නුඹ මගේම සිතුවමක් - Chapter 5

by Uma

උදෑසන හිරු එළිය පැරිසියට පතිත වුවද, ගිමන්ගේ කාමරයට එය ගෙන ආවේ අඳුරකි. ශෙනල්‍යා සුපුරුදු පරිදි "පුස්තකාලයට යනවා" යැයි පවසා පිටව ගොස් තිබිණි. ඇය ගිය පසු ගිමන් ලැප්ටොප් පරිගණකය විවෘත කළේ අර භයානක ඊමේල් පණිවිඩය කියවීමටය.

ඔහුගේ දෑත් වෙව්ලන්නට විය. පණිවිඩය එවනු ලැබුවේ ශිෂ්‍ය සුබසාධන අංශයේ ප්‍රධානියා වන මැඩම් ක්ලෙයාර් විසිනි.

"හිතවත් මිස්ටර් අකලංක, ඔබ ශිෂ්‍ය වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් නීතිවිරෝධී වාණිජ කටයුතු (Illegal Commercial Activities) වල නිරත වන බවට අපට පැමිණිල්ලක් ලැබී ඇත. මේ සමඟ අමුණා ඇති සාක්ෂි පරීක්ෂා කරන්න. වහාම පාලනාධිකාරිය වෙත වාර්තා කරන්න."

ගිමන් අමුණා තිබූ ගොනුව (Attachment) විවෘත කළේය. ඔහුගේ ලේ වතුර වී ගියේය.

එහි වූයේ ඊයේ දහවල් ඔහු මොන්මාර්ට්‍රේ වීදියේ ජැක් අසල වාඩි වී සංචාරකයෙකුගේ රූපයක් අඳින ඡායාරූපයකි. ඡායාරූපය කොතරම් පැහැදිලිද යත්, ඔහු අතට මුදල් ගන්නා ආකාරය පවා එහි සටහන්ව තිබිණි. මෙය අහම්බෙන් ගත් එකක් නොවේ; මෙය සැලසුම් සහගතව, ඔහු පසුපස ඔත්තු බලා ගත් එකකි.

"රයන්..." ගිමන් මේසයට මිට මොලවා පහරක් ගැසුවේය.

රයන් ලංකාවේ සිටියද, ඔහුගේ සල්ලි බලයෙන් ඕනෑම දෙයක් කළ හැකිය. ඔහු පැරිසියේ සිටින කෙනෙකුට මුදල් ගෙවා ගිමන් පසුපස ඔත්තු බැලීමට යොදවා ඇති බව පැහැදිලිය.

ගිමන්ගේ ශිෂ්‍යත්වය අනුව ඔහුට රැකියාවක් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය. ඔහුට ලැබෙන දීමනාවෙන් ජීවත් විය යුතුය. මෙය ඔප්පු වුවහොත්, ඔහුට පැය 24ක් ඇතුළත ප්‍රංශයෙන් පිටවීමට සිදුවනු ඇත. එසේ වුවහොත් ශෙනල්‍යා? ඇය තනිවම මේ නන්නාඳුනන නගරයේ අතරමං වනු ඇත.

ඔහු වහාම කබාය ඇඳගෙන විශ්වවිද්‍යාලය දෙසට දිව ගියේය. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙමින් තිබුණේ බිය නිසාම නොව, කෝපය නිසාය.

මැඩම් ක්ලෙයාර්ගේ කාර්යාලය සීතල, නිහඬ තැනකි. ඇය වීදුරු මේසය පිටුපස හිඳ ගිමන් දෙස බලා සිටියේ අපරාධකරුවෙකු දෙස බලන බැල්මකිනි.

"මිස්ටර් අකලංක, අපි ඔයාව මෙහෙට ගෙන්නුවේ කලාව උගන්නන්න මිසක්, පාරේ චිත්‍ර විකුණන්න නෙවෙයි," ඇය ඡායාරූපය මේසය මතට විසි කළාය.

"මැඩම්, මට සමාවෙන්න. මට හදිසි මුදල් අවශ්‍යතාවයක් වුණා. මම ඒක කළේ එක දවසයි," ගිමන් බැගෑපත් විය.

"නීතිය නීතියමයි මිස්ටර් අකලංක. මේ කම්ප්ලේන් (Complaint) එක ඇවිත් තියෙන්නේ නිර්නාමිකව වුනාට, සාක්ෂි බොහොම ප්‍රබලයි. සාමාන්‍යයෙන් අපි කරන්නේ වීසා එක කැන්සල් කරන එක."

ගිමන්ගේ හුස්ම හිරවිය. "මැඩම්, ප්ලීස්... මට ආයේ චාන්ස් එකක් දෙන්න. මම ආයේ කවදාවත් එහෙම කරන්නේ නෑ. මගේ මුළු අනාගතේම තියෙන්නේ මේ ඩිග්‍රී (Degree) එක උඩ."

මැඩම් ක්ලෙයාර් මොහොතක් කල්පනා කළාය. ඇය ගිමන්ගේ දක්ෂතා ගැන දැන සිටියාය. ප්‍රංශ තානාපති කාර්යාලය පවා ඔහු ගැන නිර්දේශ කර තිබිණි.

"හොඳයි... ඔයාගේ පෙර වැරදි නැති නිසා මම එක අවස්ථාවක් දෙන්නම්," ඇය අවසානයේ පැවසුවාය. ගිමන්ට සහනයක් දැනිණි. නමුත් ඊළඟට ඇය කී දෙය ඔහුව නැවතත් අගාධයට ඇද දැමුවේය.

"හැබැයි, මේ පරීක්ෂණය ඉවර වෙනකම් අපි ඔයාගේ මාසික දීමනාව (Monthly Stipend) අත්හිටුවනවා. තව සති දෙකකින් කමිටුව රැස්වෙලා තීරණයක් ගනීවි. එතකම් ඔයාට යුනිවසිටි එකෙන් සතයක්වත් ලැබෙන්නේ නෑ."

