රතු සෙවණැල්ල ❤️

by Uma

මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි දහයක් ගතවී තිබුණි. කොළඹ නගරයම තුනී මීදුම් සළුවකින් වැසී ගොස් තිබුණේ අකල් වැස්සක පෙරනිමිති පෙන්වමිනි. වීදි ලාම්පු එළියෙන් තැනින් තැන ආලෝකමත් වූ 'සහස්‍ර උද්‍යානය' දවාලට පෙම්වතුන්ගේ පාරාදීසයක් වුවද, මේ මොහොතේ එය අතහැර දැමූ සොහොන් පිටියක් මෙන් පාළුය.

ඒ පාළු අන්ධකාරය මැද, නා ගස් සෙවන යට තිබූ කළු ගල් බංකුව මත තවමත් තනිවූ රුවක් විය.

ඔහු නිතුර්ය ය.

නිතුර්ය හිස් අහස දෙස බලා සිටියේය. අහස පුරා තරු ඇස් දල්වාගෙන බලා සිටියද, ඔහුට දැනුනේ මහා ඝන අන්ධකාරයක් පමණි. ඒ අහස හරියට...

"හරියට මගේ ජීවිතේ වගේ..." නිතුර්ය තමාටම මුමුණා ගත්තේය. ඔහුගේ කටහඬ සීතල සුළඟේ මුසු වී ගියේය.

"මාස හයක්... හ්ම්... ඔයා මාව දාලා යන්නම ගිහින් මාස හයක්..."

ඔහුගේ දෑස් ඉදිරිපිට මැවී පෙනුනේ රිහාර්යාගේ හිනාවය. හරියටම මීට මාස හයකට පෙර, මේ බංකුව මතදීම ඇය ඔහුට තුරුළු වී පැවසූ වදන් තවමත් ඔහුගේ කන් දෙකේ දෝංකාර දෙයි. 'නිතු, අපි කවදාවත් වෙන් වෙන්නෙ නෑ නේද?' එහෙත් දෛවය ඒ පොරොන්දුව අමානුෂික ලෙස කඩ කර දැමුවේය. ඒ සාපලත් රිය අනතුරින් ඇයව සදහටම ඔහුගෙන් උදුරා ගනිද්දී, ඇය සමඟ නිතුර්යගේ ආත්මය ද පස් යට වැළලී ගියේය.

"මහත්තයා...?"

හදිසියේම පිටුපසින් ඇසුණු ගොරෝසු කටහඬකින් නිතුර්ය තැති ගත්තේය. ඔහු හිස හරවා බලද්දී දුටුවේ උද්‍යානයේ මුරකරුවා වූ වයස්ගත සෝමපාල ය. සෝමපාලගේ අතේ වූ විදුලි පන්දමේ එළිය කෙලින්ම නිතුර්යගේ මුහුණට වැටුණි.

"ආ... මේ නිතුර්ය මහත්තයා නේද?" සෝමපාල විදුලි පන්දම පහත් කළේය. ඔහුගේ හඬේ තිබුණේ අනුකම්පාවකි. මේ තරුණයා පසුගිය මාස හය පුරාවටම රාත්‍රියට මෙතැනට වී තනිවම දොඩවන බව සෝමපාල දනී.

"දැන් වෙලාව දොළහත් පැන්නා මහත්තයෝ. අද වැස්සක් එන්න වගේ. ගෙදර ගියා නම් නේද හොඳ?"

නිතුර්ය නැවතත් අහස දෙස බැලුවේය. "මට ගෙදර යන්න හිතෙන්නෙ නෑ සෝමපාල මාමා. මේ තැන... මෙතන මට තාම එයාගේ සුවඳ දැනෙනවා."

සෝමපාල සුසුමක් හෙලුවේය. ඔහු සෙමෙන් බංකුව අසලට පැමිණියේය. "මම දන්නවා මහත්තයෝ. ඒ දරුවා හරිම හොඳ ළමයා. ඒත් මැරුණු අය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ පින් දෙන එක විතරයි. ජීවත් වෙන අය ජීවත් වෙන්න ඕන නේද?"

නිතුර්යගේ දෑස් වල කඳුළු පිරුණි. "ජීවත් වෙන්න? කා වෙනුවෙන්ද? මගේ ලෝකෙම එයා නම්, එයා නැතුව මම කොහොමද තනියම ලෝකෙක ජීවත් වෙන්නෙ?"

එම සංවාදය අතරතුර නිතුර්යගේ ජංගම දුරකථනය නොකඩවා නාද වන්නට විය. එය වේගයෙන් කම්පනය වූයේ නිහඬතාවයට බාධා කරමිනි. තිරය මත දිස්වූයේ 'කසුන්' යන නමයි.

