නුඹ මගේම සිතුවමක් - Chapter 2
by Uma
සතියේ මැද භාගයේ උදෑසනක් වුවද, නෙළුම් පොකුණ මාවතේ වූයේ කාර්යබහුල ස්වභාවයකි. වාහනවල හොන් හඬ ද, මඟීන්ගේ කලබලය ද මැද, පාර අයිනේ වූ දිගු තාප්පය අසල තරුණ පිරිසක් එහා මෙහා දිව යමින් සිටියහ. ඔවුන්ගේ අත්වල වූ තීන්ත බාල්දි, ඉණිමං සහ බුරුසු කියා පෑවේ අද දිනයේ එහි විශාල කලාත්මක මෙහෙයුමක් දියත් වන බවයි.
ගිමන් යතුරුපැදිය පාර අයිනේ නතර කර හෙල්මට් එක ගැලවූයේ ගැහෙන හදවතින් යුතුවය. අද ඔහු තනිවමය. රවිත්ට සහ හිමාෂ්ට දේශන තිබූ බැවින්, මේ නන්නාඳුනන කලා ලෝකයට තනිවම මුහුණ දීමට ඔහුට සිදුව තිබිණි. ඔහු හෙමින් සීරුවේ පිරිස දෙසට ළං විය. තාප්පයේ තැනින් තැන පරණ පෝස්ටර් ඉරා දමා, සුදු සායම් ගා පිරිසිදු කරමින් සිටි පිරිස අතර ඔහු සෙව්වේ එක් රුවක් පමණි.
"ආ... අපේ ආර්ටිස්ට් ඇවිල්ලා තියෙන්නේ!"
ඒ කටහඬ ගිමන්ගේ සතුට මොහොතකට නැති කර දැමීය. රයන්, අව් කණ්ණාඩියක් දමාගෙන, අතේ වූ ලිපිගොනුවක් වනමින් ගිමන් දෙසට පැමිණියේය. ඔහු හැඳ සිටියේ වැඩ කිරීමට පහසු ඇඳුමක් නොව, නිරූපණ ශිල්පියෙකු මෙන් පෙනෙන නවීන පන්නයේ ඇඳුමකි.
"වෙලාවට ආවා. ගුඩ්," රයන් ඔරලෝසුව දෙස බලමින් කීවේය. "හැබැයි වැඩේ කියන්නේ තාප්පේ හොඳ ටික ඔක්කොම අපේ මෙම්බර්ස්ලා බුක් කරගෙන ඉවරයි."
"කමක් නෑ... මට ඕන තැනක් අවුලක් නෑ," ගිමන් සන්සුන්ව කීවේය.
රයන්ගේ මුව අගට නැගුනේ කපටි සිනහවකි. ඔහු තාප්පයේ ඈත කෙළවරකට ඇඟිල්ල දිගු කළේය. එතැන විශාල කුණු බක්කියක් ළඟ තිබූ අතර, තාප්පයේ ඒ කොටස වසාගෙන අසල තිබූ ගසක අතු එල්ලී තිබිණි. කාගේවත් අවධානයට ලක් නොවන, අඳුරු මුල්ලක් විය.
"අන්න අර හරිය ඉතුරුයි. පොඩ්ඩක් අතු ටික කපාගෙන, කුණු ටික අයින් කරගත්තනම් වැඩේ පටන් ගන්න පුළුවන්. ඔයාට පුළුවන්නේ?"
එය පැහැදිලිවම අපහාසයකි. අලුතින් පැමිණි කෙනාට දුෂ්කරම තැන ලබා දී ඔහුව අධෛර්යමත් කිරීම රයන්ගේ සැලැස්ම බව ගිමන්ට තේරුණි. නමුත් ඔහු කිසිවක් කීවේ නැත.
"හරි. මම කරන්නම්," ගිමන් කීවේය.
රයන් පුදුමයෙන් මෙන් ගිමන් දෙස බැලුවේය. ඔහු බලාපොරොත්තු වූයේ ගිමන් විරුද්ධ වනු ඇති බව හෝ ආපසු හැරී යනු ඇති බවයි.
"හරි එහෙනම්. ඕන බඩු අතන තියෙනවා. ඉල්ලගෙන ගන්න," රයන් නොසැලකිලිමත් ලෙස පවසා අනෙක් පසට හැරී ගියේය.
ගිමන් කිසිදු පැමිණිල්ලකින් තොරව තීන්ත බාල්දියක් සහ පින්සල් කිහිපයක් සොයා ගත්තේය. ඔහු අර අප්‍රසන්න මුල්ලට ගොස් මුලින්ම කළේ අවට පිරිසිදු කිරීමයි. කුණු බක්කිය පසෙකට තල්ලු කර, ගසේ අතු ඉවත් කර ඔහු තමාට අවශ්‍ය පසුබිම සාදා ගත්තේය. අනෙක් පිරිස සිනාසෙමින්, විහිළු කරමින් වැඩ කරන විට ගිමන් තනිවම තම ලෝකය ගොඩනගමින් සිටියේය.
ඔහුට ශෙනල්‍යා මුණගැසුනේ පැයකට පමණ පසුවය. ඇය ආහාර පාර්සල් කිහිපයක් බෙදමින් එතැනට පැමිණි විට ගිමන් සිටියේ දහඩියෙන් තෙත් වී, තාප්පයේ මූලික පසුබිම ආලේප කරමිනි.
"ගිමන්! ඔයා ආවද? මම දැක්කෙවත් නෑනේ," ශෙනල්‍යාගේ හඬේ තිබුණේ සැබෑ පුදුමයකි. ඇය වටපිට බැලුවාය. "ඇයි ඔයා මේ කොනටම ආවේ? අර පැත්තේ හොඳ ඉඩ තිබ්බනේ."
ගිමන් පින්සල බිම තබා ඇය දෙස බැලුවේය. උදෑසන අව්වට ඇගේ මුහුණ රෝස පැහැ වී තිබිණි.
