නුඹ මගේම සිතුවමක් - Chapter 6
by Uma
පොලිස් නිලධාරීන් කාමරයට කඩා වැදුනේ සුළි කුණාටුවක් මෙනි. එක් නිලධාරියෙක් ගිමන්ව බිත්තියට තද කර අත් දෙක පිටුපසට කර අල්ලා ගත්තේය. අනෙක් නිලධාරියා කෙලින්ම ගියේ ඊසල් එක දෙසටය.
"Voilà! (මෙන්න බඩු!)" නිලධාරියා ව්‍යාජ රෙනොයාර් සිතුවම දෙස බලා කෑගැසුවේය. "හරියටම තොරතුර ලැබිලා තියෙනවා."
ශෙනල්‍යා බියෙන් වෙව්ලමින් පස්සට ගියාය. "එපා... එයාට රිද්දන්න එපා! එයා වැරැද්දක් කළේ නෑ!" ඇය කෑගැසුවාය.
නිලධාරියා ඇය දෙසට හැරුණේය. "මැඩම්, කරුණාකර පැත්තකට වෙන්න. මේක බරපතල අපරාධයක්. කලා කෘති වංචා කිරීම (Art Forgery) සහ නීතිවිරෝධීව රැඳී සිටීම."
ගිමන් දඟලන්නට විය. ඔහුගේ මූණ බිත්තියේ ඇතිල්ලී තිබිණි. "සර්, මේ ගෑනු ළමයා මේ මුකුත් දන්නේ නෑ. එයා මගේ යාළුවෙක් විතරයි. මේ ඔක්කොම මගේ වැඩක්. එයාට කරදර කරන්න එපා!"
ගිමන්ගේ එකම අරමුණ වූයේ ශෙනල්‍යාව මේ නඩුවෙන් ගලවා ගැනීමයි. ඇය හවුල්කාරියක් ලෙස හංවඩු ගැසුනහොත් ඇගේ අනාගතයම අඳුරු වනු ඇත.
නිලධාරියා ගිමන්ගේ අත්වලට යකඩ මාංචු දැමුවේය. ඒ 'කිරික්' හඬ ශෙනල්‍යාගේ හදවත පලාගෙන ගියාක් මෙන් දැනිණි.
"ගිමන්..." ඇය ඔහු ළඟට දිව යන්නට හැදුවත්, අනෙක් නිලධාරියා ඇයව නතර කළේය.
"අපි මෙයාව අරන් යනවා. ඔයාටත් ප්‍රශ්න කිරීම්වලට එන්න වෙයි," නිලධාරියා කීවේය.
ඔවුන් ගිමන්ව කාමරයෙන් එළියට තල්ලු කරගෙන ගියහ. පඩිපෙළ බැස යන ගිමන් අවසන් වරට හැරී ශෙනල්‍යා දෙස බැලුවේය. ඔහුගේ දෑස්වල තිබුණේ කඳුළු නොව, ඉල්ලීමකි. 'පරිස්සම් වෙන්න...' ඒ දෑස්වල ලියැවී තිබිණි.
පොලිස් රථයේ සයිරන් හඬ පැරිසියේ රාත්‍රිය දෙකඩ කරමින් ඈතට ඇදී ගියේය. ශෙනල්‍යා හිස් කාමරයේ තනි වූවාය. බිම වැටී තිබුණු පින්සල්, තිනර් ගඳ සහ ගිමන්ගේ අඩක් බීපු සිගරට් එක පමණක් ඇය වෙනුවෙන් ඉතිරිව තිබිණි.
මධ්‍යම රාත්‍රිය වන විට ශෙනල්‍යා හිටියේ පිස්සු වැටෙන්නට ඔන්න මෙන්නය. ඇය දන්නා ප්‍රංශ භාෂාවක් නැත. පොලිසියට ගොස් කතා කරන්නේ කෙසේදැයි ඇය දන්නේ නැත. ගිමන්ව හිරේ දමාවිද? රටින් පිටුවහල් කරාවිද?
ඇයට පිහිටට සිටියේ එකම එක කෙනෙකි. ඇය අකමැත්තෙන් වුවද බෑගයේ තිබූ බර්නාඩ් දුන් කාඩ්පත අතට ගත්තාය.
ඇය වෙව්ලන ඇඟිලිවලින් අංකය ඩයල් කළාය.
"හෙලෝ..."
"අංකල් බර්නාඩ්? මම ශෙනල්‍යා..." ඇගේ කටහඬ බිඳී ගියේය.
"ආ... ශෙනල්‍යා දුව. මම මේ කෝල් එක එනකම් බලාගෙන හිටියේ," බර්නාඩ්ගේ හඬේ තිබුණේ කිසිදු පුදුමයක් නොවන, සන්සුන් ස්වභාවයකි. ඔහු මේ සියල්ල දැනගෙන සිටියාද?
"අංකල්, පොලිසියෙන් ඇවිත් ගිමන්ව අරන් ගියා. අනේ එයාව බේරගන්න. එයා වැරැද්දක් කළේ අපිට සල්ලි නැති හින්දා. ප්ලීස්..." ශෙනල්‍යා හඬා වැටුණාය.
"හ්ම්... ආර්ට් ෆෝජරි කේස් එකක් නේද? ඒක බරපතලයි දුව. අවුරුදු 5ක් හිරේ යන්න පුළුවන් වැඩක්," බර්නාඩ් නීතිමය තත්වය පැහැදිලි කළේය.
"අනේ මොකක් හරි කරන්න. තාත්තාට කියන්න..."