"යාළුවෙක් නේද මහත්තයෝ ඔය කතා කරන්නෙ? ඔය මහත්තයා ගැන වද වෙන අය තවම ඉන්නවා. ඒ අය ගැනවත් හිතන්න." සෝමපාල කාරුණිකව පැවසීය.

නිතුර්ය අකමැත්තෙන් වුවද දුරකථනය අතට ගත්තේය. කසුන් යනු ඔහුගේ හොඳම මිතුරා ය. රිහාර්යාගේ මරණයෙන් පසු නිතුර්යව යන්තම් හෝ අල්ලාගෙන සිටියේ කසුන් ය.

"හෙලෝ..." නිතුර්යගේ හඬ වියළි විය.

"යකෝ නිතුර්ය! උඹ කොහෙද ඉන්නේ?" කසුන්ගේ හඬේ තිබුණේ කලබලයකි. "මම උඹලගේ ගෙදරටත් කතා කළා. උඹ කාමරේ නෑ කියලා අම්මා බයෙන් ඉන්නේ. උඹ ආයෙත් අර පාක් එකට රිංගුවා නේද?"

"කසුන්... මට ටිකක් තනියම ඉන්න දීපන්."

"තනියම ඉන්න? උඹ තනියම ඉඳලා ඇති දැන්. ඔතනින් හෙලවෙන්න එපා. මම තව විනාඩි දහයෙන් ඔතන." කසුන් දුරකථනය විසන්ධි කළේය.

නිතුර්ය දුරකථනය දෙස බලා සුසුමක් හෙලුවේය. ඔහුට තනිවීමට අවශ්‍ය වුවද, ලෝකය ඔහුට ඊට ඉඩ නොදෙන බව පෙනෙයි. ඔහු නැගී සිටියේය. සීතල සුළඟ ඔහුගේ කමිසය විනිවිද යද්දී ඔහුට දැනුනේ රිහාර්යාගේ අතක ස්පර්ශය වැනි සීතලකි.

"රිහාර්යා... ඔයා ඇයි මාව දාලා ගියේ?" ඔහු අවසන් වරටත් හිස් බංකුව දෙස බලා ඇසුවේය.

පිළිතුරක් ලෙස ලැබුණේ සුළඟේ හඬ පමණි. නමුත් ඒ සුළඟ සමඟ ගසාගෙන ආ ළා රෝස පැහැති කඩදාසි කැබැල්ලක් නිතුර්යගේ පාවහන් අසල නතර විය. ඔහු පුදුමයෙන් මෙන් එය අතට ගත්තේය. එය පරණ බස් ටිකට් පතක් හෝ කඩදාසි කැබැල්ලක් නොවේ. එය කුඩා නැමුණු ලියුම් කැබැල්ලකි.

වීදි ලාම්පු එළියෙන් ඔහු එය දිග හැර බැලුවේය. එහි වූ අත් අකුරු දුටු සැණින් නිතුර්යගේ හදවත නතර වූවාක් මෙන් දැනිණි. ඒ රිහාර්යාගේ අත් අකුරු ය. තීන්ත බොඳ වී තිබුණද, එහි ලියා තිබූ දිනය ඇය මියගිය දිනයම විය.

"නිතු, මට ඔයාට කියන්න බැරි වුණු ලොකු රහසක් තියෙනවා..."

එපමණයි. ඉතිරිය ඉරී ගොසිනි.

නිතුර්යගේ දෑත් වෙව්ලන්නට විය. මේ ලියුම මෙතැනට ආවේ කෙසේද? ඇය මියගිය දවසේ ඇය සිටියේ මෙතැනද? එසේ නම් ඇය අනතුරට මුහුණ දුන්නේ මෙතැන සිට යද්දීද? ප්‍රශ්න දහසක් එකවර ඔහුගේ මනස ආක්‍රමණය කළේය.

සෝමපාල මාමා ඈතින් ගේට්ටුව දෙසට යන අයුරු පෙනුණි. ඒ සමඟම උද්‍යානයේ පිවිසුම අසල වාහනයක් නතර වන හඬත්, කසුන් කලබලයෙන් දිව එන හඬත් ඇසුණි. නමුත් නිතුර්යගේ මුළු ලෝකයම දැන් රැඳී තිබුණේ අතේ මිටි මොළවාගත් ඒ කුඩා කඩදාසි කැබැල්ල තුළ ය.