"නෑ... මම මේ හරියට ආසයි. ටිකක් නිස්කලංකයි," ගිමන් රයන්ගේ ක්‍රියාව ගැන ඇයට කේලම් කීමට ගියේ නැත.
ශෙනල්‍යා ඔහු දෙස බලා සිටියේ මදක් විමසිලිමත්වය. ඇයට යමක් වැටහුණු බවක් පෙනුනි. ඇය රයන් සිටි දෙස බලා නැවත ගිමන් දෙස බැලුවාය.
"රයන් නේද මෙතන දුන්නේ?" ඇය කෙලින්ම ඇසුවාය.
"ඒක ප්‍රශ්නයක් නෙවෙයි ශෙනල්‍යා. කොතන වුනත් කැන්වස් එකක්නේ. මම මේක ලස්සන කරන්නම්," ගිමන් විශ්වාසයෙන් කීවේය.
ශෙනල්‍යාගේ දෑස්වල ගිමන් ගැන තිබූ ගෞරවය තවත් වැඩි විය. "හරි. ඔයාට මොනවා හරි ඕන වුනොත් මට කියන්න. මම ඔයාට කෑම එකක් තිබ්බා."
ඇය ඔහුට වතුර බෝතලයක් සහ කෑම පාර්සලයක් දී යන්නට ගියාය. ඇය යන දෙස බලා සිටි ගිමන්ගේ සිතට අමුතු ශක්තියක් ලැබිණි. රයන් ඔහුට කොන්ක්‍රීට් තාප්පයේ නරකම තැන දුන්නා විය හැක. නමුත් ගිමන් තීරණය කළේ එතැන මුළු ප්‍රදර්ශනයේම හොඳම නිර්මාණය බිහි කරන තැන බවට පත් කිරීමටයි.
ඉර මුදුන් වීගෙන එන විට ගිමන්ගේ නිර්මාණය කෙමෙන් මතු වන්නට විය. අනෙක් බොහෝ දෙනා ඇඳ තිබුණේ සාම්ප්‍රදායික මල් මෝස්තර හෝ වියුක්ත රටාවන්ය. නමුත් ගිමන් තෝරා ගත්තේ වෙනස්ම මාතෘකාවකි.
ඔහුගේ සිතුවමේ වූයේ පැරණි, දිරා ගිය ජනේලයකින් එළියට බලන කුඩා දරුවෙකි. ජනේලය වටා තාප්පයේ තිබූ ස්වභාවික පැලුම් ගිමන් ඉතා දක්ෂ ලෙස චිත්‍රයේ කොටසක් කරගෙන තිබිණි. තාප්පයේ තිබූ අඳුරු පැහැය ඔහු පාවිච්චි කළේ දරුවා සිටින අඳුරු කාමරය නිරූපණය කිරීමටයි. නමුත් දරුවා අතේ තිබූ කඩදාසි කුරුල්ලා දීප්තිමත් කහ සහ රන්වන් පැහැයෙන් වර්ණ ගන්වා තිබුණේ, අඳුර මැදින් ඉගිලෙන බලාපොරොත්තුව සංකේතවත් කිරීමටයි.
දහවල් කෑම විවේකයේදී බොහෝ දෙනෙක් තමන්ගේ වැඩ නතර කර ගිමන්ගේ නිර්මාණය දෙස බැලීමට එක් රොක් වූහ.
"අඩේ මචං... ඒක නම් මාරයි," වෙනත් කණ්ඩායමක කොල්ලෙක් පැවසුවේය. "උඹ කොහොමද අර තාප්පේ තිබ්බ පැලුම චිත්‍රයට ගත්තේ?"
"ඒක මාර ක්‍රියේටිව් (Creative) අදහසක්," තවත් ගැහැණු ළමයෙක් අනුමත කළාය.
රයන් ඈත සිට මේ දෙස බලා සිටියේ දැඩි නොසන්සුන් බවකිනි. ඔහු සිතුවේ ගිමන් මේ අඳුරු මුල්ලේ තනි වී එපා වී යනු ඇති බවයි. නමුත් සිදුව ඇත්තේ අනෙකකි. ගිමන් ඒ අඳුරු මුල්ල කලාගාරයක් බවට පත් කර ඇත.
ශෙනල්‍යා පිරිස අතරින් ඉදිරියට ආවාය. ඇය සිතුවම දෙස බලා සිටියේ ගල් ගැසී මෙනි.
"ගිමන්..." ඇය ඉතා හෙමින් කතා කළාය. "මේ දරුවා... එයාගේ ඇස්..."
ගිමන් තීන්ත තැවරුණු දෑත් පිස දමමින් ඇය දෙස බැලුවේය. "ඇයි?"
"ඒ ඇස්වල තියෙන දේ... මම දන්නේ නෑ ඒක වචනයෙන් කියන්න. ඒත් මට දැනෙනවා," ඇය හැඟීම්බරව කීවාය.
"සමහර වෙලාවට අපි හිරවෙලා කියලා අපිට හිතෙනවා. ඒත් අපේ හීනවලට පුළුවන් අපිව එතනින් එළියට අරන් යන්න. මට ඕන වුනේ ඒක කියන්න," ගිමන් සරලව පැහැදිලි කළේය.
ශෙනල්‍යා මොහොතක් ගිමන්ගේ දෑස් දෙස කෙලින්ම බලා සිටියාය. ඒ බැල්ම වෙනදාට වඩා බොහෝ ගැඹුරු විය. වටේ සිටි පිරිස, වාහන ශබ්දය, රයන්ගේ ඊර්ෂ්‍යා සහගත බැල්ම, මේ කිසිවක් ඒ මොහොතේ ඔවුන්ට අදාළ නොවීය.
