නුඹ මගේම සිතුවමක් - Chapter 10
by Uma
මාස කිහිපයකට පසු...
කොළඹ කලා විශ්වවිද්‍යාලයේ දේශනය අවසන් කර ගිමන් තම මෝටර් රථයට නැගුනේ දැඩි විඩාවෙනි. දැන් ඔහු දවස පුරා කාර්යබහුලය. ශිෂ්‍යයින්ගේ ප්‍රශ්න, ප්‍රදර්ශන කටයුතු සහ අමන්දාගේ පාසල් වැඩ සමඟ ගිමන්ට හුස්ම ගන්නට වෙලාවක් නැති තරම්ය.
ඔහු මෝටර් රථය පදවාගෙන බොරැල්ල කනත්ත පාරේ ට්‍රැෆික් (Traffic) එකේ සිරවී සිටියේය. වැස්ස මදක් පායලා තිබුණත් පාරේ මඩ වතුර පිරී තිබිණි.
වාහනය නතර කරගෙන සිටින අතරතුර, ගිමන්ගේ දෑස් යොමු වූයේ පාර අයිනේ තිබූ කුඩා "කාර් වොෂ්" (Car Wash) එකක් දෙසටය. එහි සිටි කම්කරුවන් කිහිප දෙනෙක් ඉතා අමාරුවෙන් වාහන හෝදමින් සිටියහ.
එක් මිනිසෙක් ගිමන්ගේ නෙත ගැටුණි. ඔහු ඇඳ සිටියේ ඉරී ගිය කමිසයකි. රැවුල වවා, කොණ්ඩය අවුල් වී, වැරහැලි බවට පත් වී සිටි නමුත්... ඒ ඇස්... ඒ ඉරියව්... ගිමන්ට හුරුපුරුදුය.
ට්‍රැෆික් එක හරි ගියත් ගිමන් වාහනය ඉස්සරහට ගත්තේ නැත. පිටුපසින් හෝන් හඬ ඇසුණත් ඔහු බලා සිටියේ අර මිනිසා දෙසය.
ඒ මිනිසා වෙන කවුරුත් නොවේ... රයන් ය.
එදා ලක්ෂ අසූවක් වියදම් කර චිත්‍ර ගත්, කෝටි ගණන් වටිනා වාහන පැදවූ රයන් සමරවික්‍රම, අද රුපියල් පන්සීයේ පඩියට අනුන්ගේ වාහනවල මඩ හෝදමින් සිටී.
ගිමන්ගේ හිතේ ඇති වූයේ කම්පනයකි. වෛරය මැකී ගොස් අනුකම්පාවක් ඉතිරි වී තිබිණි.
ගිමන් එදා ගෙදර ගියේ කල්පනා කරමිනි. ශෙනල්‍යා රාත්‍රී කෑම මේසය සූදානම් කරමින් සිටියාය. අමන්දා සාලයේ චිත්‍රයක් අඳිමින් සිටියාය.
"ගිමන්, මොකද අද මූණ අඳුරු වෙලා?" ශෙනල්‍යා ඇසුවාය.
"මම අද රයන්ව දැක්කා," ගිමන් හෙමින් කීවේය.
ශෙනල්‍යාගේ අතේ තිබූ පිඟාන ගැස්සී ගියේය. "මොකක්? එයා ආයේ කරදර කරන්න ආවද?"
"නෑ ශෙනල්‍යා. එයා කාර් වොෂ් එකක වැඩ කරනවා. එයා හිඟන්නෙක් වෙලා. එයා මාව දැක්කේ නෑ. ඒත් මම දැක්කා එයාගේ ඇස්වල තිබුණු පරාජය."
"ඉතින්? ඒක එයාට ලැබෙන්න ඕන දඬුවම. එයා කරපු දේවල්වලට ඔහොම වෙලා මදි," ශෙනල්‍යාගේ හිතේ තවමත් රයන් ගැන ඇත්තේ කේන්තියකි.
"ඔව්. ඒත්... එයා නැත්නම් අද අපි මෙතන නෑ ශෙනල්‍යා. එයාගේ අභියෝගය නිසා තමයි මම නැගිට්ටේ. එයා නැත්නම් මම තාම අර පරණ බෝඩිමේ."
"ඔයා මොකක්ද කරන්න හදන්නේ?"
"මට ඕන එයාට උදව් කරන්න."
"පිස්සුද ගිමන්? නාගයෙක්ට කිරි පොවන්නද හදන්නේ?"