කසුන්ගේ කෑගැසීම නිතුර්යගේ දෙසවන් අසලම ඇසුණද, ඔහුගේ මනස තිබුණේ ඊට බොහෝ ඈතකය. අතේ රැඳී තිබූ තීන්ත බොඳ වූ කඩදාසි කැබැල්ල දෙස බලා සිටියදී, කාලය හරහා ආපස්සට දිවෙන රික්තකයකට ඔහු ඇදී ගියේය. වර්තමානයේ ඇද හැලෙන හිරිගඩු පිපෙන සීතල වැස්ස වෙනුවට, ඔහුගේ ගතට දැනුනේ මීට වසරකට පෙර තිබූ උණුසුම් හිරු එළියයි.

ඒ මීට හරියටම වසරකට පෙර දිනයකි.

එදින සහස්‍ර උද්‍යානය අද මෙන් අඳුරු, මූසල තැනක් නොවීය. ඇහැළ මල් පිපී මුළු උද්‍යානයම කහ පැහැති පලසක් එලුවාක් මෙන් අලංකාර වී තිබුණි. ඒ කහ පැහැති මල් පලස මතින් දිව ගියේ රිහාර්යා ය. ඇගේ දිගු වරලස සුළඟේ පාවෙමින් තිබුණේ නිතුර්යගේ හදවතද ඒ සමඟම පා කරමිනි.

"නිතු... එන්නකෝ... ඔයාට මාව අල්ලන්න බෑ!"

ඇය කුඩා දරුවෙකු මෙන් සිනාසෙමින් කෑගැසුවාය. නිතුර්ය ඇය පසුපස හති දමමින් දිව ගියේය. ඇගේ ජීවයෙන් පිරුණු ඒ සිනහව දකින විට, ලෝකයේ ඇති සියලුම ප්‍රශ්න අමතක වී යන බව නිතුර්යට සිතුණි.

අවසානයේ නා ගස් සෙවන යට තිබූ (අද ඔහු තනිව සිටින) ඒ කළු ගල් බංකුව අසලදී ඔහු ඇයව අල්ලා ගත්තේය. හති දමමින් ඇය ඔහුගේ පපුවට හේත්තු වූවාය. ඇගේ කෙස් කළඹෙන් හමා ආ පිනි රෝස මල් සුවඳ නිතුර්යගේ නාසයේ ගැටුණි. ඒ සුවඳ... එය ඕනෑම වෙහෙසක් නිවා දමන ඔසුවක් වැනිය.

"ඔයා හරිම දඟයි රිහාර්යා... මට හති දැන්," නිතුර්ය ඇගේ නළල මත තිබූ දහඩිය බිඳුවක් පිසදමමින් කීවේය.

රිහාර්යා හදිසියේම සිනහව නතර කළාය. ඇය නිතුර්යගේ දෑස් දෙස කෙලින්ම බැලුවාය. ඒ දෑස් වල තිබුණේ බැරෑරුම් බවකි. මොහොතකට පෙර තිබූ කෙළිලොල් බව අතුරුදහන් වී තිබුණි.

"නිතු..." ඇය ඔහුගේ අත තදින් අල්ලා ගත්තාය.

"ඇයි මැණික?"

"අපි හිතමු... කවදාහරි මම මේ වගේ දුවලා ගිහින්, ඔයාට මාව අල්ලගන්න බැරි දුරකට ගියොත්...?"

නිතුර්යගේ හදවත ගැස්සී ගියේය. "ෂ්... පිස්සුද ඔයාට? එහෙම කතා කියන්න එපා."

ඇගේ දෑස් වල කඳුළක් දිලිසුණි. "නෑ නිතු, ජීවිතේ කියන්න බෑ. මට සමහර වෙලාවට හිතෙනවා මගේ හිතේ තියෙන හැමදේම ඔයාට කියන්න වෙලාව මදි වෙයි කියලා. මට බයයි."

"බය වෙන්න එපා. මම ඉන්නවනේ. මම ඔයාව කවදාවත් තනි කරන්නෙ නෑ. ඔයා යන හැම තැනකම මම එනවා." නිතුර්ය ඇයව තදින් වැළඳ ගත්තේය.

එදා ඇය ඔහුගේ පපුවට තුරුළු වී යමක් මුමුණන්නට උත්සාහ කළාය. "නිතු... මම ඔයාට කියන්න ඕන... මම..."

එහෙත් එදා ඇය කීමට ගිය දේ, හදිසියේම ආ අයිස්ක්‍රීම් වෙළෙන්දාගේ සීනු හඬින් යටපත් වී ගියේය. ඇය නැවතත් සුපුරුදු සිනහව මුවට නඟා ගත්තාය. එදා ඇය ගිල ගත්තේ කුමන රහසක්ද? ඇගේ හදවතේ සිරවී තිබුණේ කුමන බරක්ද?

"නිතුර්ය!!"