"ඔයා මාරම ටැලෙන්ටඩ් (Talented) ගිමන්. රයන් මොනවා කිව්වත්, අද දවසේ හොඳම ආර්ට් එක මේක," ඇය හඬ නඟා කීවාය.
ඒ වචන ටික රයන්ට කණේ පහරක් ගැසුවාක් මෙන් විය. ඔහු වේගයෙන් එතැනට පැමිණියේය.
"හරි හරි, දැන් ඇති කතා කළා. තාම වැඩ ඉවර නෑනේ. අහස කළුවර කරගෙන එනවා. වැස්සොත් ඔක්කොම ඉවරයි. ඉක්මනට වැඩ කරන්න," රයන් කෑගැසුවේය.
ඔහුගේ හඬේ තිබූ කලබලය සහ කේන්තිය කාටත් තේරුණි. පිරිස විසිර ගියහ. ශෙනල්‍යා ගිමන්ට තවත් එක් වරක් සිනාසී යන්නට ගියාය.
ගිමන් නැවත පින්සල අතට ගත්තේය. ඔහුගේ හදවත පිරී තිබුණි. රයන්ගේ කෑගැසීම ඔහුට ඇසුනේවත් නැත. පළමු වතාවට ඔහුට දැනුනේ තමා මේ කණ්ඩායමේ සාමාජිකයෙකු බවයි. නැත, ඊටත් වඩා ඔහුට දැනුනේ ශෙනල්‍යාගේ ලෝකයේ තමාට කුඩා හෝ ඉඩක් වෙන් වූ බවයි.
නමුත් රයන්ගේ අනතුරු ඇඟවීම බොරුවක් නොවේ. අහස ඇත්තටම කළු කරගෙන එමින් තිබිණි. හදිසියේම හමා ආ තද සුළඟත් සමඟ වැහි බිංදු කිහිපයක් පොළවට වැටුණේ ගිමන්ගේ අලුත්ම සිතුවම සේදී යාමේ අවදානම සිහිපත් කරමිනි.
පළමු වැහි බිංදුව ගිමන්ගේ අතට වැටුණේ සීතල උණ්ඩයක් මෙනි. ඊළඟ මොහොතේ මුළු නෙළුම් පොකුණ අවට පරිසරයම අඳුරු කරමින් මහ වැස්ස කඩා වැටුණේ කිසිදු අනතුරු ඇඟවීමකින් තොරවය.
"බඩු ටික කවර් (Cover) කරගන්න! ස්පීකර්ස් (Speakers) ටික තෙමෙන්න දෙන්න එපා!" රයන්ගේ කටහඬ වැහි අඳුර මැදින් ඇසිණි. ඔහු මුලින්ම දිව ගියේ තමන්ගේ වටිනා කැමරාව සහ උපකරණ ආරක්ෂා කර ගැනීමට මිස, අනෙක් අයගේ නිර්මාණ ගැන බැලීමට නොවේ.
පිරිස කලබලයෙන් ඔබ මොබ දිව ගියහ. සමහරු ළඟ තිබූ පොලිතින් ආවරණ ඇද ගත්හ. නමුත් ගිමන් සිටියේ අන්ත අසරණවය. ඔහු සිටියේ ප්‍රධාන පිරිසෙන් ඈත්ව, ගස් යටය. ගසේ අතු වලින් වැස්ස බේරී කෙලින්ම වැටුණේ ඔහුගේ අලුත්ම සිතුවම මතටය. තවමත් වේළී නොතිබූ දරුවාගේ රූපයේ තීන්ත දිය වී යාමට පටන් ගත්තේ ගිමන්ගේ හදවතද දිය කරමිනි.
"අපරාදේ..." ගිමන්ට කියවිණි. ඔහු තමා ඇඳ සිටි කමිසය ගලවා චිත්‍රය වසන්නට හැදුවත්, මේ මහ වැස්සට එය ප්‍රමාණවත් නොවන බව ඔහුට වැටහිණි. වතුර පාරවල් තාප්පය දිගේ ගලාගෙන එද්දී, දරුවා අතේ සිටි 'කඩදාසි කුරුල්ලා' දිය වී මැකී යන්නට විය.
එකවරම නිල් පාට විශාල පොලිතින් රෝලක් රැගෙන කවුරුන් හෝ ඔහු දෙසට දුවගෙන එනු පෙනිණි. ඒ ශෙනල්‍යා ය. ඇය තමාටම කියා කුඩයක්වත් නොමැතිව, වැස්සේ තෙමි තෙමී දිව ආවේ ගිමන් වෙතය.
"ගිමන්! අල්ලගන්න මේක!" ඇය කෑගැසුවාය.
ඇය පොලිතින් රෝලේ එක කෙළවරක් ගිමන් අතට විසිකර, අනෙක් කෙළවර රැගෙන තාප්පයේ උඩ කොටසට පැන්නාය. ගිමන් වහාම එය අල්ලාගෙන සිතුවම වැසෙන සේ දිග හැරියේය.
දැන් ඔවුන් දෙදෙනාම සිටියේ තාප්පයට හේත්තු වී, අර පොලිතින් ආවරණය යටය. පිටතින් මහ වැස්ස ධාරාණිපාතව ඇද හැලෙමින් තිබුණත්, පොලිතින් එකට යටින් ඔවුන්ගේ සිතුවම ආරක්ෂිතව තිබිණි. නමුත් ඊටත් වඩා ආරක්ෂිත හැඟීමක් ගිමන්ට දැනුණේ ශෙනල්‍යා ඔහුට ඉතා ආසන්නයෙන් සිටීම නිසාය.
ඇගේ ඇඳුම් වැස්සට තෙමී සිරුරට ඇලී තිබිණි. ඇගේ කොණ්ඩයෙන් වැහි බිංදු බේරෙමින් තිබිණි. සීතල නිසා ඇය තරමක් වෙව්ලන බව ගිමන්ට දැනුනි. නමුත් ඇය අත හැරියේ නැත. ඇය පොලිතින් එක තදින් අල්ලාගෙන සිතුවම දෙස බලා සිටියාය.