ගිමන් ගල් ගැසී බලා සිටියේය. ශිෂ්‍යත්ව දීමනාව නැතුව ඔහු කාමර කුලිය ගෙවන්නේ කෙසේද? කන්නේ බොන්නේ කෙසේද? ශෙනල්‍යාට කන්න දෙන්නේ මොනවාද?

"ස්තූතියි මැඩම්..." ඔහු යන්තම් මිමිණුවේය.

ඔහු කාර්යාලයෙන් එළියට ආවේ මළ මිනියක් මෙනි. රයන්ගේ ප්‍රහාරය සාර්ථක වී ඇත. ගිමන්ව රටින් එළවන්නට බැරි වුනත්, රයන් ගිමන්ගේ ආර්ථික හුස්ම නලට පයින් ගසා ඇත.

සවස් වන විට ගිමන් සේන් නදිය (Seine River) අයිනේ බංකුවක වාඩි වී කල්පනා කරමින් සිටියේය. ගඟේ වතුර හෙමින් ගලා ගියත්, ඔහුගේ සිතේ ගලා ගියේ ප්‍රශ්න සාගරයකි. අතේ තිබුණේ යුරෝ 10ක් පමණි. මෙය දින දෙකකටවත් ප්‍රමාණවත් නැත.

ශෙනල්‍යාට මෙය කියන්නේ කෙසේද? ඇය දැනටමත් දුක් විඳින්නේ ඔහු නිසාය. දැන් ඔහුට ලැබෙන සොච්චම් මුදලත් අහිමි වූ බව දැනගතහොත් ඇය මානසිකව වැටෙනු ඇත. නැතහොත් ඇය නැවත ලංකාවට යාමට තීරණය කරනු ඇත.

"නෑ... මම කොහොම හරි මේක විසඳගන්න ඕන," ගිමන් තීරණය කළේය.

ඔහු නැවත කාමරයට යන විට ශෙනල්‍යා පැමිණ සිටියාය. ඇය අද වෙනදාටත් වඩා වෙහෙසට පත්ව සිටි නමුත්, ඇගේ අතේ කුඩා කවරයක් තිබිණි.

"ගිමන්! බලන්න," ඇය සිනාසෙමින් කවරය විවෘත කළාය. එහි තිබුණේ බිරියානි එකකි. "අද රෙස්ටොරන්ට් එකේ පාටි එකක් තිබුණා. ඉතුරු වුන කෑම එයාලා විසි කරනවා. මම අපරාදෙනේ කියලා ඉල්ලගෙන ආවා."

ලංකාවේ සුපිරිම හෝටල්වලින් කෑ ඇය, අද අනුන්ගේ ඉඳුල් ඉල්ලගෙනවිත් සතුටු වන්නීය. ගිමන්ගේ පපුව පාරා ගියේය. ඔහුට කඳුළු පාලනය කරගැනීමට නොහැකි විය. ඔහු වේගයෙන් ගොස් ඇයව බදා ගත්තේය.

"ඇයි ගිමන්? මොකද වුනේ?" ඇය කලබල වූවාය.

"මුකුත් නෑ... මට ඔයා ගැන දුකයි ශෙනල්‍යා. ඔයාට මම නිසා..."

"ෂ්... කට වහගන්න," ඇය ඔහුගේ මුව වැසුවාය. "මම මේක කරන්නේ සතුටින්. අනික බලන්න, අද මට ටිප් (Tip) එකක් හම්බවුණා." ඇය සාක්කුවෙන් යුරෝ 5ක් ගෙන පෙන්වූවාය.

ගිමන්ට තමාගේ දීමනාව අත්හිටවූ බව කියන්නට ශක්තියක් තිබුණේ නැත. ඔහු බොරුවට සිනාසුණේය.

"අපි මේක බෙදාගෙන කමු," ඔහු කීවේය.

ඔවුන් දෙදෙනා එකම පිඟානේ බිරියානි කෑහ. එය සීතල වී තිබුණත්, ගිමන්ට එය දැනුනේ ලෝකයේ රසම කෑම ලෙසය. නමුත් ඔහු කන අතරතුර කල්පනා කළේ හෙට දවස ගැනය. කුලිය ගෙවන්නට දින ළඟය. ලෑන්ඩ් ලෝඩ් (Landlord) දරුණු මිනිසෙකි. සල්ලි නැත්නම් එළියට දමන ජාතියේ කෙනෙකි.

රෑ නින්දට යන විට ගිමන්ට අලුත් අදහසක් ආවේය. ඔහුට ප්‍රසිද්ධියේ චිත්‍ර අඳින්නට බැරිය. නමුත් ඔහුට රහසිගතව වෙනත් දෙයක් කළ හැකිය.

පැරිසියේ "කළු කඩපොලක්" (Black Market) ඇත. එහි ව්‍යාජ චිත්‍ර (Forgery) හෝ නම සඳහන් නොකළ කලා කෘති විකුණන තැන් ඇත. එය ඉතා අවදානම් සහගතය. අහුවුනොත් හිරේය. නමුත් ශෙනල්‍යා වෙනුවෙන්?

ඔව්. ආදරය වෙනුවෙන් ඕනෑම අපායකට යෑමට ඔහු සූදානම්ය.

පසුදා ගිමන් විශ්වවිද්‍යාලයට යන මුවාවෙන් ගියේ පැරිසියේ නගරයෙන් ඈත පිහිටි පටු වීදියකටය. ජැක් වරක් ඔහුට කියා තිබුණේ, මුදල් හදිසි නම් "ලුවී" (Louis) නමැති පුද්ගලයා හමුවන ලෙසයි.

ලුවීගේ කඩය තිබුණේ පරණ පොත් සාප්පුවක් පිටුපසය. ඇතුළත දුම් ගඳ සහ පරණ කඩදාසි ගඳ පිරී තිබිණි. ලුවී කණ්ණාඩි දෙකක් දාගෙන පරණ ඔරලෝසුවක් අලුත්වැඩියා කරමින් සිටියේය.

