නුඹ මගේම සිතුවමක් - Chapter 4

by Uma

"වර්ණ 2025 - හොඳම සිත්තරා සම්මානය සහ ප්‍රංශයේ පූර්ණ ශිෂ්‍යත්වය හිමි වන්නේ..." උපකුලපතිවරයා මදක් නැවතී සිනාසුණේය. "...තම පින්සලෙන් ආත්මය කියවූ, ගිමන් අකලංක ශිෂ්‍යයාට!"

මුල් තත්පර කිහිපය තුළ ශාලාවේ තිබුණේ දැඩි නිහඬතාවකි. ගිමන්ට තමාගේ නම ඇසුණේ ඈතින් එන දෝංකාරයක් මෙනි. ඔහුට එය විශ්වාස කළ නොහැකි විය.

එකවරම ශෙනල්‍යා කෑගසාගෙන ගිමන්ව බදා ගත්තාය. "ගිමන්! ඔයා දිනුවා! ඔයා දිනුවා දෙවියනේ!"

රවිත් සහ හිමාෂ් පුටු උඩ නැග විසිල් ගසමින් කෑගසන්නට වූහ. මුළු ශාලාවම අත්පොළසන් නාදයෙන් ගිගුම් දෙන්නට විය. ඒ අත්පොළසන් නාදය ගිමන්ගේ කන් අඩි පුපුරුවා හරින තරම් ප්‍රබල විය. ඔහු සෙමෙන් නැගී සිටියේය. කකුල් පණ නැතිවාක් මෙන් දැනුනත්, ශෙනල්‍යාගේ අතේ වාරුවෙන් ඔහු කෙලින් සිට ගත්තේය.

නමුත් මේ සතුට මැද එක් අයෙක් ගිනි ගනිමින් සිටියේය.

"මේක වෙන්න බෑ!" රයන් මහ හඬින් කෑගසමින් නැගී සිටියේය. "මේක බොරුවක්! තාත්තේ, මුන් මට චීට් (Cheat) කරලා!"

රයන් වේදිකාව දෙසට දිව ගියේ පිස්සුවෙන් මෙනි. මුළු ශාලාවම නැවතත් නිහඬ විය. රයන් වේදිකාව පාමුල නතර වී උපකුලපතිවරයාට අත දිගු කළේය.

"සර්, කොහොමද මගේ චිත්‍රය පරදින්නේ? මගේ පේන්ටින් එකේ කොලිටි (Quality) එක බලන්න. අර හිඟන්නා ඇඳපු කැත චිත්‍රය කොහොමද දිනන්නේ? මේකේ මොකක් හරි ඩීල් (Deal) එකක් තියෙනවා!" රයන්ගේ කටහඬේ තිබුණේ පරාජය දරාගත නොහැකි වේදනාව සහ කෝපයයි.

ගිමන් ඒ වන විට වේදිකාවට යන පඩිපෙළ ළඟට පැමිණ සිටියේය. රයන් ගිමන් දෙසට හැරුණේය.

"උඹ... උඹ කොහොම හරි මේක හොරකම් කළා නේද?" රයන් ගිමන්ගේ කමිසයෙන් අල්ලන්නට පැන්නාය.

නමුත් මේ වතාවේ ගිමන් තනිවම නොවේ. රවිත් සහ හිමාෂ් වහාම මැදට පැන රයන්ව තල්ලු කළහ. ආරක්ෂක නිලධාරීන් ද දිව එමින් සිටියහ.

"නවත්තන්න!" ප්‍රංශ ජාතික අමුත්තා මයික්‍රොෆෝනය අතට ගෙන ඉංග්‍රීසි බසින් කෑගැසුවේය. ඔහුගේ හඬේ තිබුණේ දැඩි බවකි. "තරුණයා, කරුණාකර නිහඬ වන්න."

රයන් ගැස්සී ගියේය.

ප්‍රංශ ජාතිකයා සන්සුන්ව, එහෙත් තදින් කතා කළේය. (ඔහුගේ කතාව පරිවර්තකයෙකු විසින් සිංහලට හරවනු ලැබීය).

"කලාව කියන්නේ තාක්ෂණය නෙවෙයි. කලාව කියන්නේ මිල අධික සායම් නෙවෙයි. මම දැක්කා ඔයාගේ චිත්‍රය. ඒක ලස්සනයි. හරිම තාත්විකයි. හැබැයි ඒක මැරිච්ච දෙයක්. ඒකේ හැඟීමක් නෑ."

ඔහු ගිමන් දෙසට අත දිගු කළේය.

"නමුත් මේ තරුණයා... ඔහුගේ චිත්‍රයේ තිබුණේ අසම්පූර්ණකම. ඒත් ඒ අසම්පූර්ණකම ඇතුලේ මම දැක්කා වේදනාව, බලාපොරොත්තුව සහ ආදරය. එයා ඇඳලා තියෙන්නේ රූපයක් නෙවෙයි, මනුස්සයෙක්ගේ ඇතුලාන්තය. පැරීසියට ඕන කරන්නේ අන්න ඒ වගේ හදවතක් තියෙන කලාකරුවෙක් මිසක්, මැෂින් එකක් වගේ අඳින කෙනෙක් නෙවෙයි."

ඒ වචන රයන්ගේ හදවතටම වැදුණි. ඔහු වටපිට බැලුවේය. තමාගේ පියා දෙස බැලුවේය. රයන්ගේ පියා ඔහු දෙස බලා සිටියේ ලැජ්ජාවෙනි. ඔහු රයන්ව ආරක්ෂා කිරීමට ආවේ නැත. ඔහු අසුනෙන් නැගිට ශාලාවෙන් පිටව ගියේය. තම පියාගේ ප්‍රතික්ෂේප කිරීම රයන්ට දරාගත හැකි වූයේ නැත. ඔහු හිස බදාගෙන එතැනම දණින් වැටුණේය. රජ කුමාරයාගේ කිරුළ බිම වැටී කුඩු වී ගියේය.