"බේරුණා නේද?" ඇය හති දමමින් ඇසුවාය. ඇය ගිමන් දෙස බැලුවේ ජයග්‍රාහී සිනහවකිනි.
"ඔව්... ඔයා නිසයි බේරුණේ. ඇයි මේ දුවගෙන ආවේ? ඔයා හොඳටම තෙමිලා," ගිමන් ඇසුවේ කනස්සල්ලෙනි.
"කමක් නෑ. ඔයා මහන්සි වුන තරම මම දැක්කා ගිමන්. මේක දිය වෙලා යනවා දකින්න මට ඕන වුනේ නෑ," ශෙනල්‍යා මිමිණුවේ ගිමන්ගේ දෑස් දෙස කෙලින්ම බලමිනි.
ඒ මොහොතේ ඔවුන් අතර තිබුණේ අඟල් කිහිපයක පරතරයක් පමණි. වැස්සේ ශබ්දය නිසා ඔවුන්ට කතා කිරීමට සිදු වූයේ එකිනෙකාට ළං වීය. ගිමන්ට ඇගේ හුස්මෙහි උණුසුම දැනෙන තරම් විය. ශෙනල්‍යාගේ දෑස්වල තිබුණේ ගිමන් මීට පෙර කිසිදා නොදැකපු ගැඹුරු බැල්මකි. එය හුදෙක් මිතෘත්වයක් ද, නැත්නම් අනුකම්පාවක් ද, එසේත් නැත්නම් ඊට එහා ගිය හැඟීමක් ද යන්න ගිමන්ට තේරුම් ගත නොහැකි විය.
"ඔයාගේ චිත්‍රයේ... අර කුරුල්ලා... මට ඒකට ආසයි," ශෙනල්‍යා රහසින් මෙන් කීවාය.
ගිමන්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඔහුට යමක් කියන්නට අවශ්‍ය විය. ඔහුගේ හිතේ වසර දෙකක් තිස්සේ හිරකරගෙන සිටි හැඟීම් එළියට පැනීමට දඟලමින් තිබිණි.
නමුත් ඒ මොහොත බිඳ වැටුණේ රයන්ගේ කටහඬිනි.
"ශෙනල්‍යා! ඔයා මොකද ඔතන කරන්නේ? එන්න මෙහාට! ඔයාට උණ ගැනෙයි!" රයන් අසල තිබූ කඩයක් යට සිට කෑගැසුවේය. ඔහු කුඩයක් රැගෙන ඔවුන් දෙසට එන්නට සැරසුණේය.
ශෙනල්‍යා ගැස්සී ගියාය. ඇය පියවි ලෝකයට පැමිණියාක් මෙන් මදක් පස්සට වූවාය.
"වැස්ස පායනවා වගේ. දැන් අවුලක් නෑ," ඇය ඉක්මනින් කීවාය.
වැස්ස සැබවින්ම තුරන් වෙමින් තිබිණි. රයන් එතැනට දිව එන විට ශෙනල්‍යා පොලිතින් එක අතහැර පස්සට වී සිටියාය. රයන් පැමිණි විගස කළේ ශෙනල්‍යාගේ අතින් ඇද ඇයව තමාගේ කුඩය යටට ගැනීමයි.
"ඔයාට පිස්සුද? මේ මනුස්සයාගේ චිත්‍රයක් බේරගන්න ගිහින් ඔයා ලෙඩ වෙන්නද හදන්නේ?" රයන් ගිමන් දෙස බැලුවේ කෝපයෙනි. "තමුසෙට තිබ්බනේ තනියම කරගන්න. ඇයි මේ කෙල්ලව මේකට ගාව ගත්තේ?"
ගිමන් කිසිවක් කීවේ නැත. ඔහුට රයන් සමඟ වාද කිරීමට අවශ්‍ය නොවීය. ඔහු බැලුවේ ශෙනල්‍යා දෙස ය. ඇය රයන්ගේ ග්‍රහණයට හසු වී සිටියත්, ඇගේ දෑස් රැඳී තිබුණේ ගිමන් වෙතය. ඇය යන්නට හැරෙන විට ඇය රහසින් මෙන් ගිමන්ට හීන් සිනහවක් පෑවාය.
"පරිස්සමෙන් ඉන්න," ඇය තොල් මතුරනු ගිමන්ට පෙනිණි.
රයන් ඇයව රැගෙන යන දෙස ගිමන් බලා සිටියේය. වැස්ස නිසා ඔහුගේ සිතුවම බේරුණි. නමුත් ඊටත් වඩා වටිනා යමක් අද සිදු වී ඇත. ඔවුන් දෙදෙනා අතර තිබූ පවුර බිඳ වැටී ඇත. ඒ පොලිතින් ආවරණය යට ගත කළ කෙටි කාලය තුළ ඔවුන් හුවමාරු කරගත් බැල්ම, ගිමන්ගේ ජීවිත කාලයටම ප්‍රමාණවත් ය.
නමුත් රයන්ගේ මුහුණේ තිබූ වෛරය ගිමන්ට අමතක කළ නොහැකි විය.
පසුදා විශ්වවිද්‍යාලය පුරාම කතා බහට ලක්වූයේ ඊයේ පැවති වීදි චිත්‍ර වැඩසටහනයි. විශේෂයෙන්ම ගිමන්ගේ "කවුළුවෙන් බලන දරුවා" සිතුවම බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබිණි. ෆේස්බුක් පිටුවල එම ඡායාරූපය වේගයෙන් හුවමාරු වෙමින් තිබුණේ ගිමන්ට නොසිතූ ජනප්‍රියත්වයක් ලබා දෙමිනි.