"මම ජැක්ගේ යාළුවෙක්," ගිමන් ප්‍රංශ භාෂාවෙන් කැඩුණු වචන වලින් කීවේය.

ලුවී හිස ඔසවා බැලුවේය. "ඉතින්?"

"මම ආර්ටිස්ට් කෙනෙක්. මට ඉක්මනට සල්ලි ඕන. මම ඕන දෙයක් අඳින්නම්. හැබැයි මගේ නම දාන්න බෑ."

ලුවී කපටි සිනහවක් පෑවේය. ඔහු ලාච්චුවෙන් පින්තූරයක් ගෙන මේසය මත තැබුවේය. එය 18 වන සියවසේ ප්‍රසිද්ධ සිතුවමක ඡායාරූපයකි.

"මට මේකේ කොපි (Copy) එකක් ඕන. හැබැයි නිකන්ම කොපියක් නෙවෙයි. පරණ පෙනුම තියෙන්න ඕන. ලබන සතියේ මට මේක ඕන. කරන්න පුළුවන්ද?"

"පුළුවන්," ගිමන් පැකිලීමකින් තොරව කීවේය. මෙය නීතිවිරෝධී බව ඔහු දැන සිටියේය. මෙය "Art Forgery" ය.

"හොඳයි. වැඩේ ඉවර වුනාම යුරෝ 500ක් දෙන්නම්. බඩු ටික මම දෙන්නම්," ලුවී ගනුදෙනුව ස්ථිර කළේය.

යුරෝ 500ක්! එයින් මාසෙක කුලිය ගෙවිය හැකිය. ගිමන් එකඟ විය. ඔහුට අවශ්‍ය බඩු මල්ලක් ද රැගෙන ඔහු ආපසු ආවේය.

දැන් ඔහුට දවල් කාලයේ කාමරයේ දොර වසාගෙන මේ හොර වැඩේ කිරීමට සිදුවනු ඇත. ශෙනල්‍යා සිතන්නේ ඔහු යුනිවසිටි එකේ බවය. යුනිවසිටි එක සිතන්නේ ඔහු කාමරයේ පාඩම් කරන බවය. නමුත් ඔහු කරන්නේ අපරාධයකි.

එදින රාත්‍රියේ ශෙනල්‍යා වැඩ ඇරී එන විට ගිමන් කාමරය පුරා තිනර් (Thinner) ගඳ ගසන බැවින් ජනේල ඇර තබා තිබිණි.

"මොකද මේ ගඳ?" ඇය ඇසුවාය.

"මම... මම අලුත් එක්ස්පෙරිමන්ට් (Experiment) එකක් කරනවා. පරණ තාලෙට අඳින්න ට්‍රයි කරනවා," ගිමන් බොරුවක් කීවේය.

ශෙනල්‍යා ඔහු දෙස බැලුවේ සැකයකිනි. ගිමන්ගේ ඇස්වල තිබූ නොසන්සුන් බව ඇයට දැනුනි. නමුත් ඇය ප්‍රශ්න කළේ නැත. ඇය මහන්සිය.

"පරෙස්සමෙන් ගිමන්... මොනවා කළත් පරිස්සමෙන්," ඇය මිමිණුවාය.

ඇය දැන සිටියේ නැත, ගිමන් මේ වන විටත් ආපසු හැරිය නොහැකි භයානක මාවතක පියවර තබා ඇති බව.

දින තුනක් තිස්සේ ගිමන් කාමරයෙන් එළියට බැස්සේ නැත. ඔහු විශ්වවිද්‍යාලයට යන බව බොරු කියා, ශෙනල්‍යා වැඩට ගිය පසු දොර අගුලු දාගෙන ලුවී දුන් පැරණි සිතුවම ප්‍රතිනිර්මාණය කිරීමට පටන් ගත්තේය.

මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. එය හුදෙක් රූපය පිටපත් කිරීමක් නොවේ; එය කාලය පිටපත් කිරීමකි. සියවස් දෙකකට පෙර තිබූ බුරුසු පහරවල්, වර්ණ වල ඇති පැරණි බව සහ කැන්වසයේ ඇති ඉරිතැලීම් පවා ඔහුට කෘතිමව නිර්මාණය කිරීමට සිදු විය.

ගිමන්ගේ මුළු ඇඟම රිදෙන්නට විය. තිනර් සහ රසායනික ද්‍රව්‍යවල සැර ගඳ නිසා ඔහුට ඔක්කාරය දැනිණි. නමුත් ඔහු නතර කළේ නැත. මේ සෑම පින්සල් පහරක්ම යුරෝවක් වැනිය. මේ සිතුවම නිම කළහොත් ශෙනල්‍යාට තවදුරටත් කුස්සියේ දුක් විඳීමට සිදු නොවනු ඇත.

"මට සමාවෙන්න..." ගිමන් සිතුවමට මිමිණුවේය.

ඔහු මෙතෙක් කල් ඇන්දේ තමාගේ ආත්මයයි. නමුත් අද ඔහු අඳින්නේ තවත් කෙනෙකුගේ අත්සන යටතේ බොරුවකි. මෙය කලාවට කරන අපහාසයක් බව ඔහුගේ හෘද සාක්ෂිය කෑගසා කියන්නට විය. නමුත් බඩගින්න සහ ආදරය ඉදිරියේ හෘද සාක්ෂිය නිහඬ විය.

සවස හතර වන විට වැඩය බොහෝ දුරට අවසන් විය. ගිමන් විශේෂ වාර්නිෂ් වර්ගයක් ආලේප කර එය පරණ පෙනුම ලබා ගැනීමට හෙයාර් ඩ්‍රයර් (Hair dryer) එකකින් වේලන්නට විය. සිතුවම දෙස බලන ඕනෑම කෙනෙකුට එය වසර 200ක් පැරණි එකක් යැයි සිතෙන තරමටම එය තාත්වික විය.

