලෙසිනි. ඔහු වේගයෙන් පඩිපෙළ බැස පහළට පැමිණියේය. සමාජ ශාලාවේ ඝෝෂාව, නටන මිනිසුන්, විදුලි එළි... සියල්ල ඔහුට පෙනුනේ විකෘති වී ගිය සිහිනයක් මෙනි.

ඔහු සමාජ ශාලාවෙන් එළියට පැමිණි විට වැස්ස තුරල් වී තිබුණි. නමුත් සුළඟ සැර ය. ඔහු පාරේ අයින දිගේ ඇවිද ගියේය. ටික දුරක් ගොස් ත්‍රිරෝද රථයකට නැගුණු ඔහු නිවස දෙසට යන්නට අණ කළේය.

මුළු ගමන පුරාම ඔහුගේ සිතේ ඇඳුණේ තාත්තාගේ රූපයයි. තාත්තා ඇත්තටම රිහාර්යාට තර්ජනය කළාද? "Project Lotus" කියන්නේ කුමක්ද?

නිවසට ළඟා වන විට වෙලාව රාත්‍රී 10:30 පසු වී තිබුණි. මුළු නිවසම අඳුරේ ගිලී ඇත. තාත්තාත් අම්මාත් නින්දට ගොස් ඇති බවට එය සලකුණකි.

නිතුර්ය සෙමෙන් ගේට්ටුව ඇරගෙන ඇතුළු විය. ඔහුට දැනුනේ තමා තමාගේම නිවසට හොරෙන් පැනගත් සොරුන් කණ්ඩායමක සාමාජිකයෙක් කියාය. ඔහු සාලයට ඇතුළු වී සපත්තු ගලවා පසෙක තැබුවේය.

උඩු මහලට යන පඩිපෙළ අසලම තාත්තාගේ කාර්යාල කාමරය (Study Room) පිහිටා තිබුණි. දොර වසා ඇත.

නිතුර්ය වටපිට බැලුවේය. අම්මාගේ කාමරයෙන් පියාගේ ගොරවන හඬ යාන්තමින් ඇසෙයි. ආරක්ෂිතයි.

ඔහු සාක්කුවෙන් ශායා දුන් අර අමුතු යතුර එළියට ගත්තේය. හදවත ඩොක් ඩොක් ගා වේගයෙන් ගැහෙයි. ඔහු සෙමෙන් කාර්යාල කාමරයේ දොර විවෘත කළේය. වාසනාවට දොරට අගුළු දමා තිබුණේ නැත.

කාමරය ඇතුළත දැඩි අන්ධකාරයකි. ජනේලයෙන් වැටෙන වීදි ලාම්පු එළියෙන් කාමරයේ තිබූ පොත් රාක්ක සහ විශාල ලී මේසය යන්තම් පෙනෙයි. මේසය මත තිබූ ලිපිගොනු සහ පෑන් රඳවනය අඳුරු සෙවණැලි මවා පෑවේය.

නිතුර්ය ජංගම දුරකථනයේ විදුලි පන්දම දැල්වූයේ නැත. එළිය වැටුණොත් අසුවිය හැක. ඔහු අතපත ගාමින් මේසය ළඟට ගියේය.

ශායා කීවේ දකුණු පැත්තේ ලාච්චුව කියාය.

ඔහු ලාච්චුව ඇද බැලුවේය. එය අගුළු දමා ඇත.

"දෙවියනේ... මට මේක කරන්න ශක්තිය දෙන්න."

ඔහු වෙව්ලන දෑතින් ශායා දුන් කුඩා යතුර ලාච්චුවේ හිලට ඇතුළු කළේය. එය හරියටම ගැලපෙයිද? ඔහු එය වමට කරකැවීය.

ටක්.

සියුම් ශබ්දයක් සමඟ අගුල ඇරුණි. ශායා කීවේ ඇත්තකි! රිහාර්යා මේ යතුර ගැන දැන සිට ඇත. එසේ නම් ඇය මීට පෙර මෙතැනට පැමිණ තිබේද?

නිතුර්ය සෙමෙන් ලාච්චුව එළියට ඇද්දේය.