ගිමන් වේදිකාවට නැග්ගේය. ඔහුට ඇවිදීමට අපහසු වුවත්, ඔහුගේ ගමනේ අමුතුම අභිමානයක් තිබිණි. උපකුලපතිවරයා සම්මානය සහ ශිෂ්‍යත්වය ඔහුට ප්‍රදානය කළේය.

මයික්‍රොෆෝනය අතට ගත් ගිමන්, ශාලාවේ සිටින පිරිස දෙස බැලුවේය. ඔහුගේ දෑස් නතර වූයේ ඉදිරිපෙළ අසුනක කඳුළු පුරවාගෙන බලා සිටින ශෙනල්‍යා ළඟය.

"මේක මගේ ජයග්‍රහණයක් නෙවෙයි," ගිමන්ගේ හඬ වෙව්ලුවාය. "මේක... තමන්ගේ හීන වෙනුවෙන් වචනයක්වත් කතා කරන්න බැරුව හිරවෙලා ඉන්න හැම 'සැඟවුණු ආත්මයකටම' අයිති ජයග්‍රහණයක්."

මුළු ශාලාවම නැවතත් අත්පොළසන් දුන්හ. ශෙනල්‍යා නැගිට ඔහුට අත වැනුවාය. ඒ මොහොතේ ගිමන් දැන සිටියේ, පැරීසියට යාම කෙසේ වෙතත්, තමාට ලැබුණු වටිනාම සම්මානය ඇය බව.

උත්සවය අවසන් වී පැයකට පමණ පසු, කලාගාරය හිස් වෙමින් තිබිණි. ගිමන් තමා ඇඳි සිතුවම ඉදිරිපිට තනිවම සිටගෙන සිටියේය. සිතුවමේ පහළින් "Winner" යනුවෙන් රතු පැහැති පීත්ත පටියක් අලවා තිබිණි.

"දැන්වත් ඔය මූණේ හිනාවක් දකින්න පුළුවන්ද?"

ශෙනල්‍යා ඔහු පිටුපසින් පැමිණ ඔහුගේ උරහිසට හිස තැබුවාය.

"මට තාම හිතාගන්න බෑ ශෙනල්‍යා," ගිමන් ඇගේ අත අල්ලා ගත්තේය. "මාස තුනකට කලින් මම හිටියේ කාමරේක හැංගිලා. අද මම ප්‍රංශයට යන්න ලෑස්ති වෙනවා."

"ඔයා එදා හැංගිලා හිටියට, ඔයාගේ දක්ෂතාවය එළියට එන්න පාරක් බලන් හිටියේ," ඇය මෘදු ලෙස කීවාය.

"නෑ... ඒ දක්ෂතාවය එළියට ගත්තේ ඔයා," ගිමන් ඇය දෙසට හැරුණේය. ඔහු ඇගේ දෑස් දෙස කෙලින්ම බැලුවේය. "ඔයා එදා වැස්ස වෙලාවේ මගේ චිත්‍රෙ බේරගන්න දුවගෙන ආවේ නැත්නම්, ඔයා මට වීදි චිත්‍ර අඳින්න කතා කළේ නැත්නම්, අද මේ ගිමන් නෑ."

ශෙනල්‍යාගේ මුහුණේ තිබුණේ සංකීර්ණ හැඟීමකි. සතුට සහ වෙන්වීමේ දුක එහි මුසු වී තිබිණි.

"ඔයාට දැන් යන්න වෙනවා නේද? ප්‍රංශයට..." ඇය ඇසුවේ හීන් හඬිනි.

"ඔව්. වීසා වැඩ ඉවර වුන ගමන් යන්න වෙනවා," ගිමන්ගේ හිතටත් බරක් දැනුණි.

"මාස තුනක්... කාලය ඉක්මනට යයි," ඇය බලෙන් සිනාසෙන්නට උත්සාහ කළාය.

ගිමන් ඇගේ දෑත් තදින් අල්ලා ගත්තේය. "ශෙනල්‍යා, මම ගියාට පස්සේ රයන් ඔයාට කරදරයක් කරයිද?"

"රයන්?" ශෙනල්‍යා සමච්චල් සිනහවක් පෑවාය. "එයා අදින් පස්සේ ආයේ කැම්පස් එයි කියලා මම හිතන්නේ නෑ. එයාගේ තාත්තා අද ගිය විදිහ දැක්කනේ. රයන්ට දැන් තියෙන්නේ එයාගේ ඊගෝ (Ego) එකත් එක්ක තනි වෙන්න. එයා ගැන බය වෙන්න එපා."

"එහෙනම්..." ගිමන් මදක් නිහඬ විය. මෙය තමයි වෙලාව. "එහෙනම් මම එනකම් ඔයා බලාගෙන ඉන්නවද?"

ශෙනල්‍යාගේ දෑස් පුදුමයෙන් විශාල විය. ගිමන් පළමු වතාවට ඔහුගේ ආදරය වචන වලින් ඉඟි කර ඇත.

"ගිමන්..." ඇය ඔහුගේ පපුවට අත තැබුවාය. "මම අවුරුදු දෙකක් තිස්සේ ඔයා දිහා බලාගෙන හිටියා කියලා ඔයා දැනන් හිටියේ නෑනේ. ඉතින් තව මාස තුනක් බලාගෙන ඉන්න එක මට කජ්ජක්ද?"

ගිමන්ට අදහාගත නොහැකි විය. "මොකක්? අවුරුදු දෙකක්? ඒ කියන්නේ..."

ශෙනල්‍යා සිනාසුණාය. "ඔයා හිතුවද ඔයා විතරයි හොරෙන් බලන් හිටියේ කියලා? ලයිබ්‍රරි එකේදි මගේ පොත් වැටුන දවසේ ඉඳන් මම දන්නවා ඔයා මං දිහා බලන් ඉන්නවා කියලා. මම බලන් හිටියේ ඔයා කවදද කටක් ඇරලා මට කතා කරන්නේ කියලා, මෝඩයෝ."