"තාත්තා මේ ගැන දන්නවා ශෙනල්‍යා," බර්නාඩ්ගේ වචන ඇගේ ඇඟ සීතල කළේය. "ඇත්තටම කියනවා නම්, තාත්තා තමයි මට කිව්වේ මේ වෙලාවේ ඔයාට උදව් කරන්න කියලා."
"මොකක්ද කරන්න ඕන? මම ඕන දෙයක් කරන්නම්," ශෙනල්‍යා ඇසුවාය.
"හොඳයි. මට පුළුවන් මගේ කනෙක්ෂන් (Connections) පාවිච්චි කරලා ගිමන්ව හිරේ නොයවා, නිකම්ම ඩිපෝට් (Deport - පිටුවහල්) කරන මට්ටමට ගේන්න. එතකොට එයාට ලංකාවට ඇවිත් නිදහසේ ඉන්න පුළුවන්. හැබැයි..."
බර්නාඩ් මොහොතක් නතර විය.
"හැබැයි එක කොන්දේසියක් තියෙනවා. ඔයා හෙට උදේම මම දෙන ෆ්ලයිට් එකේ ලංකාවට එන්න ඕන. ඇවිත් තාත්තා කියන විදිහට ඉන්න ඕන. ගිමන් එක්ක තියෙන සම්බන්ධෙ සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන. අඩුම තරමේ එයාට කෝල් එකක්වත් ගන්න බෑ."
ශෙනල්‍යාගේ හුස්ම හිරවිය. ගිමන්ව බේරගැනීමේ මිල ඇගේ ආදරයද?
"මම කොහොමද එයාව දාලා එන්නේ?"
"තීරණය ඔයාගේ අතේ ශෙනල්‍යා. ඔයාට ඕන නම් මෙහෙ ඉඳගෙන ගිමන් ප්‍රංශ හිරගෙදරක අවුරුදු පහක් කුණු වෙනවා බලන් ඉන්න පුළුවන්. නැත්නම් එයාව ගෙදර යවන්න පුළුවන්. ඔයාට විනාඩි දහයක් තියෙනවා හිතන්න."
දුරකථනය විසන්ධි විය. ශෙනල්‍යා බිත්තියට හේත්තු වී බිම වාඩි වූවාය. මේක තාත්තාගේ සහ රයන්ගේ සැලැස්මයි. ගිමන්ව හිරේ දමනවා කියා බිය කර, ඇයව ආපසු ගෙන්වා ගැනීම.
නමුත් ඇයට වෙන විකල්පයක් තිබුණේ නැත. ගිමන් වෙනුවෙන් ඇය කළ හැකි ලොකුම පරිත්‍යාගය මෙයයි.
පසුදා උදෑසන ගිමන් සිටියේ පොලිස් ස්ථානයේ අංක 402 දරණ කුඩා සිරමැදිරියේය. ඔහුට මුළු රාත්‍රියම නින්ද ගියේ නැත. ශෙනල්‍යා ගැන සිතමින් ඔහු පිච්චෙමින් සිටියේය.
යකඩ දොර ඇරෙන හඬක් ඇසිණි. පොලිස් නිලධාරියෙක් සහ තවත් අයෙක් ඇතුළට ආහ. ඒ බර්නාඩ් ය.
ගිමන් පුදුමයෙන් නැගිට්ටේය. "ඔයා?"
"වාඩි වෙන්න මිස්ටර් අකලංක," බර්නාඩ් පුටුවක වාඩි විය. "මම ආවේ ඔයාව එළියට ගන්න."
"මොකක්? ඇයි?" ගිමන්ට අදහාගත නොහැකි විය. ශෙනල්‍යාගේ තාත්තාගේ නීතිඥයා ඔහුව බේරගන්නේ ඇයි?
"හේතුව සරලයි. ශෙනල්‍යා ඔයා වෙනුවෙන් ඩීල් (Deal) එකකට කැමති වුණා," බර්නාඩ් කපටි සිනහවකින් කීවේය.
ගිමන්ගේ පපුව ගැස්සී ගියේය. "මොන ඩීල් එකද?"
"එයා අද උදේ ෆ්ලයිට් එකෙන් ලංකාවට ගියා. එයා පොරොන්දු වුණා ආයේ කවදාවත් ඔයාව හම්බවෙන්නේ නෑ කියලා. ඒ වෙනුවට, ඔයාට විරුද්ධව තියෙන නඩු අයින් කරලා, ඔයාව ලංකාවට පිටුවහල් කරන්න මම කටයුතු කළා."
"නෑ... බොරු කියන්න එපා!" ගිමන් කෑගැසුවේය. "ශෙනල්‍යා මාව දාලා යන්නේ නෑ!"
බර්නාඩ් තමාගේ බෑගයෙන් ලිපියක් ගෙන මේසය මත තැබුවේය. එය ශෙනල්‍යාගේ අත් අකුරු ය. කඳුළු පැල්ලම් කිහිපයක් ද එහි විය.
"ගිමන්, මට සමාවෙන්න. ඔයා හිරේ යනවට වඩා, ඔයා මගෙන් ඈත් වෙලා හරි නිදහසේ ඉන්නවා දකින්න මම කැමතියි. මම යනවා. ඔයා පරිස්සමෙන් ඉන්න. මාව හොයන්න එපා. - ශෙනල්‍යා"
ගිමන් ලිපිය අතට ගත්තේය. අකුරු බොඳ වී පෙනුණි. ඔහු බේරුණා විය හැක. නමුත් ඔහුගේ ජීවිතයම අහිමි වී ඇත.
"ලෑස්ති වෙන්න. තව පැය දෙකකින් ඔයාගේ ෆ්ලයිට් එක," බර්නාඩ් නැගිට්ටේය.