කැන්ටිමේ මේසයක් මත වාඩි වී සිටි රවිත් සහ හිමාෂ් සිටියේ ඉහේ මල් පිපිලා වගේය.
"අඩෝ... දැක්කද කමෙන්ට්ස් (Comments)? කෙල්ලෝ පිස්සු වැටිලා ඉන්නේ උඹේ ආර්ට් එකට," රවිත් ෆෝන් එක ගිමන්ට පෙන්වමින් කෑගැසුවේය.
නමුත් ගිමන්ගේ අවධානය තිබුණේ ෆෝන් එකේ නොව, කැන්ටිමේ ඈත කෙළවරේ සිටි ශෙනල්‍යා දෙසය. ඇය සුපුරුදු පරිදි මිතුරියන් පිරිසක් සමඟ සිටියත්, ඇය අද වෙනදාට වඩා නිහඬ බවක් පෙනිණි.
"හැබැයි වැඩේ කියන්නේ, අර රයන් කාරයා අද උදේ ඉඳන් කැම්පස් එකේ වටේටම කියාගෙන යනවා උඹ ඊයේ ශෙනල්‍යා ව අනතුරේ දැම්මා කියලා," හිමාෂ් කීවේ කනස්සල්ලෙනි. "ඌ කියන විදිහට උඹ හිතාමතාම ශෙනල්‍යා ව වැස්සට අල්ලලා තියෙන්නේ උඹේ චිත්‍රය බේරගන්න."
ගිමන්ගේ අත මිට මෙලවිනි. "ඌට ඕන දෙයක් කියන්න දීපන්."
"එහෙම කියලා බෑ බං. ඌ මේක යූස් (Use) කරන්නේ උඹව ශෙනල්‍යාගෙන් ඈත් කරන්න. උඹ දන්නවද රයන්ගේ තාත්තා කවුද කියලා?" හිමාෂ් හඬ බාල කළේය. "මිනිහා ලොකු බිස්නස්කාරයෙක්. මේ යුනිවසිටි (University) එකේ ගොඩක් ඉවෙන්ට්ස් ස්පොන්සර් (Sponsor) කරන්නේ එයා. රයන්ට තියෙන පවර් (Power) එක ගැන පොඩ්ඩක් කල්පනා කරපන්."
ගිමන්ට ඒ ගැන හිතුනේ දැන්ය. රයන් කියන්නේ නිකම්ම නිකන් ශිෂ්‍යයෙක් නොවේ. ඔහුට සල්ලි සහ බලය ඇත. ගිමන්ට ඇත්තේ පින්සලක් සහ අවංකකම පමණි. මේ සටන අසමතුලිත එකකි.
ඒ මොහොතේම ශෙනල්‍යා මේසයෙන් නැගිට්ටාය. ඇය කෙලින්ම ගිමන්ලා සිටි මේසය දෙසට එනු දුටු රවිත් සහ හිමාෂ් ගිමන්ට ඉඩ දී මදක් පස්සට වූහ.
"ගිමන්..." ඇය කතා කළේ බැරෑරුම් හඬකිනි. "මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?"
"ඔව්... කියන්න," ගිමන් නැගිට්ටේය.
"මෙතන බෑ. යමු එළියට," ඇය පෙරමුණ ගත්තාය.
කැන්ටිමෙන් පිටත කොරිඩෝවට ගිය පසු ඇය නතර වූවාය. ඇගේ මුහුණේ තිබුණේ අවිනිශ්චිත බවකි.
"ගිමන්, රයන් අද ඩීන් (Dean) එකට කම්ප්ලේන් (Complain) එකක් දැම්මා," ඇය කෙලින්ම කාරණයට බැස්සාය.
"මොකක්?" ගිමන් පුදුම විය. "මොකටද?"
"එයා කියන්නේ ඊයේ ඔයා වැඩ කළේ කිසිම සේෆ්ටි (Safety) එකක් ගැන හිතන්නේ නැතුව කියලා. අනික... එයා කියනවා ඔයා කැම්පස් එකේ නැති බාහිර කෙනෙක්ව අනවසරයෙන් වැඩට ගත්තා කියලා. ඔයාට උදව් කරපු එක්කෙනෙක් කැම්පස් එකේ නෙවෙයි නේද?"
ගිමන්ට මතක් විය. ඊයේ ඔහුට තීන්ත බාල්දියක් ගෙනත් දුන්නේ පාරේ ගිය කුඩා ළමයෙකි. ගිමන් ඔහුට එය වෙනුවෙන් ටොපියක් දුන්නේය. රයන් එය දැක ඇත.
"ඒක පොඩි දෙයක්නේ ශෙනල්‍යා..."
"රයන්ට ඕන ඒක ලොකු දෙයක් කරන්න ගිමන්. එයා උත්සාහ කරන්නේ ඔයාව ආර්ට් සොසයිටි එකෙන් බ්ලැක්ලිස්ට් (Blacklist) කරන්න. එහෙම වුනොත් ඔයාට ආයේ අපේ කිසිම ඉවෙන්ට් එකකට එන්න වෙන්නේ නෑ."
ශෙනල්‍යාගේ දෑස්වල කඳුළු පිරී තිබිණි. "මට සමාවෙන්න ගිමන්. මම නිසයි මේ ඔක්කොම. මම ඔයාට ඉන්වයිට් කළේ නැත්නම් මේ මුකුත් නෑ."
ගිමන්ට දැනුනේ රයන් ගැන දැඩි කෝපයකි. නමුත් ශෙනල්‍යාගේ කඳුළු දැකීම ඊට වඩා වේදනාකාරී විය.
"ශෙනල්‍යා, ඔයා කලබල වෙන්න එපා. මම ඕන දේකට මූණ දෙන්නම්. හැබැයි මට එක දෙයක් කියන්න," ගිමන් ඇගේ දෑස් දෙස බැලුවේය. "ඔයා විශ්වාස කරනවද මම වැරදියි කියලා?"