ගිමන්ට තමා ගැනම ලැජ්ජාවක් සහ පුදුමයක් දැනිණි. ඔහු සිතුවේ තමාගේ ප්‍රේමය රහසක් බවයි. නමුත් ඇය මේ සියල්ල දැනගෙන, ඔහුට ඉදිරියට ඒමට පාර සකසා ඇත.

"ඔයා මාර කෙල්ලෙක් ශෙනල්‍යා..." ගිමන් ඇයව තදින් වැළඳ ගත්තේය.

කලාගාරයේ විදුලි පහන් එකින් එක නිවෙමින් තිබිණි. අඩ අඳුරේ, තමන්ගේම ආත්මය සොයා ගත් චිත්‍ර ශිල්පියා සහ ඔහුගේ ආත්මය වූ තරුණිය, අලුත් හෙටක් ගැන සිහින දකිමින් සිටියහ.

මාස තුනකට පසු.

පැරීසියේ අයිෆල් කුළුණ පෙනෙන මානයේ පිහිටි කුඩා චිත්‍රාගාරයක, ගිමන් අකලංක තවත් සිතුවමක් අඳිමින් සිටියේය. මෙවර ඔහු අතේ තිබුණේ ඉස්තරම්ම වර්ගයේ පින්සල් සහ සායම් ය. නමුත් ඔහු අඳිමින් සිටියේ පැරීසියේ සුන්දරත්වය නොවේ.

ඔහුගේ ජංගම දුරකථනය නාද විය. තිරය මත වැටුණේ "My Soul" යන නමයි.

"හෙලෝ ශෙනල්‍යා," ගිමන් වීඩියෝ කෝල් එක ආන්සර් කළේය.

"බොන්ජූර් මිස්ටර් ආර්ටිස්ට්!" ශෙනල්‍යාගේ සිනාමුසු මුහුණ තිරයේ දිස්විය. ඇය සිටියේ කටුනායක ගුවන් තොටුපලේය. පිටුපසින් ගමන් මලු පෙනෙන්නට තිබිණි.

"ඔයා... ඔයා කොහෙද ඉන්නේ?" ගිමන් පුදුමයෙන් ඇසුවේය.

"ඔයා එනකම් බලන් ඉඳලා එපා වුණා. ඒකයි මම එන්න හිතුවේ," ඇය ඇහැක් ඉඟි මැරුවාය. "ඊළඟ ෆ්ලයිට් (Flight) එක පැරීසියට. තව පැය දහයකින් මම ඔහේ."

ගිමන්ගේ සතුටු කෑගැසීම මුළු චිත්‍රාගාරයම දෙවනත් කළේය. ඔහු ජනේලය හැර අයිෆල් කුළුණ දෙස බැලුවේය.

ජීවිතය හරියට හිස් කැන්වසයක් වැනිය. බය නැතුව පාට කළොත්, අවසානයේ මැවෙන්නේ සුන්දරම චිත්‍රයයි. ගිමන් ඔහුගේ හොඳම චිත්‍රය ඇඳ අවසන්ය. දැන් ඉතිරිව ඇත්තේ එය විඳීම පමණි.

චාල්ස් ඩි ගෝල් (Charles de Gaulle) ගුවන් තොටුපළේ ආගමන පර්යන්තය ජනාකීර්ණ වී තිබිණි. ගිමන් අතේ මල් කළඹක් ද තබාගෙන නොඉවසිල්ලෙන් බලා සිටියේ ස්වයංක්‍රීය දොරටු දෙසය. ඔහු ඇඳ සිටියේ ඝනකම් කෝට් එකකි. පැරිසියේ ශීතල ඔහුට තවමත් හුරු නැත. නමුත් අද ඔහුගේ සිතට දැනෙන්නේ ගිනි ගොඩක උණුසුමකි.

විනාඩි තිහකට පමණ පසු, ඒ හුරුපුරුදු රුව දොරටුවෙන් එළියට පැමිණියාය. ශෙනල්‍යා ලා රෝස පැහැති ලොම් කබායකින් සැරසී, ට්‍රොලි බෑග් දෙකක් තල්ලු කරගෙන ආවාය. ඇය වටපිට බලන විට ගිමන් අත ඉහළට ඔසවා වැනුවේය.

"ශෙනල්‍යා!"

ඇය ඔහුව දුටු විගස ට්‍රොලිය එතැනම අතහැර ඔහු වෙත දිව ආවාය. ගිමන් මල් කළඹ පසෙකට විසි කර ඇයව තදින් වැළඳ ගත්තේය. ගුවන් තොටුපළේ සිටි විදේශිකයන් දෙසවත් නොබලා ඔවුන් විනාඩියක් පමණ එලෙසම සිටියහ.

"ඔයාට පිස්සු..." ගිමන් ඇගේ කනට කොඳුරමින් කීවේය. "ගෙදරට මොකද කිව්වේ?"

ශෙනල්‍යා ඔහුගෙන් මදක් ඈත් වී, කඳුළු පිරුණු දෑසින් සිනාසුණාය. "මම කිව්වේ යාළුවෙක් එක්ක ඩුබායි ට්‍රිප් එකක් යනවා කියලා. තාත්තා දන්නවා නම් මම ආවේ කොහෙද කියලා, එයා හාට් ඇටෑක් එකක් හැදිලා මැරෙයි."

ගිමන්ගේ සිනහව මදක් මැලවී ගියේය. ශෙනල්‍යා මේ පැමිණ ඇත්තේ විශාල බොරුවක් මතය. එය ඔවුන්ගේ අනාගතයට කෙසේ බලපායිද?

"හරි... අපි යමු. මගේ ස්ටුඩියෝ එක පොඩියි. ඔයාට ඒකේ ඉන්න පුළුවන් වෙයිද මන්දා," ගිමන් ඇගේ බෑග් ටික ට්‍රොලියට පටවමින් කීවේය.