පැය 24කට පසු කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි ගිමන්ට දැනුනේ තමා ආපසු නිරයට පැමිණි බවකි. මාස කිහිපයකට පෙර ඔහු මෙහෙන් ගියේ වීරයෙකු ලෙසය. අද ඔහු ආපසු පැමිණ ඇත්තේ පරාජිතයෙකු, පිටුවහල් කළ අපරාධකරුවෙකු ලෙසය.
ගුවන් තොටුපළේ දොරටුව අසල රවිත් සහ හිමාෂ් බලා සිටියහ. ඔවුන් ගිමන්ව දුටු විගස දිව ආහ.
"මචං..." රවිත් ගිමන්ව බදා ගත්තේය. "අපි ඔක්කොම ආරංචි වුණා. අවුලක් නෑ බං. උඹ ආපහු ආවනේ."
ගිමන් වචනයක්වත් කතා කළේ නැත. ඔහු හිස් බැල්මෙන් බලා සිටියේය.
"කෝ ශෙනල්‍යා?" හිමාෂ් ඇසුවේය.
"එයා ගියා..." ගිමන් වියළි හඬින් කීවේය. "එයා එයාගේ ලෝකෙට ගියා. මම මගේ ලෝකෙට ආවා."
ඔවුන් ත්‍රීරෝද රථයකට නැග ගිමන්ගේ පරණ බෝඩිමට යන අතරතුර, ගිමන් ජංගම දුරකථනය ඔන් කළේය. ශෙනල්‍යාගේ අංකය වැඩ කළේ නැත. ඇය සියලු සමාජ මාධ්‍ය ගිණුම් අක්‍රිය කර තිබිණි.
රයන් දිනා ඇත. ඔහු ගිමන්ගේ කලා ජීවිතයත්, ආදරයත් දෙකම විනාශ කර දැමුවේය.
නමුත් ගිමන්ගේ හදවතේ යට අළු යට ගිනි පුපුරක් ඉතිරිව තිබිණි. ඔහු පරාජය භාර ගත්තා යැයි ලෝකයා සිතුවත්, කලාකරුවෙකුගේ පළිගැනීම සාමාන්‍ය මිනිසෙකුගේ පළිගැනීමට වඩා භයානක විය හැකිය. ඔහු පින්සල වෙනුවට වෙනත් ආයුධයක් අතට ගැනීමට කාලය පැමිණ ඇත.
ලංකාවේ රස්නය ගිමන්ට දැන් නුහුරුය. පැරිසියේ අයිස් වැනි සීතලට හුරු වී සිටි ඔහුගේ සම, කොළඹ දූවිලි සහ අව්වට පිළිස්සෙන්නට විය. ඔහු ආපසු පැමිණ දින තුනක් ගත වී ඇතත්, ඔහු තවමත් පරණ බෝඩිම් කාමරයෙන් එළියට බැස්සේ නැත.
කාමරය එදා තිබූ විදිහටම තිබුණි. නමුත් දැන් එය පෙනුනේ මිනීවළක් මෙනි. මුල්ලක තිබූ ඊසල් (Easel) එක දෙස බලන විට ගිමන්ට මතක් වූයේ පැරිසියේ පොලිසිය කඩා වැදුණු මොහොතයි. ඔහුට පින්සලක් අතින් අල්ලන්නටවත් සිතුනේ නැත. ඔහුගේ කලා ජීවිතය ඉවරය. ඔහු දැන් හුදෙක් අපරාධ චෝදනාවකට ලක් වී රටින් පිටුවහල් කළ "හොරෙකි".
රවිත් දවල් කෑම පාර්සලයක් රැගෙන කාමරයට ආවේය.
"මචං... කාලා හිටපන්. උඹ ඔහොම නොකා නොබී හිටියට ශෙනල්‍යා ආපහු එන්නේ නෑනේ," රවිත් දුකෙන් කීවේය.
"මට එයා එයි කියලා බලාපොරොත්තුවක් නෑ රවිත්," ගිමන් ඇඳේ වැතිරී සිවිලිම දෙස බලාගෙනම කීවේය. "මට දුක මම ගැන. මම හිතුවා මට පුළුවන් වෙයි කියලා මේ ක්‍රමේ වෙනස් කරන්න. ඒත් අන්තිමට මම වුනෙත් ඒ ක්‍රමේම කොටසක්."
"උඹට තාම පිස්සු. උඹ දන්නවද කැම්පස් එකේ උන් මොනවද කතා වෙන්නේ කියලා?" රවිත් හඬ බාල කළේය.
"මොනවද? මම හොර සල්ලි අච්චු ගැහුවා කියලද?"
"නෑ... රයන් හැමතැනම ප්‍රචාරය කරලා තියෙන්නේ උඹ ප්‍රංශෙදි ඩ්‍රග්ස් (Drugs) වලට අහු වුණා කියලා. ඒකයි ඩිපෝට් කළේ කියලා. දැන් කැම්පස් එකේ කිසිම කෙනෙක් උඹේ නම කියන්න කැමති නෑ. ආචාර්ය සේනාධීර සර් පවා උඹ ගැන අහද්දි මූණ කරකවා ගන්නවා."
ගිමන්ගේ හිතේ තිබූ වේදනාව කෝපයකට පෙරළුණි. රයන් තමාට පහර දුන්නා මදිවාට, තමාගේ මළමිනියටත් පයින් ගසමින් සිටී.
"හොඳයි..." ගිමන් හදිසියේම ඇඳෙන් නැගිට්ටේය. "උන්ට ඕන මම කුඩ්ඩෙක් කියලා හිතන්නනේ. හිතාගත්තාවේ."
"උඹ මොකද කරන්න යන්නේ?" රවිත් බියෙන් ඇසුවේය.