ඔහුගේ දක්ෂතාවය ගැන ඔහුටම පුදුම සිතුණි. නමුත් ඒ සමඟම බියක් ද ඇති විය. තමා මෙතරම් දක්ෂ ලෙස ව්‍යාජ නිර්මාණ කරන්නේ නම්, ලුවී තමාගෙන් ලෙහෙසියෙන් ගැලවෙන්නට ඉඩ නොදෙනු ඇත.

මේ අතර ශෙනල්‍යා සිටියේ අවන්හලේ කුස්සියේය. අද සෙනසුරාදා බැවින් පාරිභෝගිකයින් වැඩිය. ඇය නොනවත්වා පිඟන් සෝදමින් සිටියාය. ඇගේ කොන්ද කැඩෙන්නට මෙන් රිදෙමින් තිබිණි.

හදිසියේම ඇගේ සාක්කුවේ තිබූ ජංගම දුරකථනය වයිබ්‍රේට් (Vibrate) විය. ඇය තෙත අත පිසදාගෙන ෆෝන් එක බැලුවාය. නන්නාඳුනන ප්‍රංශ අංකයකින් වට්ස්ඇප් (WhatsApp) පණිවිඩයක් පැමිණ තිබිණි.

ඇය එය විවෘත කළාය. එහි වූයේ ඡායාරූපයකි.

ශෙනල්‍යාගේ හදවත නතර විය. ඡායාරූපයේ තිබුණේ ඇය මේ මොහොතේ කුස්සියේ වැඩ කරන ආකාරයයි! එය ගෙන තිබුණේ අවන්හලේ ජනේලයෙන් පිටත සිටය.

ඊළඟට පණිවිඩයක් ආවේය.

"ලංකාවේ කුමාරිහාමි ප්‍රංශෙට ඇවිත් පිඟන් හෝදනවා දකින්නත් දුකයි ශෙනල්‍යා. තාත්තා මේක දැක්කොත් මොනවා හිතයිද?"

ඒ රයන් ය.

ශෙනල්‍යාගේ දෑත් වෙව්ලන්නට විය. ෆෝන් එක අතින් ගිලිහී වතුර බේසමට නොවැටුනේ අනූනවයෙනි. රයන් පැරිසියේ නැත. නමුත් ඔහුට පැරිසියේ ඇස් ඇත. ඔහු ඇයව ලුහුබඳිමින් සිටී.

තවත් පණිවිඩයක් ආවේය.

"මම දන්නවා ගිමන්ට දැන් සල්ලි නෑ කියලා. ඌට ස්කොලර්ශිප් එකත් නැති වුණා නේද? (ඔව්, ඒක කළේ මම). ඔයාට තවමත් චාන්ස් එකක් තියෙනවා. මම ඔයාට බිස්නස් ක්ලාස් ටිකට් එකක් එවන්නම්. අද රෑටම ලංකාවට එන්න. මේ දුක විඳින්න එපා."

ශෙනල්‍යාට දැනුනේ වමනයට එන ගතියකි. රයන් මේ සියල්ල සැලසුම් කර ඇත. ගිමන්ගේ මුදල් නැති කළේ ඔහුය. දැන් ඇයව බිඳ දමා නැවත ලබා ගැනීමට උත්සාහ කරන්නේ ඔහුය.

ඇයට මේ ගැන ගිමන්ට කියන්නට සිතුණි. නමුත් ගිමන් මේ දිනවල සිටින මානසික තත්වය ඇය දනී. ඔහු දැනටමත් පීඩනයෙන් මිරිකී සිටී. රයන් ඇයව ලුහුබඳින බව දැනගත්තොත් ගිමන් කුමක් කරයිද? ඔහු රයන්ගේ ගෝලයන් සොයා ගොස් මරා ගනීවිද? නැතහොත් පොලිසියට හසු වේවිද?

"නෑ... මම මේක තනියම විසඳගන්න ඕන," ඇය තීරණය කළාය.

ඇය රයන්ගේ අංකය බ්ලොක් (Block) කළාය. නමුත් ඇගේ හිතේ බිය තුරන් වූයේ නැත. වීදුරු ජනේලයෙන් එහා අඳුරේ කවුරුන් හෝ තමා දෙස බලා සිටින බව ඇයට දැනිණි.

රාත්‍රී 7ට ගිමන් ලුවීගේ කඩයට ගියේ නිම කළ සිතුවම රෙදි කැබැල්ලක ඔතාගෙනය. ලුවී සිටියේ කාර්යාල කාමරයේ සිගරට් එකක් බොමිනි.

ගිමන් සිතුවම මේසය මත තැබුවේය. ලුවී විශාල කාචයක් (Magnifying glass) ගෙන එය අඟලක් අඟලක් පාසා පරීක්ෂා කළේය. විනාඩි පහක් යනතුරු කාමරයේ තිබුණේ දැඩි නිහඬතාවකි.

අවසානයේ ලුවී හිස ඔසවා බැලුවේය. ඔහුගේ මුහුණේ තිබුණේ පුදුමය මුසු වූ සතුටකි.

"ආශ්චර්යමත්... උඹ මාර දක්ෂයෙක් කොල්ලෝ," ලුවී සිතුවම අතගෑවේය. "මේක ඔරිජිනල් එකට වඩා හොඳයි."

ඔහු ලාච්චුව ඇර යුරෝ 50 නෝට්ටු මිටියක් ගෙන මේසය මත තැබුවේය. යුරෝ 500යි.

ගිමන් වහාම මුදල් ටික සාක්කුවේ දමා ගත්තේය. "ස්තූතියි. මම යනවා."

"පොඩ්ඩක් ඉඳහන්," ලුවීගේ හඬ වෙනස් විය.

ගිමන් නතර විය.

ලුවී තවත් ඡායාරූපයක් ගෙන මේසය මත තැබුවේය. "මේක ඊළඟ ජොබ් එක. රෙනොයාර් (Renoir) ගේ චිත්‍රයක්. මේකට මම උඹට යුරෝ 2000ක් දෙන්නම්."