වර්තමානයේ කටහඬක් අකුණු සැරයක් මෙන් ඔහුගේ මතකයන් බිඳ දැමුවේය.

නිතුර්ය ගැස්සී පියවි ලෝකයට පැමිණියේය. කසුන් ඔහු අසල සිටගෙන ඔහුගේ උරහිසෙන් අල්ලා සොලවමින් සිටියේය. කසුන්ගේ ඇඳුම් ද පොද වැස්සට තෙමී තිබුණි.

"මොකද යකෝ ගල් ගැහිලා? මම පැය භාගයක් තිස්සේ කතා කරනවා," කසුන් හති දමමින් කෑගැසුවේය. "නගිනවා යන්න කාර් එකට. තෙමෙනවා දැක්කෙ නැද්ද?"

නිතුර්ය වචනයක්වත් කතා කළේ නැත. ඔහු හෙමින් සීරුවේ තම අතේ මිට මොලවාගෙන සිටි කඩදාසි කැබැල්ල කලිසම් සාක්කුවේ දා ගත්තේය. රිහාර්යා එදා කියන්නට හැදූ "රහස" සහ අද මේ හමුවූ ලියුම් කැබැල්ල අතර යම් සම්බන්ධයක් තිබේද?

"කසුන්..." නිතුර්යගේ හඬ ගොරෝසු විය. "රිහාර්යා මැරුණේ ඇක්සිඩන්ට් එකකින් කියලා ෂුවර් ද?"

කසුන් පුදුමයෙන් නිතුර්ය දෙස බැලුවේය. වාහනයේ දොර අරින ගමන් ඔහු නතර විය. "මොකක්? උඹට පිස්සුද බං? පොලිස් රිපෝට් එකත් ආවේ. ලොරියක හැප්පිලා එතනමයි නැති වුණේ කියලා. ඇයි දැන් ඕක අහන්නේ?"

"නිකන්..." නිතුර්ය බොරුවක් කීවේය. "මට නිකන් හිතුණා."

නමුත් ඔහුගේ සිත ඇතුලේ ගින්නක් ඇවිලෙමින් තිබුණි. ඒ අත් අකුරු... ඒ දිනය... සහ අද රෑ හදිසියේම සුළඟත් එක්ක ආ පණිවිඩය.

"යමන්. උඹට හොඳටම සීතල අල්ලලා. උණ ගැනෙයි," කසුන් ඔහුව බලෙන්ම මෙන් වාහනයට තල්ලු කළේය.

මෝටර් රථය පණ ගැන්වූ කසුන්, සහස්‍ර උද්‍යානය පසුකරමින් වේගයෙන් ඉදිරියට ඇදුණේය. නිතුර්ය පැති වීදුරුවෙන් එළිය බැලුවේය. ඈතින් පෙනෙන ඒ කළු ගල් බංකුව අසල, තවමත් නොපෙනෙන සෙවනැල්ලක් ඔහු දෙස බලා සිටින්නාක් මෙන් ඔහුට දැනිණි.

වාහනය නගරයේ ආලෝකය දෙසට ඇදෙද්දී, නිතුර්ය සාක්කුවේ තිබූ කඩදාසි කැබැල්ල තදින් අල්ලා ගත්තේය. ඔහුට තවමත් නොතේරෙන කාරණයක් තිබුණි.

රිහාර්යා මියගියේ මීට මාස හයකට පෙරය. නමුත් ඇගේ අත් අකුරින් ලියූ මේ කඩදාසිය, මාස හයක් තිස්සේ වැස්සට නොතෙමී, සුළඟට ගසාගෙන නොගොස් අද වනතුරුම ඒ බංකුව යට ආරක්ෂා වී තිබුණේ කෙසේද?

එසේත් නොමැති නම්, එය අද රාත්‍රියේ කවුරුන් හෝ එතැන තැබුවාද?

"කසුන්, පොඩ්ඩක් ෂොප් එකක් ගාවින් නවත්තපන්. මට වතුර එකක් ගන්න ඕන," නිතුර්ය හදිසියේම පැවසුවේය. ඔහුගේ අරමුණ වතුර බීම නොවේ. කාමරයේ ආලෝකය යට ඒ ලියුම හොඳින් පරීක්ෂා කිරීමයි.

කසුන් සුපිරි වෙළඳසැලක් අසල වාහනය නතර කළේය. "ඉක්මනට වරෙන්."

නිතුර්ය වාහනයෙන් බැස වෙළඳසැලේ වීදුරු දොර දෙසට ඇවිද ගියේය. නමුත් දොරටුව අසල සිටගෙන සිටි පුද්ගලයෙකු දුටු විට ඔහුගේ පියවර අඩපණ විය.