"මම රස්සාවක් හොයාගන්නවා රවිත්. හැබැයි මේ පාර පින්සල් අරන් නෙවෙයි. මට සල්ලි ඕන. ගොඩක් සල්ලි."
සතියකට පසු ගිමන් කොළඹ ප්‍රධාන පෙළේ වෙළඳ දැන්වීම් ආයතනයකට (Advertising Agency) ගියේ සම්මුඛ පරීක්ෂණයකටය. ඔහු සතුව ප්‍රංශයේ ලලිත කලා උපාධිය සම්පූර්ණ කිරීමට නොහැකි වුවත්, ඔහුගේ දක්ෂතාවය ගැන සහතික (Portfolio) තිබිණි.
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටියේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකි. ඔහු ගිමන්ගේ ෆයිල් එක පෙරලා බැලුවේය.
"ගිමන් අකලංක... ආ... මට මේ නම පුරුදුයි," අධ්‍යක්ෂකවරයා ගිමන් දෙස බැලුවේ නළල රැලි කරමිනි. "ඔයා නේද අර 'වර්ණ' තරඟෙ දිනලා ප්‍රංශෙ ගිහින් ඩිපෝට් වුන කෙනා?"
ගිමන්ගේ උගුර වේලී ගියේය. ලංකාව කුඩාය. ආරංචි පැතිරෙන්නේ විදුලි වේගයෙනි.
"ඔව් සර්... ඒත් ඒක පෞද්ගලික හේතුවක් මත..."
"මිස්ටර් ගිමන්," අධ්‍යක්ෂකවරයා ෆයිල් එක වැසුවේය. "අපි හොයන්නේ ක්‍රියේටිව් මිනිස්සු. හැබැයි අපිට අපේ කම්පැණි එකේ රෙපියුටේෂන් (Reputation) එක වැදගත්. 'ආර්ට් ෆෝජරි' සහ 'ඩ්‍රග්ස්' කේස් තියෙන කෙනෙක්ව අපිට ගන්න අමාරුයි."
"සර්, මම ඩ්‍රග්ස් කළේ නෑ! අනික මගේ ටැලන්ට් එක..."
"ටැලන්ට් එක විතරක් මදි. සොරි."
ගිමන් එළියට ආවේ හිස බිම ඔබාගෙනය. ඔහු තවත් තැන් පහකට ගියේය. ප්‍රතිඵලය එකම විය. රයන්ගේ බොරුව සහ ප්‍රංශයේ සිද්ධිය ඔහුගේ නම ඉදිරියෙන් "අවදානම්" (Risk) යන ලේබලය අලවා තිබිණි.
දහවල් වන විට ඔහු ගාලු මුවදොර පිටියේ බංකුවක වාඩි වී මුහුද දෙස බලා සිටියේය. සාක්කුවේ තිබූ අවසන් රුපියල් පන්සීයෙන් රටකජු පැකට් එකක් ගෙන කෑවේය.
ඒ මොහොතේම ඔහුගේ ෆෝන් එකට නන්නාඳුනන අංකයකින් කෝල් එකක් ආවේය.
"හෙලෝ?"
"මිස්ටර් ගිමන් අකලංක?" එහා පැත්තෙන් ඇසුණේ ගැඹුරු, වියපත් කටහඬකි.
"ඔව්... කවුද මේ?"
"මගේ නම වැදගත් නෑ. මම දන්නවා ඔයාට රස්සාවක් නෑ කියලා. මම දන්නවා ඔයාට සිද්ධ වුණ දේ ගැන ඇත්තම කතාව. මට ඔයාව හම්බවෙන්න ඕන."
"ඇයි?" ගිමන් සැකයෙන් ඇසුවේය.
"මොකද මට ඕන ඔයා වගේ 'කෙලෙස් පිරුණු' දක්ෂයෙක්ව. ඔයාගේ නරක නම (Bad Reputation) මට ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මට ඕනෙත් ඒකයි. අද රෑ 8ට සිනමන් ග්‍රෑන්ඩ් එකේ ලොබියට එන්න."
දුරකථනය විසන්ධි විය. ගිමන් ෆෝන් එක දෙස බලා සිටියේය. මෙය තවත් උගුලක්ද? නැත්නම් දෛවය ඔහුට විසි කළ ලණුවක්ද? කෙසේ වෙතත්, නැති වීමට දෙයක් ඔහු ළඟ ඉතිරිව තිබුණේ නැත.
රාත්‍රී 8ට ගිමන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ලොබියට ගියේය. ඔහු හැඳ සිටියේ තමා සතු එකම හොඳ කමිසයයි.
ලොබියේ අඳුරු මුල්ලක සෝෆාවක වාඩි වී සිටියේ සුදු ඇඳුමින් සැරසුණු, ෂේඩ්ස් (Shades) දමාගත් මැදි වයසේ පුද්ගලයෙකි. ඔහු ළඟ අමුතුම ගාම්භීර බවක් තිබිණි.
"වාඩි වෙන්න ගිමන්," ඔහු අතින් ඉඟි කළේය.
ගිමන් වාඩි විය. "ඔයා කවුද?"
"මම ධර්මදාස. 'Art & Soul' ගැලරියේ අයිතිකාරයා," ඔහු කීවේය. "මම දැක්කා ඔයා ප්‍රංශෙදි ඇඳපු අර 'ව්‍යාජ රෙනොයාර්' එකේ ෆොටෝ එකක්."
ගිමන් ගැස්සී ගියේය. "ඔයා කොහොමද ඒක දැක්කේ? ඒක පොලිසිය ළඟනේ."