ලාච්චුව පිරී තිබුණේ පරණ ඩයරි සහ බැංකු පොත් වලිනි. ඔහු එකින් එක පෙරළා බැලුවේය. යටින්ම තිබුණේ තද නිල් පැහැති ලිපිගොනුවකි.

ඔහු එය අතට ගත්තේය. සඳ එළියට අල්ලා එහි කවරය දෙස බැලුවේය.

එහි සුදු පැහැති ස්ටිකරයක ඉංග්‍රීසි අකුරෙන් මෙසේ ලියා තිබුණි:

"PROJECT LOTUS - CONFIDENTIAL"

නිතුර්යගේ හුස්ම හිර විය. ශායා කීවේ සත්‍යයකි. මෙහි යම් රහසක් ඇත.

ඔහු ලිපිගොනුව විවෘත කිරීමට හැදුවා පමණි, සාලයේ විදුලි බුබුල එකවරම දැල්වුණි.

කාර්යාල කාමරයේ දොරට යටින් ආලෝක ධාරාවක් කාමරය තුළට ගලා ආවේය. ඒ සමඟම පඩිපෙළ බසින අඩි ශබ්දයක් ඇසුණි.

"කවුද ඔතන?"

ඒ තාත්තාගේ කටහඬයි!

නිතුර්ය ගල් ගැසුණේය. අතේ තිබූ ෆයිල් එක ලාච්චුවට දැමීමටවත් වෙලාවක් නැත. අඩි ශබ්දය දැන් කාමරයේ දොර අසලම ය.

දොරේ අගුල කරකැවෙන හඬ ඇසුණි.

නිතුර්ය වහාම ෆයිල් එක පිටුපසට කර ගනිමින් මේසයට හේත්තු විය. දොර විවෘත විය.

සුනිල් දොරකඩ සිටගෙන සිටියේය. ඔහු නිතුර්ය දෙස බැලුවේ පුදුමයෙනි. "නිතුර්ය? උඹ තාම නිදාගත්තේ නැද්ද? මොකද මේ කළුවරේ කරන්නේ?"

නිතුර්යගේ උගුර කට වේලී ගියේය. ඔහුට උත්තරයක් නැත. ඔහු පිටුපස සඟවාගෙන සිටින ෆයිල් එක තාත්තා දුටුවොත් කුමක් සිදුවේවිද?

"මම... මම මේ..." නිතුර්ය වචන ගලපා ගැනීමට උත්සාහ කළේය. "මම පෑනක් හොයන්න ආවේ තාත්තේ. මගේ එකේ තීන්ත ඉවර වෙලා."

සුනිල් සැකයෙන් මෙන් නිතුර්ය දෙසත්, ඇර තිබූ ලාච්චුව දෙසත් බැලුවේය. ඔහුගේ දෑස් සිහින් විය.

"පෑනක් හොයන්න රෑ දොළහට මගේ පර්සනල් ලාච්චු අවුස්සන්න ඕනද?" සුනිල්ගේ හඬ දැඩි විය. ඔහු කාමරයට අඩියක් තැබුවේය.

"අතේ මොකක්ද ඔය හංගගෙන ඉන්නේ?"

සුනිල්ගේ දෑස් නිතුර්යගේ පිටුපස සඟවාගත් දෑත් දෙසට යොමුව තිබුණි. කාමරයේ පැවති නිහඬතාවය බිඳී ගියේ ඔවුන් දෙදෙනාගේ හුස්ම ගන්නා හඬින් පමණි. නිතුර්යගේ කොඳු නාරටිය දිගේ සීතල දහඩිය බිංදුවක් ගලා ගියේය. ෆයිල් එක පිටුපස සඟවාගෙන සිටීම තවදුරටත් කළ නොහැක්කකි. තාත්තා තව එක අඩියක් ඉදිරියට තැබුවොත් සියල්ල හෙළි වනු ඇත.

ක්ෂණිකව නිතුර්යගේ මතකයට ආවේ ශායා ලබා දුන් පැරණි ඡායාරූපයයි. එය තිබුණේ ඔහුගේ කලිසම් සාක්කුවේ ය.