ගිමන් හිස දෙපසට වැනුවේය. "නෑ... මම කිව්වනේ මට ඕන මේක විතරයි කියලා. මම ආයේ මේ වැඩේ කරන්නේ නෑ."

ලුවී මහ හඬින් සිනාසුණේය. ඔහු පුටුවෙන් නැගිට ගිමන් අසලට ආවේය. ලුවී මිටි වුවත්, ඔහුගේ ඇස්වල තිබුණේ මිනීමරුවෙකුගේ බැල්මකි.

"කොල්ලෝ... උඹ හිතුවද මේක සෙල්ලමක් කියලා? උඹ දැන් අපේ පවුලේ කෙනෙක් වගේ. උඹට ලේසියෙන් යන්න බෑ. අනික..." ලුවී ෆෝන් එක ගෙන යමක් පෙන්නුවේය.

එහි තිබුණේ ගිමන් අර ව්‍යාජ චිත්‍රය අඳින අතරතුර ගිමන්ට නොදැනෙන්නට ලුවීගේ ගෝලයෙක් ජනේලයෙන් ගත් වීඩියෝවකි.

"මේ වීඩියෝ එක පොලිසියට ගියොත්, උඹේ කලා ජීවිතේ එතනින්ම ඉවරයි. හිරේ යන්න වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, උඹේ ලස්සන පෙම්වතිය තනිවෙයි."

ගිමන්ගේ අත මිට මොලැවී ගියේය. ඔහුට ලුවීගේ බෙල්ල මිරිකන්නට සිතුණි. නමුත් ඔහු අසරණය. ඔහු උගුලකට හසුවී ඇත.

"මට... මට කාලය ඕන," ගිමන් දත්මිට කාගෙන කීවේය.

"ගත්තාට කමක් නෑ. ලබන සතියේ බඩු ඕන," ලුවී ගිමන්ගේ සාක්කුවට තට්ටුවක් දැමුවේය. "දැන් පලයන්. එන්ජෝයි කරපන්."

ගිමන් කඩයෙන් එළියට ආවේ යුරෝ 500ක් සාක්කුවේ දාගෙනය. ඒ මුදල් ඔහුට දැනුනේ ගිනි අඟුරු මෙනි. ඔහු සිතුවේ එක වරක් කර ගැලවෙන්නටය. නමුත් දැන් ඔහු පාතාලයේ සිරකරුවෙකි.

ගිමන් කාමරයට එන විට ශෙනල්‍යා පැමිණ සිටියාය. ඇය සුපුරුදු පරිදි සිනාසී සිටියත්, ඇගේ දෑස්වල තිබූ බිය ගිමන්ට මග හැරුණේ ඔහුගේ සිතේ තිබූ ගින්න නිසාය.

"ගිමන්, කොහොමද?" ඇය ඇසුවාය.

"හොඳයි... මට අද යාළුවෙක්ගෙන් ණයට සල්ලි වගයක් හම්බවුණා," ගිමන් මුදල් නෝට්ටු ටික මේසය මත තැබුවේය. "ඔයාට ආයේ වැඩට යන්න ඕන නෑ. මේකෙන් අපිට මාසයක් අදින්න පුළුවන්."

ශෙනල්‍යා මුදල් දෙස බැලුවාය. යුරෝ 500ක්. යාළුවෙක් ණයට දුන්නා? ගිමන්ට පැරිසියේ මෙච්චර සල්ලි දෙන යාළුවෝ කවුද? ඇයට සැකයක් ඇති විය. නමුත් ඇය ප්‍රශ්න කළේ නැත.

"හොඳයි... ඒක ලොකු දෙයක්," ඇය කීවාය.

"ශෙනල්‍යා, ඇයි ඔයා අවුලෙන් වගේ?" ගිමන් ඇගේ මූණ දෙස බැලුවේය.

"මුකුත් නෑ... මහන්සියි," ඇය රයන් ගැන කීවේ නැත.

ඔවුන් දෙදෙනාම එකිනෙකාට බොරු කියමින්, එකිනෙකා ආරක්ෂා කිරීමට උත්සාහ කරමින් සිටියහ. ඔවුන් අතර තිබූ භෞතික දුර අඩි කිහිපයක් වුවත්, ඔවුන්ගේ රහස් නිසා ඔවුන් අතර මහා ප්‍රාකාරයක් ගොඩනැගෙමින් තිබිණි.

රෑ කෑමෙන් පසු ගිමන් ජනේලය ළඟට ගොස් සිගරට් එකක් පත්තු කර ගත්තේය. ඔහු අයිෆල් කුළුණ දෙස බලා සිටියේය. පැරිසිය ආදරයේ නගරය යැයි කියති. නමුත් ගිමන්ට නම් මෙය දැන් පෙනුනේ යකඩ සහ කොන්ක්‍රීට් වලින් සැදුණු උගුලක් ලෙසය.

හෙට රෙනොයාර්ගේ චිත්‍රය පටන් ගත යුතුය. නැතහොත් හිරගෙදරය. ශෙනල්‍යාට මෙය ආරංචි වුවහොත් ඇය කුමක් කරයිද?

ඒ මොහොතේම ශෙනල්‍යාගේ ෆෝන් එකට තවත් මැසේජ් එකක් ආවේය. ඇය එය හොරෙන් බැලුවාය.

"හෙට රෑට ගිමන්ව හම්බවෙන්න කෙනෙක් එනවා. පරිස්සමෙන් ඉන්න." - රයන්.

ශෙනල්‍යා ගැස්සී ගියාය. ගිමන්ව හම්බවෙන්න එන්නේ කවුද? රයන් කොහොමද මේවා දන්නේ?

පසුදා රාත්‍රිය උදා වූයේ පැරිසියටම ආවේණික වූ මීදුම සහ ශීතල ද සමඟිනි. ගිමන් සහ ශෙනල්‍යා කාමරයේ සිටියේ දැඩි නොසන්සුන් බවකිනි. ශෙනල්‍යා සිටියේ රයන් එවූ පණිවිඩය නිසා බියෙනි. ගිමන් සිටියේ ලුවී දුන් 'රෙනොයාර්' සිතුවම පටන් ගන්නේ කෙසේදැයි කල්පනා කරමිනි.