රතු පැහැති දිගු ඇදුමක් හැඳ , මුහුණ වැසෙන සේ කලු පැහැති සළුවක් දමා ගත් අයෙක් වෙළඳසැලේ වීදුරුව හරහා නිතුර්ය දෙසම බලා සිටියේය. නිතුර්ය ඔහු දෙස බලද්දී, ඒ අද්භූත රූපය ක්ෂණිකව වෙළඳසැලේන් පිටතට පැමිණ අසල තිබූ අඳුරු වීදියකට හැරී වේගයෙන් නොපෙනී ගියේය.

ඒ රූපයේ අතේ මැණික් කටුවෙහි තිබූ රිදී පැහැති අත් පළඳනාව... එය නිතුර්ය හොඳින් හඳුනයි.

එය ඔහු රිහාර්යාට උපන්දිනයට තෑගි දුන් පළඳනාවයි!

"රිහාර්යා?!"

නිතුර්ය කෑගසමින් ඒ අඳුරු වීදිය දෙසට දිව ගියේය.

"රිහාර්යා...!"

නිතුර්යගේ කෑගැසීම වීදුරු දොර දෙදරවාගෙන ගියේය. ඔහු වෙළඳසැල අසලින් පැන අර අද්භූත රූපය නොපෙනී ගිය අඳුරු වීදිය දෙසට දිව ගියේය.

මීට මොහොතකට පෙර ඔහු දුටුවේ මායාවක් ද? නැත. වීදියේ කෙළවර තිබූ තනි වීදි ලාම්පුවේ එළියෙන් ඒ රූපය නැවතත් දර්ශනය විය. මෙවර ඔහු එය පැහැදිලිව දුටුවේය. ඒ තැනැත්තා අදුර මැදින් ගලා යන රතු ලේ ධාරාවක් මෙන් ඒ රූපය වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුණි.

"නවතිනවා! කවුද ඔයා?"

නිතුර්ය හති දමමින් මඩ වතුර පිරුණු වලවල් මග හරිමින් දිව ගියේය. වැස්ස වේගවත් වී තිබුණි. වැහි බිංදු ඔහුගේ මුහුණට වේගයෙන් පහර දුන්නේ "ආපසු යන්න" යැයි අනතුරු අඟවන්නාක් මෙනි. නමුත් අර අත් පළඳනාව... ඒ රිදී පැහැති පළඳනාවේ දිලිසීම ඔහුගේ දෑස් ඉදිරිපිට මැවී පෙනුණි. ලෝකයේ එවැනි පළඳනා ඕනෑ තරම් තිබිය හැකිය. නමුත් එහි එල්ලා තිබූ කුඩා, හදවත් හැඩැති පෙන්ඩනය? එය රිහාර්යා වෙනුවෙන්ම ඔහු විශේෂයෙන් නිර්මාණය කරවූවකි.

රතු සෙවණැල්ල වීදියේ වංගුවක් ගෙන අතුරු පාරකට හැරුණි. නිතුර්යද ලිස්සා යන්නට ගිය පාද වාරු කරගනිමින් ඒ පසුපසම හැරුණේය.

නමුත් ඔහු දුටුවේ හිස් බවක් පමණි.

ඒ අතුරු පාර අඩි පනහක් පමණ දුරට විහිදී ගොස් අවසන් වූයේ අතහැර දැමූ ගොඩනැගිල්ලක තාප්පයකිනි. පාර දෙපස නවතා තිබූ පරණ ලොරි රථ කිහිපයක් හැරෙන්නට එහි කිසිදු ජීවියෙකු සිටියේ නැත.

"කොහෙද ගියේ? යකෝ මෙතනින් යන්න තැනක් නෑනේ!" නිතුර්යගේ හුස්ම ගැනීමේ වේගය වැඩි විය. ඔහු වටපිට බැලුවේ පිස්සුවෙන් මෙනි. අඩි දහයක් උස තාප්පයෙන් පැන යන්නට හෝ පියාඹා යන්නට මිස, ඒ රතු ඇඳුම ඇඳගත් තැනැත්තාට සැඟවෙන්නට තැනක් එහි නොතිබුණි.

"නිතුර්ය!"

කසුන්ගේ කටහඬ පිටුපසින් ඇසුණි. නිතුර්ය හැරී බලන විට කසුන් කුඩයක්වත් නොමැතිව තෙමීගෙන දුවගෙන එනු පෙනුණි.

"උඹට පිස්සුද බං? එකපාරටම එළියට පැන්නේ වාහනයකට හැප්පෙන්නද?" කසුන් නිතුර්යගේ අතින් තදින් අල්ලා ගත්තේය.