ශෙනල්‍යා හිස දෙපසට වැනුවාය. "නෑ... කවදාවත් නෑ. ඔයා තමයි එතන හිටපු අවංකම කෙනා."
"එහෙනම් මට එච්චරයි ඕන. රයන් මොනවා කළත් මට ප්‍රශ්නයක් නෑ. හැබැයි... මම මේ සටන ලේසියෙන් අතාරින්නේ නෑ," ගිමන්ගේ හඬේ තිබුණේ අලුත් ශක්තියකි.
මේ වන තෙක් ගිමන් සටන් කළේ තමාගේ බිය සමඟය. නමුත් දැන් ඔහුට සැබෑ සතුරෙකු මුණගැසී ඇත. ශෙනල්‍යා වෙනුවෙන්, සහ තමාගේ ආත්ම ගෞරවය වෙනුවෙන් මේ සටන ජයගත යුතුම බව ගිමන් තීරණය කළේය.
කලා සංගමයේ රැස්වීම් කාමරය තුළ තිබුණේ දැඩි නිහඬතාවකි. වායු සමීකරණ යන්ත්‍රයේ සිහින් හඬ හැරුණු විට කාමරයේ සිටි පස් දෙනාගෙන් කිසිවෙකුත් වචනයක් කතා කළේ නැත. මේසයේ ඉහළම කෙළවරේ වාඩි වී සිටියේ කලා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සේනාධීර මහතාය. ඔහු ඉදිරිපිට මේසය මත තිබුණේ රයන් විසින් ඉදිරිපත් කළ පැමිණිලි ලිපියයි.
ගිමන් කාමරයට ඇතුළු වන විට රයන් ජයග්‍රාහී සිනහවකින් ඔහු දෙස බලා සිටියේය. ශෙනල්‍යා සිටියේ පසෙකට වන්නටය. ඇය බිම බලාගෙන සිටියේ තමාටම දොස් පවරා ගන්නාක් මෙනි.
"වාඩි වෙන්න ගිමන්," ආචාර්ය සේනාධීර උපැස් යුවලට උඩින් බලමින් පැවසීය.
ගිමන් අසුන් ගත්තේය. ඔහුගේ දෑත්වල සියුම් වෙව්ලීමක් තිබුණත්, ඔහු එය සඟවා ගැනීමට උත්සාහ කළේය.
"ගිමන්, මේ පැමිණිල්ලට අනුව ඔයා වීදි චිත්‍ර ව්‍යාපෘතිය අතරතුර බාහිර පුද්ගලයින් අනවසරයෙන් සහභාගී කරවාගෙන තියෙනවා. ඒ වගේම ආරක්ෂක විධිවිධාන ගැන නොසලකා හැරලා තියෙනවා. මේ ගැන මොකද කියන්න තියෙන්නේ?" ආචාර්යවරයා ප්‍රශ්න කළේය.
රයන් වහාම මැදිහත් විය. "සර්, අපි හැමෝම දැක්කා එයා පාරේ හිටපු ළමයෙක්ව ලවා තීන්ත බාල්දි උස්සනවා. කැම්පස් එකේ ඉවෙන්ට් එකක් කොලිටි (Quality) එක තියෙන්න ඕන. නිකන් පාරේ හිඟන්නෝ වගේ වැඩ කරලා බෑ."
රයන්ගේ "හිඟන්නෝ" යන වචනය ගිමන්ගේ ඉවසීමේ සීමාව පන්නා දැමීය. ඔහු සෙමෙන් නැගී සිටියේය.
"සර්, මට අවසරද?" ගිමන්ගේ හඬේ තිබුණේ මෙතෙක් කවුරුත් නොදුටු ගැඹුරු බවකි.
ආචාර්යවරයා හිස වැනුවේය.
"රයන් කියන දේ ඇත්ත. මම ඒ දරුවා ලවා තීන්ත බාල්දියක් ගෙන්වා ගත්තා. හැබැයි මම ඒ ළමයට බල කළේ නෑ. එයා ආසාවෙන් ආවේ උදව් කරන්න," ගිමන් රයන් දෙස නොව ආචාර්යවරයා දෙස බැලුවේය. "අපි මේ ප්‍රොජෙක්ට් එකට කිව්වේ 'වීදි චිත්‍ර' කියලා. කලාව කියන්නේ වීදුරු කාමර අස්සේ හිරවෙලා ඉන්න ටයි කෝට් දාපු මිනිස්සුන්ට විතරක් අයිති දෙයක් නෙවෙයි. ඒක පාරේ යන හිඟන්නටත්, කඩේ මුදලාලිටත්, පොඩි ළමයටත් අයිති දෙයක්. මම මගේ චිත්‍රයෙන් කළේ ඒ මිනිස්සුන්ව සම්බන්ධ කරගත්ත එක විතරයි. එහෙම නැතුව මම රයන් වගේ කැමරාව ඉස්සරහට දාගෙන ෂෝ (Show) එකක් දැම්මේ නෑ."
කාමරයම නිහඬ විය. ශෙනල්‍යා හිස ඔසවා ගිමන් දෙස බැලුවේ විස්මයෙනි. මේ අර ලැජ්ජාශීලී, වචනයක් කතා කරගන්න බැරි ගිමන්මද?
රයන් කේන්තියෙන් පුපුරමින් නැගී සිටියේය. "සර්, මේ මනුස්සයා මට ඉන්සල්ට් (Insult) කරනවා! මේ වගේ විනයක් නැති අයව සොසයිටි එකේ තියාගන්න බෑ."
ආචාර්ය සේනාධීර අත ඔසවා රයන්ව නිහඬ කළේය. ඔහු මොහොතක් කල්පනා කරමින් ගිමන් දෙස බලා සිටියේය.