ඔවුන් කුලී රථයකින් ගිමන්ගේ නවාතැනට යන අතරතුර ශෙනල්‍යා පැරිසියේ වීදි දෙස බලා සිටියේ කුඩා දරුවෙකු මෙනි.

"ගිමන්, මේක හීනයක් වගේ..." ඇය ඔහුගේ උරහිසට හිස තැබුවාය.

"ඔව්... ඒත් මේ හීනෙ ඇතුලේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මැණික. මම තාම ශිෂ්‍යත්වෙන් යැපෙන දුප්පත් ආර්ටිස්ට් කෙනෙක්," ගිමන් යථාර්ථය මතක් කළේය.

"ඔයා ළඟ ඉන්නවා නම් මට පාරේ වුනත් ඉන්න පුළුවන්," ඇය ගිමන්ගේ අත තදින් අල්ලා ගත්තාය.

නමුත් ඒ වචනවල බර ඇයට තේරුම් ගියේ ගිමන්ගේ නවාතැනට ගිය පසුවය. එය පැරිසියේ පැරණි ගොඩනැගිල්ලක අටුව (Attic) මත පිහිටි ඉතා කුඩා කාමරයකි. එහි තිබුණේ එක ඇඳක්, කුඩා කුස්සියක් සහ චිත්‍ර අඳින උපකරණ පමණි. නාන කාමරය පවා ඉතා කුඩාය. ශෙනල්‍යාගේ සුඛෝපභෝගී කාමරය සමඟ සසඳන විට මෙය අල්මාරියක් වැනිය.

ශෙනල්‍යා කාමරයට ඇතුළු වී වටපිට බැලුවාය. ගිමන් ඇය දෙස බලා සිටියේ බියෙනි. ඇයට කලකිරෙයිද?

"මේක... මේක හරිම ලස්සනයි ගිමන්!" ඇය ජනේලය ළඟට දිව ගියාය. එතැනින් ඈතින් අයිෆල් කුළුණේ මුදුන පෙනෙන්නට තිබිණි. "අපිට මුළු පැරිසියම පේනවා!"

ඇගේ ධනාත්මක බව ගිමන්ට සහනයක් විය. නමුත් ඒ සහනය වැඩි වේලාවක් තිබුණේ නැත.

ශෙනල්‍යාගේ ජංගම දුරකථනය නොනවත්වා නාද වන්නට විය. තිරයේ වැටී තිබුණේ "DADA" යන නමයි.

"තාත්තා..." ශෙනල්‍යාගේ මුහුණ සුදුමැලි විය. "එයා දැනගෙන වගේ."

"ආන්සර් කරන්න එපා දැනට," ගිමන් කීවේය.

"බෑ ගිමන්. මම ආන්සර් නොකර හිටියොත් එයා පොලිසියට කියයි මාව කිඩ්නැප් (Kidnap) කළා කියලා. එයාට පුළුවන් එහෙම කරන්න."

ශෙනල්‍යා වෙව්ලන දෑතින් දුරකථනය කන තබා ගත්තාය.

"හෙලෝ තාත්තේ..."

දුරකථනයේ අනෙක් පසින් ඇසුණේ ගිගුරුම් හඬකි. ගිමන්ට ශෙනල්‍යා ළඟ සිටියද ඒ කෑගැසීම යන්තම් ඇසිණි.

"තමුන් කොහෙද ඉන්නේ? ඩුබායි වල නෙවෙයි නේද? මම දැන් චෙක් කළා. තමුන් ගිහින් තියෙන්නේ ප්‍රංශෙට! අර හිඟන්නා ළඟට නේද ගියේ?"

ශෙනල්‍යා ඉකිබිඳින්නට වූවාය. "තාත්තේ... මම එයාව මැරි කරන්නෙ නෑ. මම ආවේ නිවාඩුවක්..."

"කට වහපන්! තමුන්ට මම පැය 24ක් දෙනවා. ඊළඟ ෆ්ලයිට් එකේ ලංකාවට ආවේ නැත්නම්... අහගන්නවා හොඳට. මම තමුන්ගේ ක්‍රෙඩිට් කාඩ් ඔක්කොම බ්ලොක් කරනවා. තමුන්ගේ එකවුන්ට්ස් ෆ්‍රීස් (Freeze) කරනවා. බලමු අරූගේ තුට්ටු දෙකේ පඩියෙන් තමුන්ට කොච්චර කල් කන්න දෙන්න පුළුවන්ද කියලා!"

දුරකථනය විසන්ධි විය. ශෙනල්‍යා ඇඳ මත වාඩි වූවාය. ඇගේ අතේ තිබූ දුරකථනය ගිලිහී බිමට වැටුණි.

"මොකද වුනේ?" ගිමන් ඇය ළඟින් වාඩි විය.

"තාත්තා... එයා මගේ කාඩ්ස් බ්ලොක් කරනවා කිව්වා. මම ගෙදරින් ගෙනාවේ යුරෝ 500යි ගිමන්. එච්චරයි මම ළඟ තියෙන්නේ," ඇය ගිමන් දෙස බැලුවේ අන්ත අසරණවය.

ගිමන්ගේ හදවත ගැස්සී ගියේය. ඔහුගේ ශිෂ්‍යත්ව දීමනාව ප්‍රමාණවත් වූයේ ඔහුට තනිවම ජීවත් වීමට පමණය. දැන් මේ නාගරික කුමරියව නඩත්තු කරන්නේ කෙසේද? පැරිසිය යනු ලෝකයේ මිල අධිකම නගරයකි.

"බය වෙන්න එපා," ගිමන් ඇයව පපුවට තුරුළු කර ගත්තේය. නමුත් ඔහුගේ දෑස්වල තිබුණේ බියකි. "අපි මොනවා හරි කරමු. මම අමතර ජොබ් එකක් කරන්නම්."