"මට මගේ ක්‍රම තියෙනවා. ගිමන්, ඔයා ඒ චිත්‍රෙ අඳින්න පාවිච්චි කරපු ටෙක්නික් එක ලෝකේ දක්ෂතම සිත්තරුන්ටවත් කරන්න අමාරුයි. ඔයා නිකම්ම ආර්ටිස්ට් කෙනෙක් නෙවෙයි. ඔයා මැජික්කාරයෙක්."
"ඉතින්? මම දැන් රස්සාවක් හොයනවා මිසක් ආයේ හොර චිත්‍ර අඳින්න නෙවෙයි," ගිමන් නැගිටින්නට හැදුවේය.
"වාඩි වෙන්න," ධර්මදාසගේ හඬේ තිබුණේ අණ දෙන ස්වභාවයකි. "මම හොර වැඩ කරන්න කතා කළේ නෑ. මට ඕන මගේ අලුත් ප්‍රොජෙක්ට් එකට 'Ghost Painter' (අනුන් වෙනුවෙන් අඳින සිත්තරා) කෙනෙක්."
"ඒ කියන්නේ?"
"ලංකාවේ ඉන්නවා ගොඩක් සල්ලි තියෙන, ඒත් සමාජ තත්ත්වය පෙන්නන්න කලාව පාවිච්චි කරන මිනිස්සු. එයාලට ඕන එයාලගේ නමින් චිත්‍ර එළිදක්වන්න. හැබැයි එයාලට අඳින්න බෑ. ඔයාට තියෙන්නේ අඳින්න. සල්ලි මම දෙනවා. නම යන්නේ වෙන අයගේ."
ගිමන්ට පිළිකුලක් දැනිණි. "මගේ කලාව වෙන එකෙක්ගේ නමින් විකුණන්න? කවදාවත් නෑ."
"හොඳයි..." ධර්මදාස සන්සුන්ව වයින් වීදුරුව තොල ගෑවේය. "එහෙනම් ගිහින් හිඟා කන්න. හැබැයි මතක තියාගන්න, ඔයාගේ අර ලස්සන පෙම්වතිය... ශෙනල්‍යා... එයා ලබන මාසේ රයන්ව බඳිනවා කියලා ආරංචියි."
ගිමන් ගල් ගැසී ගියේය. "මොකක්?"
"ඔව්. සේනක මුදලාලි බිස්නස් ඩීල් එකක් විදිහට දුවව රයන්ට දෙන්න තීරණය කරලා. රයන්ගේ තාත්තා ඒකට කැමති වෙලා. තව මාසෙකින් එන්ගේජ්මන්ට් (Engagement) එක."
ගිමන්ගේ හිස කැරකෙන්නට විය. ශෙනල්‍යා? රයන්ව බඳිනවා? ඇය පොරොන්දු වුණේ ගිමන්ව දාලා ගියාට රයන්ට අයිති වෙන්නේ නෑ කියලා නේද?
"බොරු කියන්න එපා!"
"මට බොරු කියන්න ඕන නෑ කොල්ලෝ. ඔයාට සල්ලි නෑ. බලය නෑ. නමක් නෑ. ඔයාට ශෙනල්‍යා වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. හැබැයි..." ධර්මදාස ඉදිරියට නැමුණේය. "...ඔයා මාත් එක්ක එකතු වුනොත්, මම ඔයාට සල්ලි දෙනවා. බලය දෙනවා. රයන්ගේ තාත්තාටත් වඩා ඉහළින් යන්න පාර හදලා දෙනවා. ඔයාට තියෙන්නේ ඔයාගේ 'ඊගෝ' (Ego) එක පොඩ්ඩක් පැත්තකින් තියන්න විතරයි."
ගිමන් කල්පනා කළේය. ඔහුගේ ආදරය විකිණී ඇත. ඔහුගේ කලාව ප්‍රතික්ෂේප වී ඇත. දැන් ඔහුට ඉතිරිව ඇත්තේ පළිගැනීම පමණි. රයන්ට රිදවන්නට නම්, රයන්ගේ භාෂාවෙන් කතා කළ යුතුය. ඒ සදහා මුදල් සහ බලයයි අවශ්‍යයි.
"මම කැමතියි," ගිමන් අවසානයේ කීවේය. ඔහුගේ හඬේ තිබුණේ සීතල බවකි.
"නියමයි," ධර්මදාස අතට අත දුන්නේය. "හෙට ඉඳන් ඔයා ගිමන් අකලංක නෙවෙයි. ඔයා තමයි 'The Shadow'. අපි මේ ගේම් එක වෙනස් කරමු."
ධර්මදාසගේ මෝටර් රථය නතර වූයේ කොළඹ 7, කුරුඳුවත්තේ පිහිටි දැවැන්ත තාප්පයකින් වට වූ මන්දිරයක් ඉදිරිපිටය. ගේට්ටුව විවෘත වූ සැණින් ගිමන් දුටුවේ නවීන පන්නයේ සුදු පැහැති ගොඩනැගිල්ලකි.
"මේක තමයි ඔයාගේ අලුත් වැඩබිම," ධර්මදාස ගිමන්ව ඇතුළට කැඳවාගෙන ගියේය.
ඔවුන් ගියේ පහළ මාලයේ පිහිටි රහසිගත කාමරයකටය. දොර ඇරිය විට ගිමන්ගේ දෑස් නිලංකාර විය. එය වායු සමීකරණය කළ, නවීනතම ආලෝකකරණ පද්ධතිවලින් යුත් චිත්‍රාගාරයකි. එහි ලෝකයේ මිල අධිකම තෙල් සායම් වර්ග, ලිනන් කැන්වස් රෝල් ගණන් සහ බුරුසු කට්ටල අට්ටි ගසා තිබිණි. පැරිසියේදී මේවා ගැනීමට ගිමන් සිහින මැව්වේය. අද මේවා ඔහුගේ දෙපතුල ළඟය. නමුත් මේවා පරිහරණය කිරීමට ඔහුට සිදුව ඇත්තේ තමාගේ නම මරා දමා ය.