"ගිමන් කියන කතාවේ ඇත්තක් තියෙනවා රයන්," ආචාර්යවරයාගේ හඬ සන්සුන්ය. "වීදි කලාවේ මූලික අරමුණම ප්‍රජාව සම්බන්ධ කරගැනීමයි. පොඩි දරුවෙක් තීන්ත බාල්දියක් දීම බරපතල වරදක් විදිහට මම දකින්නේ නෑ. අනික..." ඔහු රයන් දෙසට හැරුණේය. "...මම දැක්කා ගිමන්ගේ චිත්‍රය ගැන සෝෂල් මීඩියා (Social Media) වල තියෙන ප්‍රතිචාර. කැම්පස් එකේ නම ගොඩක් දුරට ගිහින් තියෙන්නේ ඒ චිත්‍රය නිසා."
රයන්ගේ මුහුණේ රත් පැහැය වැඩි විය. තමාගේම ආයුධය තමාට එරෙහිව ක්‍රියාත්මක වී ඇත.
"ඒ වුනාට සර්..."
"ඇති රයන්. මේ පැමිණිල්ල මම ප්‍රතික්ෂේප කරනවා," ආචාර්යවරයා තීරණය දුන්නේය. "හැබැයි ගිමන්, මීට පස්සේ බාහිර අය සම්බන්ධ කරගන්නවා නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න ඕන. තේරුණාද?"
"ඔව් සර්," ගිමන් පැවසුවේය.
රැස්වීම අවසන් විය. රයන් කාමරයෙන් පිටව ගියේ දොරට ද පයින් පහරක් ගසමිනි. ශෙනල්‍යා ගිමන් අසලට දිව ආවාය.
"ගිමන්... ඔයා මාරයි," ඇය හීන් හඬින් කීවාය. "මම හිතුවේ නෑ ඔයා ඔහොම කතා කරයි කියලා."
"මටත් හිතුනේ නෑ," ගිමන් සිනාසුණේය. "හැබැයි මට හිතුනා තවත් පාඩුවේ හිටියොත් මගේ කලාවට බොරු කරනවා වගේ කියලා."
දින කිහිපයකට පසු විශ්වවිද්‍යාලයේ දැන්වීම් පුවරුවේ අලුත් පෝස්ටරයක් ඇලවිණි.
"වර්ණ 2025 - වාර්ෂික කලා තරඟාවලිය"
මෙවර තේමාව වී තිබුණේ "සැඟවුණු ආත්මය" (The Hidden Soul) යන්නයි. මෙය විශ්වවිද්‍යාලයේ කලා අංශයේ තිබෙන විශාලතම තරඟයයි. ජයග්‍රාහකයාට සම්මානයක් පමණක් නොව, ප්‍රංශයේ පැවැත්වෙන ජාත්‍යන්තර කලා උළෙලක් නියෝජනය කිරීමට ශිෂ්‍යත්වයක් ද හිමි වේ.
ගිමන් පෝස්ටරය දෙස බලා සිටින විට රයන් ඔහු පිටුපසින් පැමිණියේය.
"බලාගෙන ඉඳලා වැඩක් නෑ. ඔය ෂොලර්ශිප් (Scholarship) එක මගේ," රයන්ගේ හඬේ තිබුණේ සීතල අභියෝගයකි. "උඹ හිතුවද එදා සර් ඉස්සරහ පොර ටෝක් දුන්න පළියට උඹට හැමදේම දිනන්න පුළුවන් කියලා? කලාව කියන්නේ වචන නෙවෙයි, ටැලන්ට් (Talent) එක."
ගිමන් ආපසු හැරී රයන් දෙස බැලුවේය. වෙනදා මෙන් බියක් ඔහුට දැන් නැත.
"හරි. අපි තරඟ කරමු," ගිමන් සෘජුවම අභියෝගය භාර ගත්තේය.
"හොඳයි. හැබැයි මතක තියාගන්න, මේක වීදි චිත්‍රයක් නෙවෙයි. මේක කැන්වස් පේන්ටින් (Canvas Painting) එකක්. උඹට හොඳ බඩු ගන්නවත් සල්ලි නැතුව ඇතිනේ. ඕන නම් කියපන් මම මගේ පරණ පින්සල් ටිකක් දෙන්නම්," රයන් සමච්චල් කළේය.
"මට අනුන්ගේ පරණ බඩු එපා. මම මගේ විදිහට කරන්නම්," ගිමන් පිළිතුරු දුන්නේය.
රයන් යන්නට ගියේ නක්කල් සිනහවක් පාමිනි.
ගිමන් නැවත පෝස්ටරය දෙස බැලුවේය. "සැඟවුණු ආත්මය". මෙය ඔහුටම ගැලපෙන මාතෘකාවකි. වසර ගණනාවක් තිස්සේ ඔහු තම ආත්මය සඟවාගෙන සිටියේය. දැන් එය එළියට ගැනීමට කාලයයි.
නමුත් ප්‍රශ්නයක් තිබිණි. රයන් කීවාක් මෙන්, මේ තරඟයට අවශ්‍ය උසස් තත්ත්වයේ කැන්වස් සහ තෙල් සායම් මිලදී ගැනීමට ගිමන්ට මුදල් තිබුණේ නැත. ඔහු ළඟ තිබුණේ ඉවර වෙන්නට ආසන්න ටියුබ් කිහිපයක් සහ පරණ කැන්වස් රෙදි පමණි.
සවස ගිමන් පුස්තකාලය අසල බංකුවක වාඩි වී කල්පනා කරමින් සිටින විට ශෙනල්‍යා පැමිණ ඔහු අසලින් වාඩි වූවාය.
"මම දැක්කා රයන් ඔයත් එක්ක කතා කරනවා. එයා තරඟෙ ගැන නේද කිව්වේ?"
"ඔව්. එයා හිතන් ඉන්නේ එයා දිනයි කියලා," ගිමන් කීවේය.