"කසුන්... මම එයාව දැක්කා. රිහාර්යා... නෑ රිහාර්යා වගේ කෙනෙක්." නිතුර්ය අතහැර දැමූ ගොඩනැගිල්ල දෙස ඇඟිල්ල දිගු කළේය. "එයා ඇඳගෙන හිටියේ රතු පාට කෝට් එකක්. එයා මේ පැත්තට දිව්වා. ඒත්... දැන් එයා නෑ."

කසුන් වටපිට බැලුවේය. පාර පාළුය. කිසිවෙකු පෙනෙන්නට නැත. ඔහු නිතුර්ය දෙස බැලුවේ කෝපයෙන් සහ බියෙනි. තම මිතුරාගේ මානසික තත්ත්වය දිනෙන් දිනම නරක අතට හැරෙන බව කසුන්ට වැටහුණි.

"නිතුර්ය, උඹට පේන දේවල් විකාර. මෙතන බල්ලෙක්වත් නෑ. අද රිහාර්යා නැති වෙලා හරියටම මාස හයයි. උඹේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ ඒක නිසා. වරෙන් යන්න."

"නෑ කසුන්! මම දැක්කා අර බ්‍රේස්ලට් එක. මම එයාට දීපු එක!" නිතුර්ය තදින් කියා සිටියේය.

"බ්‍රේස්ලට් එක? රිහාර්යා මැරෙනකොටත් ඒක එයාගේ අතේ තිබුණේ. පෙට්ටිය වහන්න කලින් ඒක ගලවලා මිනී පෙට්ටිය උඩින් තිබ්බේ උඹමයි! උඹට මතක නැද්ද?" කසුන් කෑගැසුවේය.

ඒ වචන නිතුර්යගේ හදවත පසාරු කරගෙන ගියේය. ඔව්. ඔහුට මතකය. අවසන් කටයුතු සිදු කළ දින, ඇගේ නිසල දේහය දෙස බලා හඬමින්, ඒ රිදී පළඳනාව ඇගේ අතින් ගලවා දේහය මත තැබුවේ ඔහුමය. එය ඇයත් සමඟම පස් යට වැළලී ගියේය.

එසේ නම්... තමන් මේ දැන් දුටුවේ කුමක්ද?

"වරෙන් යන්න. තව මෙතන හිටියොත් උඹට ඇත්තටම පිස්සු හැදෙයි." කසුන් නිතුර්යව ඇදගෙන ප්‍රධාන පාර දෙසට ගියේය.

වෙනදාට වඩා නිහඬව, මරණයේ බිය කැටිවුණු සිතිවිලි සමඟ නිතුර්ය කසුන්ගේ මෝටර් රථයට ගොඩ විය. කසුන් වාහනය හරවා ගත්තේ නිතුර්යගේ නිවස දෙසට ය.

වීදුරුවට වැටෙන වැහි බිංදු දෙස බලාගෙන සිටි නිතුර්ය සාක්කුවට අත දමා අර ලියුම් කැබැල්ල එළියට ගත්තේය. රතු සෙවණැල්ල යථාර්ථයක්ද මායාවක්ද යන්න තවම අවිනිශ්චිතය. නමුත් මේ ලියුම... එය සැබෑවකි.

වාහනයේ යාන්තම් දැල්වෙන ආලෝකයෙන් ඔහු නැවතත් එය කියෙව්වේය.

"නිතු, මට ඔයාට කියන්න බැරි වුණු ලොකු රහසක් තියෙනවා..."

කසුන් ඉදිරිය බලාගෙනම රිය පදවයි. "මොකක්ද බං අර කොලේ?" ඔහු කැඩපතින් බලමින් ඇසුවේය.

"මේක..." නිතුර්ය මොහොතක් කල්පනා කළේය. කසුන්ට මෙය පෙන්විය යුතුද? "මේක මට අර පාක් එකේ බංකුව ලඟ තිබිලා හම්බුණේ."

"මොකක්ද තියෙන්නේ?"

"රිහාර්යාගේ අත් අකුරු."

කසුන් වේගයෙන් තිරිංග තද කළේය. පාර ලිස්සන සුළු වුවත් වාහනය පාලනය කරගැනීමට ඔහු සමත් විය. ඔහු වාහනය පාර අයිනට ගෙන නතර කළේය.

"මොකක්ද උඹ කිව්වේ?" කසුන් නිතුර්ය දෙසට හැරුණේය. "කෝ දියන් බලන්න."

නිතුර්ය වෙව්ලන දෑතින් ලියුම් කැබැල්ල කසුන් වෙත දිගු කළේය. කසුන් එය ගෙන වාහනයේ ඇතුළත විදුලි බුබුල දැල්වීය. ඔහු එය කියවද්දී ඔහුගේ මුහුණේ වර්ණය වෙනස් වන අයුරු නිතුර්ය බලා සිටියේය.