"පළවෙනි වැඩේ," ධර්මදාස ටැබ් එකක් (Tablet) ගිමන්ට දිගු කළේය. "මේ ඉන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ඇමති කෙනෙක්ගේ නෝනා. එයාට ඕන එයාගේ මූණ තියෙන පෝට්රේට් (Portrait) එකක්. හැබැයි ඒක අඳින්නේ එයාමයි කියලා තමයි ලෝකෙට කියන්නේ. එයා ලබන මාසේ එක්සිබිෂන් එකක් කරනවා. ඔයාට දවස් තුනයි තියෙන්නේ."
ගිමන් ටැබ් එක දෙස බැලුවේය. මද සිනහවක් ඇති, එහෙත් හිස් බැල්මක් ඇති කාන්තාවකි.
"කීයද ගෙවන්නේ?" ගිමන් ඇසුවේය.
"මේකට ඔයාට ලක්ෂ දෙකක් ලැබෙනවා. කෑෂ් (Cash)."
ගිමන් පින්සල අතට ගත්තේය. වෙනදා ඔහු චිත්‍රයක් අඳින්නේ ආදරයෙන් හෝ වේදනාවෙනි. අද ඔහු අඳින්නේ වෛරයෙනි. ඔහු තද වර්ණ තෝරා ගත්තේය. ඇමති බිරිඳගේ රූපය කැන්වසය මත මැවෙන විට, ගිමන් ඇගේ දෑස්වලට සියුම් කපටි බවක් ඇතුළු කළේය. එය බැලූ බැල්මට පෙනෙන්නේ නැත. නමුත් හොඳින් බැලුවොත් පෙනෙන්නේ ඇගේ සැබෑ ආත්මයයි.
දින තුනකට පසු ධර්මදාස පැමිණ චිත්‍රය දෙස බැලුවේය.
"යකෝ... මේක මාරයිනේ. මේ ගෑනිගේ ඇතුලාන්තයම එළියට අරන්. හැබැයි එයාට තේරෙන එකක් නෑ. එයා හිතයි මේක මාර ලස්සනයි කියලා," ධර්මදාස මහ හඬින් සිනාසුණේය. ඔහු මුදල් බන්ඩලයක් ගිමන්ගේ අතේ තැබුවේය.
ගිමන් මුදල් ටික සාක්කුවේ දාගෙන එළියට බැස්සේය. ඔහුට සතුටක් තිබුණේ නැත. නමුත් ඔහුගේ සාක්කුවේ බලය තිබිණි.
මාසයක් ගත විය. ගිමන් තවදුරටත් පරණ බෝඩිමේ සිටියේ නැත. ඔහු කොළඹ නගර මධ්‍යයේ කුඩා එහෙත් නවීන ඇනෙක්සියක් කුලියට ගත්තේය. ඔහුගේ කොණ්ඩය කැපී, රැවුල ට්‍රිම් (Trim) වී තිබිණි. පරණ ටී ෂර්ට් වෙනුවට ඔහු දැන් ඇන්දේ සන්නාමගත (Branded) ඇඳුම් ය.
රවිත් සහ හිමාෂ් ගිමන්ව හමුවීමට ඔහුගේ අලුත් තැනට ආහ.
"අඩෝ... උඹට ලොතරැයි ඇදුනද? කොහෙන්ද බං මේ සල්ලි?" රවිත් වටපිට බලමින් ඇසුවේය.
"මම ජොබ් එකක් කරනවා," ගිමන් කෙටියෙන් කීවේය.
"මොන ජොබ් එකද? කුඩු විකුණනවද?" හිමාෂ් සැකයෙන් ඇසුවේය.
"නෑ. මම ධර්මදාස මහත්තයාගේ ගැලරි එකේ කන්සල්ටන්ට් (Consultant) කෙනෙක් විදිහට වැඩ කරනවා. ආර්ට් ගැන එයාලට උපදෙස් දෙන එක මගේ වැඩේ," ගිමන් බොරුවක් කීවේය. ඔහුට තමා 'Ghost Painter' කෙනෙක් බව මිතුරන්ටවත් කිව නොහැක.
"හරි හරි. සල්ලි හම්බවෙනවා නම් එච්චරයිනේ. ඒත් බං... උඹ දැන් හරි වෙනස් වෙලා. ඉස්සර හිටපු ගිමන් නෙවෙයි දැන් ඉන්නේ," රවිත් ගිමන්ගේ දෑස් දෙස බැලුවේය. "උඹේ ඇස්වල තියෙන දේට මම බයයි."
"මම වෙනස් වුණේ නෑ රවිත්. ලෝකේ මාව වෙනස් කළා. මට දැන් ඕන එකම දෙයක් විතරයි."
"ශෙනල්‍යා?"
"නෑ. රයන්ව විනාශ කරන එක," ගිමන් වයින් වීදුරුව තොල ගෑවේය. "ශෙනල්‍යා බඳින්නේ ලබන මාසෙනේ. මට ඊට කලින් රයන්ගේ තාත්තාගේ එම්පයර් (Empire) එක හොල්ලන්න ඕන."
"උඹට පිස්සු ගිමන්. උන් එක්ක හැප්පෙන්න එපා," හිමාෂ් අවවාද කළේය.