"එයාට හොඳ රිසෝසස් (Resources) තියෙනවා ගිමන්. එයා ගිය පාරත් දිනුවා. එයා පිටරටින් ගෙන්නන පේන්ට්ස් (Paints) පාවිච්චි කරන්නේ," ශෙනල්‍යා කීවේ කනස්සල්ලෙනි.
"පින්සල කොච්චර ගණන් වුනත් වැඩක් නෑ ශෙනල්‍යා, අඳින මනුස්සයාගේ අතේ හයිය නැත්නම්," ගිමන් ශෙනල්‍යා දෙස බලා සිනාසුණේය. "මම මේ තරඟෙට ඉදිරිපත් වෙනවා. හැබැයි මට පොඩි උදව්වක් ඕන."
"මොකක්ද?"
"මට ඕන මගේ 'සැඟවුණු ආත්මය' අඳින්න. මට ඕන මොඩ්ල් (Model) කෙනෙක්."
ශෙනල්‍යාගේ දෑස් කුතුහලයෙන් පිරුණි. "කවුද?"
ගිමන් මොහොතක් නිහඬව සිට ඇගේ දෑස් දෙස ගැඹුරින් බැලුවේය.
"ඔයා."
ශෙනල්‍යා ගැස්සී ගියාය. ඇගේ මුහුණ රතු විය. "මම? ඒත් ගිමන්... මම කවදාවත් මොඩ්ල් කරලා නෑ."
"ඔයාට මොඩ්ල් කරන්න දෙයක් නෑ. ඔයා ඔයා විදිහට ඉන්න. මම දන්නවා ඔයාගේ හිනාව පිටිපස්සේ හැංගිලා ඉන්න දුකක් තියෙනවා කියලා. මට ඕන ඒක අඳින්න," ගිමන්ගේ හඬ මෘදු වුවත් එහි තිබුණේ බලවත් ඉල්ලීමකි.
ශෙනල්‍යා බිම බලා ගත්තාය. ඇය ටික වෙලාවක් කල්පනා කළාය. රයන් දැනගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙයි. නමුත් ගිමන්ගේ ඉල්ලීම අහක දමන්නට ඇයට සිත් දුන්නේ නැත.
"හරි..." ඇය අවසානයේ මිමිණුවාය. "හැබැයි කාටවත් දැනගන්න තියන්න බෑ. අපි කොහොමද මේක කරන්නේ?"
"මගේ බෝඩිමේ පොඩි ස්ටුඩියෝ එකක් තියෙනවා. එතන කවුරුත් නෑ. ඔයාට පුළුවන්ද සෙනසුරාදා හවසට එන්න?"
එය භයානක යෝජනාවකි. තරුණියක් තනිවම තරුණයෙකුගේ කාමරයට යාම අවදානම් සහගතය. නමුත් ශෙනල්‍යා ගිමන්ව විශ්වාස කළාය.
"හරි. මම එන්නම්," ඇය පොරොන්දු වූවාය.
මේ තීරණය ඔවුන් දෙදෙනාගේම ජීවිත උඩු යටිකුරු කරන බව ඔවුන් දැන සිටියේ නැත. රයන්ගේ ඇස් හැමතැනම තිබිණි. ගිමන් සහ ශෙනල්‍යාගේ මේ රහසිගත හමුවීම රයන්ට ආරංචි වුවහොත්, එය කලා තරඟයටත් වඩා විශාල යුද්ධයකට මග පාදනු ඇත.
මැද තිබූ ඊසල් (Easel) එක මත පිරිසිදු, සුදු කැන්වස් රෙද්දක් රඳවා තැබුවේය.
ඒ හිස් සුදු අවකාශය දෙස බලා සිටින විට ගිමන්ගේ හිතට අමුතුම බරක් දැනුණි. මේ කැන්වසය මත සටහන් වීමට යන්නේ හුදෙක් රූපයක් පමණක් නොවේ. ඒ ශෙනල්‍යාගේ විශ්වාසයයි. ඇය රයන් වැනි බලවත් සතුරෙකුගේ ඇස් වසා, තමාගේ කීර්ති නාමය පවා පරදුවට තබා මේ අඳුරු කාමරයට එන්නේ ගිමන් කෙරෙහි ඇති අසීමිත විශ්වාසය නිසාය.
"මට වරදින්න බෑ... මේක මගේ ජීවිතේ අඳින හොඳම චිත්‍රය වෙන්න ඕන," ගිමන් තමාටම කියා ගත්තේය.
ඔහුගේ සාක්කුවේ ඉතිරිව තිබුණේ රුපියල් දහසක් වැනි මුදලකි. හොඳ තෙල් සායම් කට්ටලයක් ගැනීමට එය ප්‍රමාණවත් නැත. නමුත් ගිමන් ළඟ ඊට වඩා වටිනා යමක් තිබිණි. ඒ, ශෙනල්‍යාගේ ආත්මය දකින ඇස් දෙකයි.
ජනේලයෙන් එහා අහසේ හඳ එළිය වලාකුළු අතරින් යන්තම් එබී බලමින් තිබිණි. රයන්ගේ අභියෝගයත්, තරඟයේ පීඩනයත්, සමාජයෙන් එල්ල විය හැකි ගල් මුල් ප්‍රහාරත් යන සියල්ල ඒ මොහොතේ ගිමන්ගේ හිසට වද දුන්නේය. නමුත් ඔහු ඒ හිස් කැන්වසය මත අත තැබූ විට ඔහුට දැනුනේ ශෙනල්‍යාගේ උණුසුම පමණි.
සෙනසුරාදා හවස... එක්කෝ ඔවුන් ඉතිහාසය අලුතින් ලියනු ඇත. නැතහොත් සියල්ල විනාශ වී යනු ඇත. කුමක් සිදුවුවත්, පින්සල අතට ගත් පසු ආපසු හැරීමක් නැත.
අදහස් (0)
තවම අදහස් නැත. පළමුවැන්නා වන්න!