පසුදා උදෑසන ගිමන් අවදි වන විට ශෙනල්‍යා තවමත් තද නින්දේය. හීටරය ක්‍රියාත්මක වී තිබුණත් කාමරයට දැනුනේ දැඩි සීතලකි. ගිමන් ශබ්ද නොකර ඇඳෙන් බැස කුස්සියට ගියේය. ෆ්‍රිජ් එක විවෘත කළ විට ඔහුගේ හිත පාරා ගියේය. එහි තිබුණේ බිත්තර දෙකක්, පාන් භාගයක් සහ කිරි ටිකක් පමණි.

වෙනදාට ඔහු උදේට කෝපි එකක් බී දවසම විශ්වවිද්‍යාලයේ කැන්ටිමෙන් අඩුවට කෑම කෑවේය. නමුත් දැන් ශෙනල්‍යා සිටී. ඇයට එලෙස දුක් විඳින්නට දිය නොහැක.

ගිමන් තම මුදල් පසුම්බිය ඇර බැලුවේය. එහි තිබුණේ යුරෝ 40කි. මාසය ඉවර වීමට තව සති දෙකක් ඇත.

"දෙවියනේ..." ඔහු හිස අතගා ගත්තේය.

ඔහු ඉක්මනින් කෝපි සාදා, බිත්තර දෙක තම්බා, පාන් ටෝස්ට් කළේය. මේසය මත ලස්සනට පිඟන් තැබුවේය. ශෙනල්‍යා අවදි වී පැමිණෙන විට ගිමන් සිනාමුසු මුහුණින් සිටියේය.

"ගුඩ් මෝනින් ප්‍රින්සස්," ඔහු ඇයට කෝපි කෝප්පය දිගු කළේය.

"ගුඩ් මෝනින්," ඇය දෑස් පොඩි කරමින් සිනාසුණාය. "මාර සුවඳයි."

ඇය පාන් කෑල්ලක් කන අතරතුර වටපිට බැලුවාය. "අපි අද කොහෙද යන්නේ? අයිෆල් ටවර් එකට යමුද? ඊට පස්සේ ලූවර් (Louvre) මියුසියම් එකට?"

ගිමන්ගේ උගුර හිර විය. ඒ තැන්වලට යන්නට ටිකට් පත්වලට මුදල් අවශ්‍යය.

"අද... අද මට පොඩි වැඩ වගයක් තියෙනවා යුනිවසිටි එකේ. මම දවල් වෙලා එන්නම්. අපි හවසට පොඩි රවුමක් දාමු පයින්ම. මේ අවට මාර ලස්සනයි," ගිමන් බොරුවක් ගෙතුවේය. ඔහුට මුදල් ඉතිරි කර ගැනීමට අවශ්‍ය විය.

"ආ... හරි. එහෙනම් මම කාමරේ අස් කරන්නම්," ශෙනල්‍යාගේ මුහුණේ පුංචි අඳුරක් ඇඳුණත් ඇය එය සැඟවූවාය.

ගිමන් කබාය දාගෙන එළියට බැස්සේය. ඔහු කෙලින්ම ගියේ විශ්වවිද්‍යාලයට නොවේ. ඔහු ගියේ මොන්මාර්ට්‍රේ (Montmartre) නම් කලාකරුවන් ගැවසෙන ප්‍රදේශයටයි. එහි පාර අයිනේ චිත්‍ර අඳින ශිල්පීන් බොහෝය.

ඔහු තමා දන්නා හඳුනන ප්‍රංශ ජාතික මිතුරෙකු සොයා ගත්තේය. ජැක් (Jacques) වයසක චිත්‍ර ශිල්පියෙකි.

"ජැක්, මට උදව්වක් ඕන. මට ඉක්මනට සල්ලි ටිකක් හොයාගන්න ඕන. පෝට්රේට් (Portrait) අඳින්න තැනක් තියෙනවද?"

ජැක් දුම් පයිප්පය උරමින් ගිමන් දෙස බැලුවේය. "ගිමන්, උඹට ස්කොලර්ශිප් එක තියෙනවනේ. ඇයි මේ පාරේ හිඟා කන්න හදන්නේ? යුනිවසිටි එකෙන් දැනගත්තොත් උඹේ වීසා කැන්සල් වෙයි."

"මට ප්‍රශ්නයක් නෑ. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇවිල්ලා ඉන්නේ. මට සල්ලි ඕන," ගිමන් බැගෑපත් විය.

ජැක් සුසුමක් හෙළුවේය. "හරි. අතන මුල්ලේ මගේ ස්පොට් (Spot) එකක් තියෙනවා. අදට විතරක් එතන ඉඳගනින්. හැබැයි පොලිසියෙන් පැන්නොත් දුවපන්."

ගිමන් මුළු දවසම ඒ සීතල පදික වේදිකාවේ වාඩි වී සංචාරකයින්ගේ චිත්‍ර ඇන්දේය. එක චිත්‍රයකට යුරෝ 10යි. ඔහුගේ අත් සීතලට හිරි වැටී තිබුණත්, ඔහු නතර කළේ නැත. හවස් වන විට ඔහු යුරෝ 60ක් සොයාගෙන තිබිණි.

ඔහු ආපසු එන ගමන් සුපිරි වෙළඳසැලකින් කුකුල් මස්, එළවළු සහ වයින් බෝතලයක් ගත්තේය. ශෙනල්‍යා වෙනුවෙන් පුංචි සාදයක් දාන්නට ඔහුට අවශ්‍ය විය.

කාමරයට එන විට ශෙනල්‍යා සිටියේ ඇඳ මත ගුලි වීගෙනය. ඇය අඬා ඇති බවට ඇස් රතු වී තිබිණි.

"ශෙනල්‍යා?"

ඇය හිස ඔසවා බැලුවාය. "අම්මා කතා කළා ගිමන්. තාත්තා මගේ එකවුන්ට් ඔක්කොම වහලා. මට අඩුම තරමේ ආපහු යන්න ටිකට් එකක් ගන්නවත් සල්ලි නෑ."