නමුත් ගිමන් සිනාසුණේය. ඔවුන් දන්නේ නැත, ධර්මදාස හරහා ගිමන් මේ වන විට කොළඹ ප්‍රභූ සමාජයේ (Elite Society) අඳුරු රහස් ගොඩක් දැනගෙන සිටින බව. කලාවට ආදරය කරන බොහෝ ධනවතුන්ගේ රහස් ගිමන්ගේ පින්සල හරහා හුවමාරු වෙමින් තිබිණි.
සති අන්තයේ කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවතියේ දැවැන්ත කලා වෙන්දේසියකි (Art Auction). මෙයට ලංකාවේ සිටින ධනවත්ම පුද්ගලයින් සහභාගී විය. ධර්මදාස ගිමන්ව ද මෙයට කැඳවාගෙන ගියේය.
ගිමන් ඇඳ සිටියේ තද නිල් පැහැති කබායකි (Blazer). ඔහු කොණ්ඩය ජෙල් කර පස්සට පීරගෙන සිටියේය. කිසිවෙකුට ඔහුව එකවර හඳුනාගත නොහැකි තරම් ඔහු වෙනස් වී තිබිණි.
ශාලාවට ඇතුළු වූ විගස ගිමන්ගේ දෑස් සෙව්වේ එක් අයෙක් පමණි.
වැඩි වේලාවක් ගත වූයේ නැත. රයන් සහ ශෙනල්‍යා ශාලාවට ඇතුළු වූහ.
රයන් කළු පැහැති කෝට් එකකින් සැරසී, අහංකාර ලෙස වටපිට බලමින් ඇවිද ආවේය. ඔහුගේ අතේ එල්ලී සිටියේ ශෙනල්‍යා ය. ඇය රතු පැහැති දිගු ගවුමක් ඇඳ සිටියාය. ඇය ලස්සනය. නමුත් ඇය පෙනුනේ ප්‍රාණයක් නැති බෝනික්කෙක් මෙනි. ඇගේ මුහුණේ කිසිදු හැඟීමක් තිබුණේ නැත. ඇය රයන් යන යන තැනට යාන්ත්‍රිකව ගමන් කළාය.
ගිමන්ට හුස්ම ගන්නට අමතක විය. ඇය කෙට්ටු වී ඇත. ඇගේ දෑස් යට කළු වී ඇත. රයන් ඇයව විනාශ කරමින් සිටී.
ධර්මදාස ගිමන්ට රහසින් කතා කළේය. "අන්න බලපන්. ජෝඩුව ඇවිල්ලා. යමු ළඟට."
ධර්මදාස රයන්ලා සිටි දෙසට ගියේය. ගිමන් ඔහු පසුපස ගියේ හදවත තද කරගෙනය.
"ආ... රයන් මහත්තයා! කොහොමද?" ධර්මදාස හඬ නඟා කතා කළේය.
රයන් හැරී බැලුවේය. "ආ ධර්මදාස. මොකද අද අලුත් කලෙක්ෂන් (Collection) එකක් තියෙනවද?"
"ඔව් ඔව්. මේ පාර මාර බඩු ටිකක් තියෙන්නේ. අඳුරනවා නේද මේ මගේ අලුත් පාට්නර් (Partner) ව?" ධර්මදාස ගිමන්ව පෙන්නුවේය.
රයන් ගිමන් දෙස බැලුවේය. මුලදී ඔහුට හඳුනාගත නොහැකි විය. නමුත් ගිමන් සිනාසුණේ නැත. ඔහු කෙලින්ම රයන්ගේ ඇස් දෙස බැලුවේය. ඒ තියුණු බැල්ම දුටු විගස රයන්ට මතක් විය.
"උඹ...?" රයන්ගේ කට ඇරුණි. "ගිමන්?"
ශෙනල්‍යා ගැස්සී හිස ඔසවා බැලුවාය. ඇගේ දෑස් ගිමන්ගේ දෑස් හා ගැටුණි. ඒ මොහොතේ ඇගේ මුහුණේ ඇති වූ හැඟීම් සමුදාය විස්තර කිරීමට වචන නැත. පුදුමය, සතුට, වේදනාව සහ බිය එකිනෙක පරයා නැගී ආවේය.
"හෙලෝ රයන්. හෙලෝ ශෙනල්‍යා," ගිමන් ඉතා සන්සුන්ව, බ්‍රිතාන්‍ය උච්චාරණයකින් මෙන් කතා කළේය. "සුභ පැතුම් එන්ගේජ්මන්ට් එකට."
ශෙනල්‍යාගේ අතේ තිබූ වයින් වීදුරුව වෙව්ලන්නට විය. ඇයට ගිමන්ව හඳුනාගැනීමටවත් නොහැකි තරම්ය. මේ ඉන්නේ එදා පැරිසියේ අටුවේ සිටි අහිංසක සිත්තරා නොවේ. මේ ඉන්නේ වෙනත් කෙනෙකි.
"උඹ... උඹ කොහොමද මෙතන?" රයන් කේන්තියෙන් ඇසුවේය. "සෙක්‍යුරිටි එකෙන් දන්නවද කුඩ්ඩෙක් ඇතුළට ඇවිත් කියලා?"
"පරිස්සමෙන් වචන පාවිච්චි කරන්න රයන්," ධර්මදාස මැද්දට පැන්නේය. "මිස්ටර් ගිමන් කියන්නේ අද මේ ඔක්ෂන් (Auction) එකේ ප්‍රධාන ආර්ට් කන්සල්ටන්ට්. එයා නැතුව මේක පටන් ගන්නෙ නෑ."
රයන් ගොළු විය. ගිමන් ධර්මදාස වැනි බලවත් චරිතයක් සමඟ සිටීම ඔහුට ප්‍රහේලිකාවක් විය.