රාත්‍රී 8.30 ට පමණ දොරට තට්ටු කරන හඬ ඇසිණි.

දෙදෙනාම ගැස්සී එකිනෙකා දෙස බැලූහ. මේ වෙලාවේ කවුද? ලුවී ද? නැත්නම් පොලිසියද?

"මම බලන්නම්," ගිමන් නැගිට්ටේය. ඔහු ශෙනල්‍යාට ඉඟි කළේ පස්සට වී සිටින ලෙසයි.

ගිමන් දොර විවර කළේය. දොරකඩ සිටියේ ඔවුන් බලාපොරොත්තු වූ මැරයෙකු හෝ පොලිස් නිලධාරියෙකු නොවේ. කළු පැහැති කබායක් හැඳ, අතේ බ්‍රීෆ් කේස් (Briefcase) එකක් ගත් මැදි වයසේ ප්‍රංශ ජාතිකයෙකි. ඔහු ඉතා වැදගත් පෙනුමක් ඇති අයෙකි.

"මිස්ටර් ගිමන් අකලංක?" ඔහු ඉංග්‍රීසියෙන් ඇසුවේය.

"ඔව්... කවුද මේ?"

"මම බර්නාඩ්. මම ඇවිත් ඉන්නේ කොළඹින්. මිස්ටර් සේනක සමරවික්‍රමගේ නීතිඥයා විදිහට."

ශෙනල්‍යාගේ ඇස් උඩ ගියේය. සේනක කියන්නේ ඇගේ පියා ය.

"තාත්තා?" ශෙනල්‍යා ඉදිරියට ආවාය.

බර්නාඩ් කාමරයට ඇතුළු විය. ඔහු අවසරයක් නොගෙනම පුටුවක වාඩි වී වටපිට බැලුවේය. ඔහුගේ බැල්ම කාමරයේ ඇති කුඩා බව, පැරණි බව සහ දිළිඳු බව මත රැඳිණි. ඔහුගේ මුව අගට ආවේ සියුම් සිනහවකි.

"මිස් ශෙනල්‍යා, ඔබේ පියා බොහොම කනස්සල්ලෙන් ඉන්නේ. ඔබ මේ වගේ තැනක ජීවත් වෙයි කියලා එතුමා හිතුවේ නෑ," බර්නාඩ් කීවේය.

"මම හොඳින් ඉන්නවා. අංකල් යන්න," ශෙනල්‍යා තරහෙන් කීවාය.

"ඉන්න දුව, කලබල වෙන්න එපා," බර්නාඩ් සන්සුන්ව බ්‍රීෆ් කේස් එක විවෘත කළේය. ඔහු ගුවන් ටිකට් පතක් මේසය මත තැබුවේය. "මේක හෙට රෑ ෆ්ලයිට් එකට. බිස්නස් ක්ලාස්. තාත්තා කිව්වා ඔයාට එන්න කියන්න කියලා. ඔයා ආවොත් එයා ඔයාට සමාව දෙනවා."

ගිමන් නිහඬව බලා සිටියේය. මේ මිනිසා පැමිණ ඇත්තේ තමාව අන්ත අසරණ කිරීමට බව ඔහුට වැටහිණි.

"මම එන්නේ නෑ. මම ඉන්නේ ගිමන් එක්ක," ශෙනල්‍යා ගිමන්ගේ අත අල්ලා ගත්තාය.

බර්නාඩ් ගිමන් දෙස බැලුවේය. "මිස්ටර් ගිමන්, ඔබ හිතනවාද ඔබට මේ තරුණියව බලාගන්න පුළුවන් කියලා? අපිට ආරංචියි ඔබේ ශිෂ්‍ය දීමනාව නතර වෙලා කියලා. ඒ වගේම විශ්වවිද්‍යාලයෙන් විනය පරීක්ෂණයක් යනවා කියලා."

ගිමන් ගැස්සී ගියේය. ශෙනල්‍යා ගිමන් දෙස බැලුවේ පුදුමයෙනි. "මොකක්? දීමනාව නතර වුණා?"

බර්නාඩ් තවත් කොළයක් මේසය මත තැබුවේය. "ඔව් ශෙනල්‍යා. මේ තරුණයාට තව සති දෙකකින් වීසා නැති වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඔයාට මොකද වෙන්නේ? පාරටද බහින්නේ? රයන් මහත්තයා තමයි අපිට මේ ඔක්කොම විස්තර දුන්නේ."

රයන්! නැවතත් රයන්. ශෙනල්‍යාට රයන්ගේ මැසේජ් එක මතක් විය. "ගිමන්ව හම්බවෙන්න කෙනෙක් එනවා..." රයන් අදහස් කළේ මොහුවයි.

"ගිමන්, ඇයි ඔයා මට මේවා කිව්වේ නැත්තේ?" ශෙනල්‍යාගේ හඬ වෙව්ලුවාය.

"ශෙනල්‍යා, මම..." ගිමන්ට උත්තර නැත.

"මිස් ශෙනල්‍යා, මෝඩ වෙන්න එපා. මේ මනුස්සයා ගිලෙන්න යන නැවක්. ඔයත් ඒකේ එල්ලිලා මැරෙන්න එපා. හෙට රෑට ෆ්ලයිට් එක," බර්නාඩ් නැගිට්ටේය. ඔහු කාඩ්පතක් මේසය මත තැබුවේය. "තීරණයක් අරන් මට කතා කරන්න."

බර්නාඩ් යන්නට ගියේය. කාමරයේ ඉතිරි වූයේ මහා කුණාටුවක් පමණි.

දොර වැසී ගිය පසු කාමරයේ තිබුණේ මාරාන්තික නිහඬතාවකි. ශෙනල්‍යා බර්නාඩ් තබා ගිය ලිපි ලේඛන දෙස බලා සිටියාය. ගිමන් ජනේලය දෙස බලාගෙන සිටියේය.