ගිමන් මලු ටික බිම තබා ඇය ළඟට ගියේය.

"ඔයාට ආපහු යන්න ඕන නෑ," ගිමන් ඇගේ මුහුණ දෝතින්ම ගත්තේය. "අපි මැරෙන්නේ නෑ ශෙනල්‍යා. මම අද යුරෝ 60ක් හෙව්වා. අපි හෙමින් හෙමින් මේක ගොඩදාගමු."

"කොහොමද හෙව්වේ?" ඇය සැකයෙන් ඇසුවාය.

"මම... මම පොඩි පාට් ටයිම් (Part-time) වැඩක් හොයාගත්තා," ගිමන් බොරු කීවේය.

ශෙනල්‍යා ඔහුගේ දෑත් දෙස බැලුවාය. පැස්ටල් සහ අඟුරු (Charcoal) තැවරී ඔහුගේ ඇඟිලි තුඩු කළු වී තිබිණි. ඇය කලාකාරියක් නොවුනත්, ඇය දන්නවා තෙල් සායම් සහ අඟුරු අතර වෙනස. විශ්වවිද්‍යාලයේ කරන්නේ තෙල් සායම් ය. පාරේ කරන්නේ අඟුරු චිත්‍ර ය.

ඇයට කාරණය වැටහිණි. ඇය නිසා මේ අසහාය කලාකරුවා පාරේ චිත්‍ර අඳින තත්ත්වයට වැටී ඇත.

"ගිමන්..." ඇය ඔහුගේ අත අල්ලා සිප ගත්තාය. ඇගේ කඳුළු ඔහුගේ කළු වූ ඇඟිලි මත වැටුණි. "මට සමාවෙන්න. මම ඔයාට බරක් වුණා."

"පිස්සුද? ඔයා බරක් නෙවෙයි. ඔයා තමයි මගේ ශක්තිය. දැන් නැගිටින්න. අපි රෑට චිකන් උයමු."

ගිමන් සිනාසෙන්නට උත්සාහ කළත්, ඉදිරියේදී එන කුණාටුව ඔහුට ඉවෙන් මෙන් දැනිණි. ශෙනල්‍යාගේ පියා නිකම්ම සිටින කෙනෙක් නොවේ. ඔහු මීළඟට කුමක් කරයිද?

ශෙනල්‍යා පසුදා උදෑසන ගිමන්ටත් කලින් අවදි වූවාය. ඇය ගිමන්ට නොදැනෙන්නට ඇඳෙන් බැස, නාන කාමරයට ගොස් මුහුණ සෝදාගෙන ලෑස්ති වූවාය. ඇය ඇගේ වටිනාම බෑගය සහ කබාය හැඳ ගත්තාය. ගිමන් සිතුවේ ඔහු රැකියාවක් සොයන බව ඇයට රහසක්ව තබා ගැනීමටය. නමුත් ශෙනල්‍යා තීරණය කර තිබුණේ ඇයත් මේ සටනට උර දිය යුතු බවයි.

"මම ලයිබ්‍රරි යනවා ගිමන්," ඇය ගිමන් අවදි වන විට බොරුවක් කීවාය.

ඇය පැරිසියේ වීදිවල ඇවිද ගියාය. වෙනදා ඇය මෙහි ආවේ තාත්තාගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් මිල අධික ඇඳුම් ගැනීමටය. ෂාන් එලිසේ (Champs-Élysées) වීදියේ ඇති සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ දෙස බලන විට ඇයට දැනුනේ කටුක වේදනාවකි.

ඇය මුලින්ම ගියේ ප්‍රසිද්ධ ඇඳුම් සාප්පුවකටය.

"මට රස්සාවක් ඕන. සේල්ස් ගර්ල් (Sales Girl) කෙනෙක් විදිහට හරි කමක් නෑ," ඇය ඉංග්‍රීසියෙන් කළමනාකරුගෙන් ඇසුවාය.

කළමනාකරු ඇය දෙස ඉහළ සිට පහළට බැලුවේය. "ඔයාට ප්‍රංශ භාෂාව පුළුවන්ද?"

"ටිකක්... බොන්ජූර්... මර්සි..." ඇය ගොත ගැසුවාය.

"සොරි මැඩම්. අපිට ප්‍රංශ භාෂාව බැරි අයව ගන්න බෑ," ඔහු දොර පෙන්නුවේය.

ඇය තවත් කඩ දහයකට පමණ ගියාය. ප්‍රතිඵලය එකම විය. භාෂාව නොදැන, නීතිමය වැඩ බලපත්‍රයක් (Work Permit) හරියට නැතිව ඇයට රැකියාවක් සොයා ගැනීම කළු ගලක ඔළුව ගසා ගැනීමක් වැනි විය.

දහවල් වන විට ඇගේ කකුල් රිදෙන්නට විය. බඩගින්න ද දැඩි විය. ඇය අවසානයේ නතර වූයේ පැරිසියේ පිටිසර වීදියක තිබූ කුඩා ඉන්දියානු අවන්හලක් ඉදිරිපිටය. එහි වීදුරුවේ "Help Wanted" (සහයකයෙක් අවශ්‍යයි) යනුවෙන් ඉංග්‍රීසියෙන් ගසා තිබිණි.

ඇය ඇතුළට ගියාය. එය කුළුබඩු ගඳ ගසන, තෙල් පිරුණු කුඩා කඩයකි. අයිතිකරු මහත, රැවුල වවාගත් මිනිසෙකි.

"මට රස්සාවක් ඕන," ශෙනල්‍යා කෙලින්ම කීවාය.

මිනිසා ඇය දෙස බැලුවේ පුදුමයෙනි. "ඔයා? මේ ඇඳුම් ඇඳගෙන? මෙතන තියෙන්නේ වේටර් වැඩ නෙවෙයි නෝනා. කුස්සියේ වැඩ. පිඟන් හෝදන්න, ළූණු කපන්න."