"මම ඇහුවේ හංගගෙන ඉන්නේ මොකක්ද කියලා!" සුනිල්ගේ හඬ ගිගුරුම් දුන්නේය.

නිතුර්ය තීරණයක් ගත්තේය. ඔහු පිටුපස තිබූ ෆයිල් එක නොදැනෙන සේ අඳුරේම පිටුපස තිබූ පුටුව මතට අතහැරියේය. ඒ සමඟම ඔහු සාක්කුවෙන් අර පැරණි ඡායාරූපය එළියට ගෙන තාත්තා වෙත දිගු කළේය.

"මේක..." නිතුර්යගේ හඬ වෙව්ලන්නට විය. "මම මේක ගැන අහන්න හැදුවේ."

සුනිල් විදුලි බුබුලේ එළියට අල්ලා ඡායාරූපය දෙස බැලුවේය. ඔහුගේ මුහුණේ තිබූ කෝපය ක්ෂණිකව අතුරුදහන් වී, ඒ වෙනුවට වික්ෂිප්ත බවක් සහ බියක් ආදේශ වන අයුරු නිතුර්ය බලා සිටියේය.

"මේක... මේක උඹට කොහෙන්ද හම්බුණේ?" සුනිල්ගේ අත වෙව්ලන්නට විය. ඔහු වහාම නිතුර්ය දෙස බැලුවේ සැක මුසු බැල්මකි. "උඹ මගේ පරණ බඩු අවුස්සනවද?"

"ඒක පරණ එකක් වෙන්න පුළුවන්. ඒත් තාත්තා කොහොමද රිහාර්යාව අඳුරන්නේ?" නිතුර්ය පෙරළා ප්‍රශ්න කළේය. "ඇයි මට කවදාවත් කිව්වේ නැත්තේ තාත්තා එයාව දන්නවා කියලා?"

සුනිල් ඡායාරූපය මිටි මොළවා ගත්තේය. ඔහු පිළිතුරක් දීමට පමා විය. ඔහුගේ දෑස් එහා මෙහා දිව ගියේ බොරුවක් ගොතන්නට මෙනි.

"මේ රිහාර්යා නෙවෙයි," සුනිල් අවසානයේ පැවසුවේය. "මේ එයාගේ අම්මා. අපි ඉස්සර එකට වැඩ කළා. උඹ මේක දැකලා වැරදියට තේරුම් අරගෙන."

"රිහාර්යාගේ අම්මා?" නිතුර්ය පුදුම විය. ශායා මේ ගැන කිව්වේ නැත. "එතකොට රිහාර්යා?"

"රිහාර්යා කියන්නේ එයාගේ දුව බව මම දන්නේ පස්සේ. ඒක අහම්බයක්. අනික මේවා දැන් කතා කරන්න ඕන දේවල් නෙවෙයි නිතුර්ය," සුනිල් කතාව වෙනතකට හැරවීමට උත්සාහ කළේය. ඔහු ඡායාරූපය තම සාක්කුවේ දමා ගත්තේය. "දැන් ගිහින් නිදාගන්නවා. මට හෙට උදේට වැඩ තියෙනවා."

ඔහු නිතුර්ය පසුකරගෙන මේසය වෙත ගියේය. නිතුර්යගේ හදවත නතර විය. තාත්තා මේ යන්නේ පුටුව ළඟට ය. පුටුව මත ඇත්තේ "Project Lotus" ෆයිල් එකයි!

"තාත්තේ!" නිතුර්ය හයියෙන් කතා කළේය.

සුනිල් ගැස්සී නැවතුණේය. "මොකද යකෝ කෑගහන්නේ?"

"මට... මට සමාවෙන්න," නිතුර්ය බිම බලාගෙන කීවේය. "මම තාත්තාගේ පර්සනල් දේවල් ඇල්ලුවට. මට රිහාර්යා ගැන මතක් වුණාම පිස්සු වගේ."

ඔහු තාත්තාගේ අවධානය වෙනතකට යොමු කරමින් සෙමෙන් පුටුව අසලට ගියේය.

"හරි හරි. දැන් යන්න. මම ලයිට් එක නිවන්නම්," සුනිල් දොර ළඟට ගියේ ස්විචය දෙසට අත දිගු කරමිනි.