"මේක... මේක රිහාර්යාගේ අත් අකුරු වගේ තමයි..." කසුන්ගේ හඬ බිඳී ගියේය. "ඒත්... කොහොමද? මේක අද ලියපු එකක් වගේනේ. තීන්ත වේලිලාවත් නෑ හරියට."

"මොකක්?" නිතුර්ය වහාම කසුන්ගේ අතින් ලියුම උදුරා ගත්තේය. ඔහු ඇඟිල්ලෙන් තීන්ත මත පිරිමැද්දේය. ඇත්ත ය. එහි වූ නිල් පැහැති තීන්ත පාර තවමත් අතේ ගෑවෙන තරම් නැවුම් ය.

මාස හයකට පෙර මියගිය කෙනෙක් අද දවසේ ලියුමක් ලියන්නේ කෙසේද?

නිතුර්යගේ ඇඟ සීතල වී ගියේය. "කසුන්... එයා මැරිලා නෑ."

"කට වහපන් නිතුර්ය!" කසුන් කෑගැසුවේය. "අපි දෙන්නම එදා එතන හිටියා. අපි දැක්කා එයාගේ බොඩි එක. ඩොක්ටර්ස්ලා කන්ෆර්ම් කළා. උඹ මේ නිකන්..."

"එහෙනම් මේක කවුද ලිව්වේ? කවුද අර රතු ගවුම ඇඳගෙන මට පේන්න ආවේ? අර බ්‍රේස්ලට් එක?" නිතුර්ය ප්‍රශ්න කළේය.

කසුන් නළල පිරිමදින්නට විය. "මට තේරෙන්නෙ නෑ. හැබැයි කවුරු හරි උඹත් එක්ක කැත සෙල්ලමක් කරනවා. උඹව බය කරන්න හරි, උඹේ ඔලුව අවුල් කරන්න හරි කවුරු හරි ප්ලෑන් කරනවා."

"කවුද එහෙම කරන්නේ?"

"මම දන්නේ නෑ. හැබැයි අපි මේක හොයන්න ඕන. හැබැයි තනියම නෙවෙයි. පොලිසියට කියමු."

"එපා!" නිතුර්ය තරයේ විරුද්ධ විය. "පොලිසියට කිව්වොත් එයාලා හිතයි මට පිස්සු කියලා. අනික මේක රිහාර්යා නම්... මට එයාව හොයාගන්න ඕන."

වාහනය නැවතත් පණ ගැන්වුණි. නිහඬතාවය නැවතත් රජ කළේය. නමුත් ඒ නිහඬතාවය බිඳ දමමින් නිතුර්යගේ දුරකථනයට පණිවිඩයක් පැමිණියේය.

ටින් ටින්

මේ වේලාවේ කවුද?

නිතුර්ය දුරකථනය ගෙන බැලුවේය. එය නොදන්නා අංකයකි. එහි තිබුණේ කෙටි පණිවිඩයකි.

"ඔයාට රහස දැනගන්න ඕන නම්, හෙට රෑ 8ට 'රෙඩ් මූන්' ක්ලබ් එකට එන්න. තනියම."

පණිවිඩය අවසානයේ තිබුණේ රතු පාට හදවතක ඉමෝජියකි (❤️). එය රිහාර්යා ඔහුට පණිවිඩ එවද්දී නිතරම භාවිතා කරන ඉමෝජියයි.

නිතුර්යගේ දෑස් දුරකථන තිරයේ ඇති ඒ රතු හදවත මත නතර වී තිබුණි. ඔහුගේ පපුව වේගයෙන් ගැහෙන්නට වූයේ බිය සහ කුතුහලය එකට මුසු වූ අමුතුම හැඟීමක් සමඟිනි.

"කවුද බං මැසේජ් කළේ? රෑ වෙලා?" කසුන් සැකයෙන් මෙන් ඇසුවේය. ඔහු වාහනයේ වේගය අඩු කර නිතුර්යගේ නිවස ඉදිරිපිට ගේට්ටුව අසල නතර කළේය.

නිතුර්ය ඉක්මනින් දුරකථනයේ තිරය නිවා දමා එය සාක්කුවේ දමා ගත්තේය. කසුන් මේ පණිවිඩය ගැන දැනගත යුතු නැත. පණිවිඩයේ පැහැදිලිවම සටහන් වී තිබුණේ "තනියම එන්න" කියාය. රිහාර්යා හෝ ඇය වෙනුවෙන් පෙනී සිටින මේ අද්භූත පුද්ගලයා කසුන්ව විශ්වාස නොකරන බවක් එයින් හැඟවුණි.