ශෙනල්‍යා මොහොතක් නිහඬ විය. ලංකාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාගේ දියණිය, පැරිසියේ කඩේක පිඟන් හෝදන්නද? තාත්තා දැනගත්තොත්?

නමුත් ඇයට ගිමන්ගේ කළු වූ ඇඟිලි මතක් විය.

"මට පුළුවන්. මම කරන්නම්," ඇය ස්ථිරව කීවාය.

"පැයට යුරෝ 5යි. කැමති නම් ඒප්‍රන් (Apron) එක දාගෙන පටන් ගන්න," මිනිසා කුස්සිය දෙසට අත දිගු කළේය.

ශෙනල්‍යා තම වටිනා කබාය ගලවා පුටුවක් උඩින් තැබුවාය. ඇය කිළිටි ඒප්‍රන් එකක් ඇඳගෙන කුස්සියට ගියාය. එතැන් සිට පැය හයක් යනතුරු ඇය කළේ ඇය ජීවිතේට නොකළ දේවල් ය. උණු වතුරෙන් අත් පිච්චෙද්දී පිඟන් කඳු ගැසුවේය. දෑස් දැවෙද්දී ළූණු ගෝනි ගණන් කැපුවේය.

හවස වැඩ ඇරී ඇය එළියට එන විට ඇගේ අත්වල නියපොතු කැඩී, සම රැලි වැටී තිබිණි. ඇඳුම්වල කරපිංචා සහ තෙල් ගඳ රැඳී තිබිණි. නමුත් ඇගේ අතේ යුරෝ 30ක් තිබිණි.

ඇය ඒ මුදල් නෝට්ටු දෙස බලා සිටියේ ලෝකයේ වටිනාම සම්මානය දෙස බලන්නාක් මෙනි.

මේ අතර ගිමන් සිටියේ පැරිසියේ සුප්‍රසිද්ධ ලලිත කලා පාසලේ (École des Beaux-Arts) චිත්‍රාගාරයේය.

ඔහුගේ මහාචාර්යවරයා වූයේ මහාචාර්ය ඩූබොයිස් (Dubois) ය. ඔහු සාම්ප්‍රදායික කලාව දේවත්වයෙන් සලකන, දැඩි විනයක් ඇති මිනිසෙකි.

ගිමන් තමා ඇඳි අලුත්ම සිතුවම මහාචාර්යවරයාට පෙන්නුවේය. එය පැරිසියේ වීදි දරුවෙකුගේ රූපයකි. ගිමන්ගේ සුපුරුදු ශෛලියට අනුව එහි හැඟීම් බහුල විය.

මහාචාර්ය ඩූබොයිස් සිතුවම දෙස බලා සිටියේ අප්‍රසාදයෙනි.

"මිස්ටර් අකලංක, ඔයා තාම හිතාගෙන ඉන්නේ ඔයා ඉන්නේ ලංකාවේ කියලා," මහාචාර්යවරයා ඉංග්‍රීසියෙන් කීවේ ප්‍රංශ උච්චාරණයෙනි. "මේක ඕනවට වඩා හැඟීම්බරයි (Too sentimental). මෙතන අපිට ඕන ටෙක්නික් (Technique). ඔයාගේ බ්‍රෂ් ස්ට්‍රෝක්ස් (Brush strokes) වල කිසිම විනයක් නෑ."

"සර්, මම උත්සාහ කළේ..."

"කට වහන්න," මහාචාර්යවරයා සැර විය. "මට ආරංචියක් ආවා අපේ සමහර ස්කොලර්ශිප් ළමයි මොන්මාර්ට්‍රේ වල පාරේ හිඟන්නෝ වගේ චිත්‍ර විකුණනවා කියලා. මම දන්නේ නෑ ඔයා ඒක කරනවද කියලා. හැබැයි මතක තියාගන්න, මේ යුනිවසිටි එකේ කීර්ති නාමයට හානි වෙන දෙයක් කළොත්, ඔයාගේ වීසා එකයි ස්කොලර්ශිප් එකයි දෙකම එක විනාඩියෙන් කැන්සල් වෙනවා."

ගිමන්ගේ ඇඟ සීතල විය. ජැක් ළඟ හිඳගෙන චිත්‍ර ඇන්ද බව කවුරු හරි දැකලාද?

"මට තේරුණා සර්," ගිමන් බිම බලාගෙන කීවේය.

"හොඳයි. ලබන සතියේ 'නව යථාර්ථවාදය' (Neo-Realism) ගැන අලුත් ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕන. හැඟීම් නෙවෙයි, මට ඕන තාක්ෂණය. හරියට කළේ නැත්නම් ඔයාට ලංකාවට යන්න ලෑස්ති වෙන්න වෙයි."

ගිමන් විශ්වවිද්‍යාලයෙන් එළියට ආවේ විශාල පීඩනයකිනි. එක පැත්තකින් මුදල් ප්‍රශ්නය. අනෙක් පැත්තෙන් අධ්‍යාපන ප්‍රශ්නය. ඔහුට දැන් පාරේ චිත්‍ර අඳින්නට බැරිය. අහුවුනොත් සියල්ල අවසානය. එසේ නම් ශෙනල්‍යාට කන්න බොන්න දෙන්නේ කෙසේද?

රාත්‍රී 8ට පමණ ගිමන් කාමරයට එන විට ශෙනල්‍යා ඇවිත් සිටියාය. ඇය සිටියේ නාන කාමරයේය. ගිමන් ඉක්මනින් තමාගේ අත් සෝදා ගත්තේය. අද දවසේ ඔහුට චිත්‍ර විකුණා මුදල් සොයාගත නොහැකි විය. අතේ තිබුණේ ඊයේ ඉතිරි වූ යුරෝ කිහිපය පමණි.

ශෙනල්‍යා නාන කාමරයෙන් එළියට ආවේ තෙත කොණ්ඩය පිස දමමිනි. ඇය සිනාසෙන්නට උත්සාහ කළත් ඇගේ ඇස්වල විඩාව ගිමන් දුටුවේය.