කාමරය නැවතත් අඳුරේ ගිලී යන්නට පෙර ලැබුණු තත්පර කිහිපය තුළ, නිතුර්ය පුටුව මත තිබූ ෆයිල් එක ෂර්ට් එක අස්සේ සඟවා ගත්තේය.

"ගුඩ් නයිට් තාත්තේ."

නිතුර්ය කාමරයෙන් පැන ගත්තේ හුස්ම ඉහළට ගෙනය. ඔහු තම කාමරයට දිව ගොස් දොර අගුළු දාගත්තේය. ඔහුගේ මුළු ඇඟම දහඩියෙන් තෙත් වී තිබුණි. ඔහු ඇඳ මත වාඩි වී වෙව්ලන දෑතින් ෂර්ට් එක අස්සේ තිබූ නිල් පැහැති ලිපිගොනුව එළියට ගත්තේය.

තාත්තා කිව්වේ රිහාර්යාගේ අම්මා ගැන ය. නමුත් ශායා කිව්වේ තාත්තා රිහාර්යාට තර්ජනය කළ බවයි. මේ දෙකෙන් ඇත්ත කුමක්ද?

ඔහු "Project Lotus" ෆයිල් එක විවෘත කළේය.

මුල් පිටුවේ තිබුණේ ඉඩම් ඔප්පුවක ඡායා පිටපතකි. එය සහස්‍ර උද්‍යානයට යාබදව පිහිටි පැරණි වලව්වක ඔප්පුවකි. ඒ වලව්ව... නිතුර්ය හොඳින් දනී. එය රිහාර්යාගේ මහ ගෙදරයි.

ඔහු පිටු පෙරළුවේය. ඊළඟට තිබුණේ බැංකු ගනුදෙනු පිළිබඳ විස්තරයි. අති විශාල මුදලක් සුනිල්ගේ ගිණුමෙන් වෙනත් ගිණුමකට මාරු කර ඇත.

නමුත් නිතුර්යගේ ඇස් උඩ ගියේ අවසාන පිටුවේ තිබූ ලියවිල්ල දැකීමෙනි.

එය රෝහල් වාර්තාවකි. (Psychiatric Evaluation Report).

රෝගියාගේ නම: රිහාර්යා නිල්නෙතූ

වෛද්‍යවරයා: ඩොක්ටර් සේනානායක

නිගමනය: රෝගියා දැඩි මානසික ආතතියකින් සහ භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙළේ. ඇය මනඃකල්පිත චරිත නිර්මාණය කරමින් ඒවා සැබෑ යැයි විශ්වාස කරයි. ඇය "ශායා" නම් මනඃකල්පිත සහෝදරියක් ගැන නිතර දොඩවයි.

නිතුර්ය ගල් ගැසී බලා සිටියේය.

"භින්නෝන්මාදය? ශායා කියන්නේ මනඃකල්පිත චරිතයක්?"

එසේ නම්... තමාට අද රෑ ක්ලබ් එකේදී මුණගැසුනේ කවුද? යක්ෂයෙක් ද? නැත්නම් රිහාර්යාගේම ආත්මය ද? එසේත් නැත්නම් මේ රෝහල් වාර්තාව තාත්තා විසින් ගොතන ලද තවත් බොරුවක් ද?

ඒ මොහොතේම නිතුර්යගේ දුරකථනය නාද විය. තිරයේ දිස්වූයේ 'රතු සෙවණැල්ල' (Red Shadow) නමයි.

ඔහු දුරකථනය කනට තැබුවේය.

"ෆයිල් එක කියෙව්වා නේද නිතුර්ය?" එහා පැත්තෙන් ඇසුණේ ශායාගේ සන්සුන්, එහෙත් ගුප්ත කටහඬයි.

"ඔයා... ඔයා ඇත්තටම ඉන්නවද? නැත්නම් ඔයා රිහාර්යාගේ හිතේ තිබ්බ පිස්සුවක්ද?" නිතුර්ය කෑගැසුවේය.