"රයන්, අපි යමු," ශෙනල්‍යා රයන්ගේ අතින් ඇද්දාය. ඇයට ගිමන් දෙස බලා සිටීම දරාගත නොහැකි විය. ඔහුගේ වෙනස් වීම ඇයව බිය ගැන්වීය.
"නෑ... අපි යන්නේ නෑ," රයන් ගිමන් දෙස බලා සමච්චල් සිනහවක් පෑවේය. "අපි බලමු මූ කොහොමද මෙතන ඉන්නේ කියලා. අනික මට ඕන අද රෑ ලොකුම පේන්ටිං එක ගන්න. මම පෙන්නන්නම් කා ළඟද සල්ලි තියෙන්නේ කියලා."
ගිමන් සිනාසුණේය. රයන් උගුලට අසුවෙමින් සිටී. අද වෙන්දේසියේ තිබෙන වටිනාම සිතුවම ලෙස නම් කර ඇත්තේ 'The Weeping Angel' (හඬන සුර දූතිය) නම් සිතුවමයි. එය නිර්නාමික සිත්තරෙකුගේ නිර්මාණයකි.
ඇත්තටම එය ඇන්දේ ගිමන් ය. එහි සිටින්නේ ශෙනල්‍යා ය. රයන් එය මිලදී ගත්තොත්, ඔහු මිලදී ගන්නේ තමාගේම පරාජයයි.
"හොඳයි රයන්. අපි බලමු," ගිමන් ශෙනල්‍යා දෙස අවසන් වරට බැලුවේය. "සමහර දේවල් සල්ලි වලට ගන්න පුළුවන්. ඒත් සමහර දේවල්... කවදාවත් අයිති කරගන්න බෑ."
ශෙනල්‍යා බිම බලා ගත්තාය. ඇගේ දකුණු අතේ තිබූ දියමන්ති මුද්ද විදුලි එළියට දිලිසුණේ ඇයට සමච්චල් කරන්නාක් මෙනි.
මිනිත්තු කිහිපයකට පසු වෙන්දේසිය ආරම්භ විය. ශාලාවේ ආලෝකය අඩු වී, වේදිකාව මතට පමණක් ආලෝකය එල්ල විය. සියල්ලෝම තම ආසනවල අසුන් ගත්හ. රයන් ඉදිරිපෙළ අසුනක වාඩි වී කකුලක් පිට කකුලක් දාගෙන සිටියේය. ශෙනල්‍යා ඔහු පසෙකින් හිඳ සිටියේ ගල් පිළිමයක් මෙනි. ඇගේ දෑස් නිතරම යොමු වූයේ ශාලාවේ පිටුපස අඳුරේ සිටගෙන සිටින ගිමන් දෙසටය.
වෙන්දේසිකරු මයික්‍රොෆෝනය අතට ගත්තේය.
"නෝනාවරුනි මහත්වරුනි, අද රාත්‍රියේ වටිනාම අයිතමය... අංක 105. නිර්නාමික සිත්තරෙකුගේ අද්විතීය නිර්මාණයක්... 'The Weeping Angel' (හඬන සුර දූතිය)."
වේදිකාවේ තිරය ඉවත් විය. ආලෝක ධාරාව සිතුවම මතට පතිත විය.
මුළු ශාලාවම "ආහ්..." යනුවෙන් මවිතයෙන් කෙඳිරි ගෑවේය.
එය අතිශය විස්මිත සිතුවමකි. වැස්ස මැද තනිවූ, මනාලියකගේ ඇඳුමින් සැරසුණු තරුණියක් එහි විය. ඇගේ මුහුණේ තිබුණේ විස්තර කළ නොහැකි වේදනාවකි. ඇය සිනාසෙන්නට උත්සාහ කළත්, ඇගේ මේකප් දිය වී කඳුළු සමඟ ගලා යන අයුරු එහි සටහන්ව තිබිණි.
ශෙනල්‍යාගේ අත පපුවට ගියේ ඉබේටමය. ඒ ඇයයි. රයන් සමඟ විවාහ වීමට යන ඇගේ අනාගත ඉරණම ගිමන් කල් තියාම කැන්වසයට ගෙන ඇත. ඇගේ දෑස්වලින් කඳුළු ගලා හැලුණේ සිතුවමේ සිටින යුවතියගේ මෙනි.
රයන් සිතුවම දෙස බැලුවේ කෑදරකමිනි. එහි සිටින්නේ ශෙනල්‍යා බව හෝ එහි ගැඹුරු අර්ථය ඔහුට තේරුණේ නැත. ඔහුට පෙනුනේ එහි කලාත්මක අගය සහ මිනිසුන්ගේ ප්‍රතිචාරය පමණි.
"මේක තමයි බඩු. මේක මම ගන්නවා," රයන් ශෙනල්‍යාට කොඳුරා කීවේය. "මේක ගත්තම හෙට පත්තරවල හෙඩ්ලයින් එක මගේ නම."
ගිමන් ධර්මදාස අසල සිටගෙන මේ දෙස බලා සිටියේය. ඔහුගේ සැලැස්ම ක්‍රියාත්මක වෙමින් පවතී. රයන් තමාගේ විනාශය තමාගේම සල්ලිවලින් මිලදී ගැනීමට සූදානම් ය.
"පටන් ගමු..." ගිමන් තමාටම මුමුණා ගත්තේය.
වෙන්දේසිකරුගේ හඬ නැගිණි. "ආරම්භක ලංසුව රුපියල් ලක්ෂ දහයයි. කවුද පටන් ගන්නේ?"
රයන් වහාම අත ඔසවා අංක පුවරුව පෙන්නුවේය. යුද්ධය ආරම්භ විය.
අදහස් (0)
තවම අදහස් නැත. පළමුවැන්නා වන්න!