"කොහොමද අද දවස? ලයිබ්‍රරි එකේ හිටියද?" ගිමන් ඇසුවේය.

"ඔව්... ගොඩක් පොත් කියෙව්වා. ඔයාට කොහොමද?" ඇය ඇසුවාය.

"මාත්... යුනිවසිටි එකේ වැඩ වගයක් කළා."

දෙදෙනාම එකිනෙකාට බොරු කියමින් සිටියහ.

ගිමන් ඇය ළඟට ගොස් ඇගේ අතින් අල්ලන්නට හැදුවේය. ශෙනල්‍යා එකවරම අත පස්සට ගත්තාය.

"ඇයි?" ගිමන් පුදුම විය.

"මුකුත් නෑ... මම ක්‍රීම් ගාලා ඉන්නේ," ඇය ගොත ගැසුවාය.

නමුත් ගිමන් බලහත්කාරයෙන් ඇගේ අත අල්ලා ගත්තේය. ඇගේ සුසිනිඳු ඇඟිලි තුඩු රළු වී, තැනින් තැන කැපීම් සහ පිළිස්සුම් පාරවල් තිබිණි. ඒ මදිවට ඇගෙන් වහනය වූයේ ලාභ සබන් සහ ළූණු සුවඳකි.

ගිමන් ඇගේ දෑස් දෙස බැලුවේය. "ඔයා ලයිබ්‍රරි ගියේ නෑ නේද? ඔයා මොකක් හරි කුස්සියක වැඩ කළා නේද?"

ශෙනල්‍යාගේ දෑස්වල කඳුළු පිරුණි. ඇයට තවදුරටත් බොරු කිරීමට නොහැකි විය.

"අපිට සල්ලි ඕන ගිමන්. මට නිකන් ඉන්න බෑ," ඇය ඉකිගැසුවාය.

ගිමන් ඇයව තදින් බදා ගත්තේය. ඔහුට තමා ගැනම කේන්තියක් ආවේය. තමාගේ ආදරය නිසා මේ මල් වගේ හැදුණු කෙල්ලට අනුන්ගේ පිඟන් හෝදන්නට සිදුවී ඇත.

"මට සමාවෙන්න ශෙනල්‍යා... මම පොරොන්දු වෙනවා. මේ දුක වැඩි කාලයක් තියෙන්නේ නෑ. මම කොහොම හරි මේක ගොඩදානවා," ගිමන් ඇගේ හිස සිප ගත්තේය.

"අපි දෙන්නා එකතු වුනොත් ඕන දෙයක් කරන්න පුළුවන්," ශෙනල්‍යා ඔහුගේ පපුවට තුරුළු වූවාය.

නමුත් ඔවුන් දෙදෙනාම දැන සිටියේ නැත, ඊළඟ දවසේ ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ මීටත් වඩා භයානක අභියෝගයකට බව. ගිමන්ගේ පරණ සතුරෙක් වන රයන්, ලංකාවේ සිටම තම පළිගැනීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන තිබුණි.

රාත්‍රිය නිහඬව ගලා ගියේය. ගිමන් ශෙනල්‍යාගේ රළු වූ දෑත් මත ක්‍රීම් ආලේප කරමින් සිටියේය. ඒ සෑම ස්පර්ශයකම තිබුණේ ආදරය සහ පසුතැවීම මුසු වූ හැඟීමකි.

"මේ අත් හැදිලා තිබුණේ පින්සලක් හරි පෑනක් හරි අල්ලන්න මිසක්, පිඟන් හෝදන්න නෙවෙයි," ගිමන් ඇගේ ඇඟිලි තුඩු සිප ගනිමින් මිමිණුවේය.

"මේ අත් හැදිලා තියෙන්නේ ඔයාව අල්ලගෙන ඉන්න ගිමන්. මම මොනවා කළත් මට ප්‍රශ්නයක් නෑ, අපි දෙන්නා එකට ඉන්න තාක් කල්," ශෙනල්‍යා ඔහුගේ පපුවට තුරුළු වෙමින් දෑස් පියා ගත්තාය.

පැරිසියේ සීතල සුළඟ ජනේලය හරහා විත් කාමරයට රිංගුවද, ඒ කුඩා ඇඳ මත ඔවුන්ට උණුසුමක් දැනිණි. හෙට දවස කෙසේ වේවිදැයි ඔවුන් දැන සිටියේ නැත. මුදල් නැත, රැකියා ස්ථිර නැත, පවුලේ අය තරහය. නමුත් ඒ මොහොතේ ඔවුන්ට තිබුණේ එකම එක විශ්වාසයක් පමණි. ඒ "අපි" යන වචනයයි.

කෙසේ වෙතත්, පැරිසියේ අහසට ඉහළින් ලංකාවේ සිට එන විද්‍යුත් පණිවිඩයක් අන්තර්ජාලය හරහා වේගයෙන් ගමන් කරමින් තිබිණි.

ගිමන්ගේ ලැප්ටොප් පරිගණකය මේසය මත නිවී නිවී දැල්වෙමින් තිබිණි. තිරය මත අලුත් ඊමේල් පණිවිඩයක් පැමිණ ඇති බවට කුඩා නිවේදනයක් වැටී තිබුණි.

From: Administration Office (École des Beaux-Arts)

Subject: URGENT: Inquiry regarding violation of scholarship terms (හදිසියි: ශිෂ්‍යත්ව කොන්දේසි උල්ලංඝනය කිරීම පිළිබඳ පරීක්ෂණයක්)

රයන්ගේ පළිගැනීම ආරම්භ වී ඇත. හෙට උදෑසන ගිමන් දෑස් හරින විට ඔහුට මුහුණ දීමට සිදුවන්නේ ඔහුගේ ජීවිතයේ විශාලතම බියකරු සිහිනයටයි.

Advertisement
80
0
0

අදහස් (0)

තවම අදහස් නැත. පළමුවැන්නා වන්න!