ශායා හිනාවුණාය. ඒ හිනාව අඳුරු රැයේ භයානක ලෙස ඇසුණි. "පිස්සෙක්ට පුළුවන්ද ඔයාට යතුරක් දෙන්න? අහගන්න නිතුර්ය... ඔය රිපෝට් එක තාත්තා ඩොක්ටර්ට සල්ලි දීලා හදපු බොරුවක්. රිහාර්යාව පිස්සෙක් කරලා එයාගේ දේපළ කොල්ල කන්නයි තාත්තට ඕන වුණේ. දැන් ඔයා දන්නවා තාත්තා මොන වගේ මිනිහෙක්ද කියලා."

"මම දැන් මොකද කරන්න ඕන?"

"හෙට උදේ 10ට 'සහස්‍ර උද්‍යානයට' එන්න. අර කළු ගල් බංකුව ලඟට. මම එතනට එනවා. මම ඔයාට ඔප්පු කරන්නම් මම ඇත්ත කෙනෙක් කියලා. හැබැයි තනියම එන්න."

දුරකථනය විසන්ධි විය.

නිතුර්ය ඇඳ මත වැතිරුණේය. ෆයිල් එක, තාත්තාගේ බොරුව, ශායාගේ අභිරහස සහ රිහාර්යාගේ මරණය. මේ සියල්ල එකිනෙක පැටලී ඇත. හෙට දිනය තීරණාත්මක ය. හෙට ඔහු ශායාගේ ඇත්ත නැත්ත සොයා ගනු ඇත.

නමුත් ඔහු නොදත් දෙය නම්, කාමරයේ ජනේලයෙන් පිටත අඳුරේ සිට, යමෙක් ඔහු දෙස බලා සිටින බවයි.

ජනේලයෙන් පිටත අඳුරේ සැඟවුණු ඒ දෑස් ගැන නිතුර්ය දැන සිටියේ නැත. ඔහු කළේ විදුලි බුබුල නිවා දමා, ඒ රහස් ලිපිගොනුව තම මෙට්ටය යට සුරක්ෂිතව සැඟවීමයි. ඔහුගේ සිතේ ඇති වූ ගිනි කන්ද නිවීමට කාමරයේ ඇති සිසිලසට නොහැකි විය.

ඇඳ මත දිගා වී සිවිලිම දෙස බලා සිටිද්දී, පිටතින් හීන් පොද වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත්තේය. වැහි බිංදු වීදුරුවට තට්ටු කළේ හෙට දවසේ එන මහා කුණාටුවක පෙරනිමිති පෙන්වන්නාක් මෙනි.

"කවුද ඇත්ත කියන්නේ?" නිතුර්ය අඳුරේම තමාගෙන්ම ප්‍රශ්න කළේය. "ශායා ද? නැත්නම් තාත්තා ද? නැත්නම්... මම ඇත්තටම පිස්සු හැදිච්ච මිනිහෙක් ද?"

ඔහු දෑස් පියා ගත්තේය. නමුත් නින්ද ඔහු අසලකටවත් පැමිණියේ නැත. ඒ වෙනුවට ඔහුගේ සිතේ මැවී පෙනුනේ රිහාර්යාගේ සිනහව සහ ශායාගේ අද්භූත බැල්මයි. හෙට උදෑසන 10ට සහස්‍ර උද්‍යානයේදී මේ සියල්ලටම විසඳුමක් ලැබෙනු ඇත. නැතහොත්, තවත් අලුත් ගැටලුවක් ආරම්භ වනු ඇත.

මේ අතර, නිතුර්යගේ කාමරයේ ජනේලයට පහළින් ඇති ගෙවත්තේ, අඳුරු සෙවණැල්ලක් සෙමෙන් චලනය විය. වැහි කබායකින් සැරසුණු ඒ රුව, නිතුර්යගේ නිවී ගිය ජනේලය දෙස අවසන් වරට බලා, අඳුරටම මුසු වී නොපෙනී ගියේය.

සෙවණැලි යුද්ධය දැන් ආරම්භ වී අවසන්ය.

Advertisement
177
0
0

අදහස් (0)

තවම අදහස් නැත. පළමුවැන්නා වන්න!