"ඇයි ගිමන්?" ශෙනල්‍යා ඇසුවාය.

"මට ඔයාව බය කරන්න ඕන වුනේ නෑ," ගිමන් පහත් හඬින් කීවේය.

"ඉතින් ඔයා කළේ බොරු කියපු එකද? අපි පොරොන්දු වුනේ හැමදේම බෙදාගන්නවා කියලා නේද? අද අර මිනිහා ඇවිත් මගේ මූණටම හිනාවෙනකම් මම දන්නේ නෑ ඔයාගේ රස්සාවත්, සල්ලිත නැති වෙලා කියලා," ශෙනල්‍යා කෑගැසුවාය.

"මම ප්‍රශ්න විසඳන්න හැදුවා ශෙනල්‍යා!" ගිමන් ද කෑගැසුවේය. "මම අර 500 හෙව්වේ ඒකයි!"

"කොහොමද හෙව්වේ? යාළුවෙක් දුන්නා කිව්වේ බොරු නේද? කවුද ඒ යාළුවා? ඔයා මොනවද හංගන්නේ?"

ගිමන්ට ඇත්ත කියන්නට බැරිය. ලුවී ගැන කීවොත් ඇය තවත් බිය වනු ඇත.

"මට අහන්න ප්‍රශ්න කරන්න එපා. මම කොහොම හරි සල්ලි හොයනවා. මම ඔයාව බලාගන්නවා," ගිමන් කීවේය.

"මට කන්න බොන්න නෙවෙයි ගිමන් ඕන. මට ඕන ඇත්ත. ඔයා මාව විශ්වාස කරන්නේ නැත්නම් මේ ආදරේ වැඩක් නෑ," ශෙනල්‍යා ඇඳ මත වාඩි වී මුහුණ වසා ගත්තාය.

ගිමන් ඇය ළඟට ගොස් ඇගේ උරහිසට අත තැබුවේය. ඇය ගැස්සී ඉවත් වූවාය.

"මට තනියම ඉන්න ඕන ටිකක්," ඇය කීවාය.

ගිමන් එතැනින් ඉවත් වී තමාගේ ඊසල් (Easel) එක ළඟට ගියේය. ඔහුගේ හිතේ තිබුණේ ගින්නකි. ශෙනල්‍යාගේ තාත්තාගේ නීතිඥයා ඇවිත් ඔහුව අසරණයෙක් කළේය. රයන් ඔහුව වට කරමින් සිටී. ශෙනල්‍යා ඔහු ගැන විශ්වාසය නැති කර ගනිමින් සිටී.

ඔහුට දැන් තිබෙන එකම ගැලවීම ලුවීගේ වැඩේ ඉවර කිරීම පමණි. යුරෝ 2000ක් ලැබුණොත් ඔහුට මේ ප්‍රශ්නවලින් ටිකකට හරි හුස්ම ගන්න පුළුවන්.

ඔහු රෙනොයාර්ගේ පිටපත (Reference Photo) මේසය මත තබා ගත්තේය. ශෙනල්‍යා නිදාගන්නා තුරු ඔහු බලා සිටියේය. රාත්‍රී 12 වන විට ඇය නිදාගෙන සිටින බව පෙනුණි.

ගිමන් විදුලි බුබුල නිවා දමා, කුඩා මේස ලාම්පුවක් දල්වා ගත්තේය. ඔහු කැන්වසය මත වැඩ පටන් ගත්තේය.

පැය තුනක් ගත විය. ගිමන් සිටියේ දැඩි ඒකාග්‍රතාවයකිනි. ඔහු අඳිමින් සිටියේ රෙනොයාර්ගේ ප්‍රසිද්ධ "දිය නාන ලලනාවෝ" (The Bathers) සිතුවමේ කොටසකි. එය අතිශය සියුම් වැඩකි.

ඔහුට නොදැනී ශෙනල්‍යා අවදි වී සිටියාය. ඇය ඇඳේ සිට ගිමන් දෙස බලා සිටියාය. ගිමන්ගේ ඉරියව්වල තිබුණේ වෙනදා දකින නිදහස් කලාකරුවාගේ විලාසය නොවේ. ඔහු සිටියේ දහඩිය දමමින්, බියෙන් වටපිට බලමින්, හොරෙක් මෙන් වැඩ කරමිනි.

ඇය සෙමෙන් නැගිට ඔහු පිටුපසට ආවාය.

"ගිමන්..."

ගිමන් උඩ ගොස් බිම වැටුණේය. පින්සල අතින් විසි විය. ඔහු වහාම රෙදි කැබැල්ලක් ගෙන සිතුවම වසන්නට හැදුවේය.

"එපා... වහන්න එපා," ශෙනල්‍යා ඉදිරියට ආවාය. ඇය රෙද්ද ඉවත් කළාය.

ඇය සිතුවම දෙස බලා සිටියාය. පසුව මේසය මත තිබූ ඡායාරූපය දෙස බැලුවාය.

"මේක... මේක රෙනොයාර්ගේ චිත්‍රයක් නේද?" ඇය ඇසුවාය. "ඔයා ඇයි මේක කොපි කරන්නේ? මේක ප්‍රැක්ටිස් (Practice) එකක් නෙවෙයි නේද? ඔයා පරණ කැන්වස් එකක අඳින්නේ."

ගිමන් බිම බලා ගත්තේය. තවදුරටත් බොරු කීමෙන් පලක් නැත.

"මට මේකට සල්ලි හම්බවෙනවා ශෙනල්‍යා. ලොකු ගාණක්."

"කවුද දෙන්නේ? හොර බඩු විකුණන අයද?" ශෙනල්‍යාගේ හඬ බියෙන් වෙව්ලන්නට විය. "ගිමන්, මේක ආර්ට් ෆෝජරි (Art Forgery). මේක අහුවුනොත් ඔයාට හිරේ යන්න වෙනවා. ඔයා මොකද මේ කරන්නේ?"