"ආ... නෑ බං. මේ ඩයලොග් එකෙන් ඩේටා ඔෆර් එකක්," නිතුර්ය බොරු කීවේය. ඔහුගේ හඬෙහි වෙව්ලීමක් නොතිබීම ගැන ඔහුම පුදුම විය. බොරුවක් කීම එතරම් පහසු වූයේ ඔහුගේ අරමුණ ඊට වඩා ප්‍රබල වූ නිසා විය හැක.

කසුන් ඔහු දෙස සැකයෙන් බැලුවද, තවත් ප්‍රශ්න කිරීමට ගියේ නැත. "හරි හරි. දැන් ගිහින් නිදාගන්න බලපන්. අර කොලේ ගැන අපි හෙට උදේට ආයේ කතා කරමු. ඕන නම් මම හෙට එන්නම්."

"එපා කසුන්. හෙට... හෙට මට පොඩි වැඩ වගයක් තියෙනවා," නිතුර්ය කඩිමුඩියේ කීවේය. "මම උඹට කතා කරන්නම්."

නිතුර්ය වාහනයෙන් බැස ගත්තේය. වර්ෂාව දැන් තුරල් වී තිබුණද, පරිසරයේ තිබුණේ තෙත බරිත, සීතල ස්වභාවයකි. ඔහු ගේට්ටුව ඇරගෙන මිදුලට ඇතුළු විය. කසුන්ගේ මෝටර් රථය ඈතට යනතුරු බලා සිටි ඔහු, දීර්ඝ හුස්මක් ගෙන නිවස දෙසට හැරුණේය.

ඔහුගේ කාමරය සුපුරුදු පරිදි අඳුරේ ගිලී තිබුණි. විදුලි බුබුල දැල්වූ සැණින් ඔහුගේ දෑස් ගියේ මේසය මත තිබූ රිහාර්යාගේ ඡායාරූපයටයි. එහි ඇය සිනාසෙමින් සිටියේ මීට වසරකට පෙර තිබූ ඒ සුන්දර අතීතයේ සිරවීය.

නිතුර්ය කාමරයේ දොර අගුළු දැමුවේය. ඔහු සාක්කුවේ තිබූ අර තීන්ත බොඳ වූ ලියුම් කැබැල්ලත්, දුරකථනයත් මේසය මත තැබුවේය.

"රිහාර්යා... මේ ඇත්තටම ඔයාද?" ඔහු ඡායාරූපය අතට ගෙන ඇසුවේය. "ඔයා ජීවත් වෙලා ඉන්නවා නම්... ඇයි මට මෙච්චර දවස් වධ දුන්නේ?"

පිළිතුරක් නැත. ඇත්තේ ප්‍රශ්නාර්ථයක් පමණි.

නමුත් හෙට රාත්‍රියේ මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලැබෙනු ඇත. 'රෙඩ් මූන් ක්ලබ්' එක කොළඹ නගරයේ ප්‍රසිද්ධ, එහෙත් යම් ගුප්ත නමක් දිනාගත් ස්ථානයකි. එතැනට තනිවම යාම අනතුරුදායක විය හැක. සමහරවිට මෙය මංකොල්ලකරුවෙකුගේ උගුලක් විය හැක. නැතහොත් කසුන් කීවාක් මෙන් මෙය මානසික ක්‍රීඩාවක් විය හැක.

එහෙත්, ඒ රිදී පැහැති පළඳනාව සහ රතු හදවතේ ඉමෝජිය නිතුර්යගේ තීරණය ස්ථිර කළේය.

ඔහු දුරකථනය ගෙන අර අංකය සේව් (Save) කරගත්තේය. නමක් ලෙස ඔහු යෙදුවේ "රතු සෙවණැල්ල" (Red Shadow) කියාය.

"හෙට රෑට මම එනවා," නිතුර්ය තමාටම පොරොන්දු විය. "ඒ අපායට වෙන්න වුණත්... මම එනවා."

ඔහු විදුලි බුබුල නිවා දැමුවේය. කාමරය අන්ධකාරයේ ගිලී ගියද, දුරකථනයේ තිරයෙන් විහිදුණු අඳුරු එළිය ඔහුගේ මුහුණ මත වැටී තිබුණේ හෙට දවසේ එළඹෙන අභිරහස් ඉරණම ගැන ඉඟි කරමිනි.

සෙවණැලි ක්‍රීඩාව ආරම්භ වී ඇත.

Advertisement
355
0
0

අදහස් (0)

තවම අදහස් නැත. පළමුවැන්නා වන්න!