"මට වෙන කරන්න දෙයක් නෑ!" ගිමන් කෑගැසුවේය. ඔහු නැගිට ඇය දෙසට හැරුණේය. ඔහුගේ දෑස් රතු වී තිබිණි. "අර බර්නාඩ් කාරයා ඇවිත් කිව්ව දේ ඇහුණා නේද? මම ගිලෙන්න යන නැවක්ලු. මට ඕන මගේ නැව බේරගන්න. මට ඕන ඔයාව බලාගන්න. මම හිඟන්නෙක් වෙන්න කැමති නෑ ශෙනල්‍යා!"

ශෙනල්‍යා ඔහු දෙස බලා සිටියේ කම්පනයෙනි. මේ ඇය ආදරය කළ අහිංසක සිත්තරා නොවේ. සමාජයේ පීඩනය විසින් ඔහුව අපරාධකරුවෙකු බවට පත් කරමින් සිටී.

"සල්ලි වෙනුවෙන් ඔයාගේ ආත්මය විකුණන්න එපා ගිමන්," ඇය හඬමින් කීවාය. "අපි ලංකාවට යමු. ඔයාට බැරිනම් මම යනවා. මට බෑ ඔයා හිරේ යනවා බලන්න."

"ඔයාට යන්න ඕන නම් යන්න. හෙට ටිකට් එක තියෙනවනේ," ගිමන් කේන්තියෙන් කීවේය. "හැබැයි මම පරාජය භාර ගන්නේ නෑ. මම මේක ඉවර කරනවා."

ඔහු නැවත පින්සල අතට ගත්තේය. ශෙනල්‍යා මොහොතක් ඔහු දෙස බලා සිටියාය. පසුව ඇය ඇඳට ගොස් මුහුණ කොට්ටයේ ඔබාගෙන හැඬුවාය.

එදින රාත්‍රියේ ඔවුන් දෙදෙනා අතර තිබූ බැඳීම පුපුරා ගියේය. ගිමන්ට මුදල් අවශ්‍ය විය. ශෙනල්‍යාට අවශ්‍ය වූයේ ආරක්ෂාව සහ සත්‍යයයි.

නමුත් ඔවුන් නොදැන සිටි දෙයක් තිබිණි. ලුවීගේ කඩයේ සවිකර තිබූ කැමරාවල දත්ත මේ වන විටත් රයන්ගේ ඒජන්තයෙකු අතට පත්ව තිබිණි. රයන් ඊළඟ දවසේ ලොකුම තුරුම්පුව අදින්නට සූදානම් ය.

පසුදා උදෑසන උදා වූයේ මරණයේ නිහඬතාවයත් සමඟිනි. ගිමන් සහ ශෙනල්‍යා වචනයක්වත් කතා කළේ නැත. ශෙනල්‍යා බර්නාඩ් දුන් ගුවන් ටිකට් පත දෙස බලා සිටියාය. ගිමන් අඩක් නිම කළ රෙනොයාර්ගේ ව්‍යාජ සිතුවම දෙස බලා සිටියේය.

"මම තීරණයක් ගත්තා ගිමන්," ශෙනල්‍යා අවසානයේ නිහඬ බව බිඳ දැමුවාය. ඇය නැගිට ගිමන් ළඟට ආවාය. "මම යනවා."

ගිමන්ගේ පපුව හිර විය. "ඔව්... ඒක හොඳයි. ඔයා යන්න. මම කොහොම හරි මේක..."

"නෑ, මම යන්නේ ලංකාවට නෙවෙයි. මම යන්නේ පොලිසියට," ඇය ස්ථිරව කීවාය.

ගිමන් උඩ ගියේය. "මොකක්?"

"මම ගිහින් කියනවා ලුවී ගැන. මම කියනවා ඔයාව බ්ලැක්මේල් (Blackmail) කරලා මේක කරවගන්නවා කියලා. මට බෑ ඔයා අපරාධකාරයෙක් වෙනවා බලන්න."

"ශෙනල්‍යා, එපා! එතකොට එයාලා මාවත් අත්අඩංගුවට ගනියි. මගේ ජීවිතේම ඉවරයි!" ගිමන් ඇයව නතර කිරීමට පැන්නේය.

ඒ මොහොතේම...

ඩොක්! ඩොක්! ඩොක්!

දොරට ගැසූ හඬ මුළු අටුව පුරාම ගිගුම් දුන්නේය. එය බර්නාඩ්ගේ තට්ටු කිරීම මෙන් මෘදු එකක් නොවීය. එය බලහත්කාරී, රළු තට්ටු කිරීමකි.

"Police Nationale! Ouvrez la porte!" (ජාතික පොලිසිය! දොර අරින්න!)

ප්‍රංශ පොලිස් නිලධාරියෙකුගේ ගැඹුරු හඬ දොරෙන් එහා පැත්තෙන් ඇසිණි.

ගිමන් සහ ශෙනල්‍යා ගල් ගැසී එකිනෙකා දෙස බැලූහ. ව්‍යාජ සිතුවම තවමත් ඊසල් එක මත එළිපිටම තිබේ. තීන්ත සහ රසායනික ද්‍රව්‍ය මේසය පුරා විසිරී ඇත. සාක්ෂි සැඟවීමට වෙලාවක් නැත.

රයන්ගේ ක්‍රීඩාව අවසන් වී ඇත. ඔහු දිනා ඇත.

ගිමන් වෙව්ලන දෑතින් ශෙනල්‍යාගේ අත තදින් අල්ලා ගත්තේය.

"බය වෙන්න එපා," ඔහු රහසින් කීවේය. "මම කියන්නම් ඔයා මේ මුකුත් දන්නේ නෑ කියලා."

දොරේ අගුල කඩාගෙන දොර විවර විය. නිල ඇඳුම් හැඳගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කාමරයට කඩා වැදුණහ.

Advertisement
74
0
0

අදහස් (0)

තවම අදහස් නැත. පළමුවැන්නා වන්න!