"නෑ. මට ඕන නෑ මගේ හිතේ වෛරයක් තියාගෙන මැරෙන්න. මට ඕන මේ කතාවේ අන්තිම පරිච්ඡේදය ලස්සනට ඉවර කරන්න. එයාට මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න පාරක් පෙන්නන්න මට ඕන. ඊට පස්සේ එයා ඒ පාරේ යනවද නැද්ද කියන එක එයාගේ වැඩක්."
ශෙනල්‍යා මොහොතක් ගිමන් දෙස බලා සිටියාය. මේ ඉන්නේ එදා පැරිසියේදී පළිගැනීම වෙනුවෙන් යක්ෂයෙක් වුණු ගිමන් නොවේ. මේ ඉන්නේ පරිණත, ශාන්ත මනුෂ්‍යයෙකි.
"ඔයාගේ කැමැත්තක් ගිමන්. හැබැයි අමන්දා ළඟට එයාව ගන්න එපා," ඇය අවසර දුන්නාය.
පසුදා ගිමන් සිය මෝටර් රථය අර කාර් වොෂ් එකට දැමුවේය.
රයන් වතුර හෝස් එක අතේ තියාගෙන වාහනය ළඟට ආවේය. ඔහු ගිමන්ව හඳුනා ගත්තේ නැත. ඔහු හිතුවේ මේ තවත් ධනවත් ගනුදෙනුකරුවෙක් කියාය.
"සර්, ෆුල් සර්විස්ද?" රයන් බිම බලාගෙන ඇසුවේය.
"ඔව්. හොඳට හෝදන්න," ගිමන් කීවේය.
රයන් වැඩ පටන් ගත්තේය. ගිමන් වාහනයෙන් බැස ඔහු දෙස බලා සිටියේය. රයන්ගේ අත්වල කරගැට පිරී තිබිණි.
විනාඩි විස්සකට පසු රයන් වාහනය පිස දමා අවසන් කළේය.
"ඉවරයි සර්."
ගිමන් රුපියල් දහසක් දිගු කළේය. රයන් එය ගන්නට අත දිගු කළ විට ගිමන් ඔහුගේ අත අල්ලා ගත්තේය.
රයන් ගැස්සී හිස ඔසවා බැලුවේය.
ඒ මොහොතේ... අවුරුදු ගණනකට පසු ඔවුන්ගේ දෑස් හමු විය.
රයන්ගේ දෑස් විශාල විය. ඔහුගේ අතේ තිබූ රෙදි කැබැල්ල බිම වැටුණි. ඔහුට පැන යන්නට සිතුණි. ලැජ්ජාව ඔහුගේ මුහුණ රතු කළේය.
"ගි... ගිමන්..." රයන් ගොත ගැසුවේය.
"වාහනේ හෝදලා විතරක් මදි රයන්. ජීවිතේ මඩ හෝදගන්නත් ඉගෙන ගන්න ඕන," ගිමන් සන්සුන්ව කීවේය.
"මට සමාවෙන්න... මම දන්නවා මම කරපු දේවල්... මට යන්න දෙන්න," රයන් අත මුදාගන්නට හැදුවේය.
"උඹට යන්න තැනක් තියෙනවද?"
රයන් නිහඬ විය. ඔහුට යන්න තැනක් නැත. තාත්තා හිරේදී මිය ගියේය. නෑදෑයෝ අහක බැලූහ. යාළුවෝ දමා ගියහ.
"හෙට උදේ 8ට මගේ ගැලරි එකට වරෙන්. මට එතන බඩු අස් කරන්න, කැන්වස් සුද්ද කරන්න කෙනෙක් ඕන. පඩිය දවසට 2000යි. කෑම මම දෙනවා. කැමති නම් වරෙන්. නැත්නම් දිගටම වාහන හෝදපන්," ගිමන් තම විසිටිං කාඩ් (Visiting Card) එක රයන්ගේ සාක්කුවට දැමුවේය.
ගිමන් වාහනයට නැග යන්නට ගියේය. රයන් පාර මැද තනි වී, ඒ කාඩ් එක දෙස බලා සිටියේය. දෛවය සරදම් කර ඇත. එදා රයන් ගිමන්ට රස්සාවක් දෙන්නට හැදුවේ අපහාස කිරීමටය. අද ගිමන් රයන්ට රස්සාවක් දෙන්නේ ජීවත් කරවීමටය.
පසුදා උදෑසන 8 වන විට රයන් ගැලරිය ඉදිරිපිට සිටගෙන සිටියේය. ඔහු සිටියේ පිරිසිදු ඇඳුමක් ඇඳගෙන, රැවුල කපාගෙනය. නමුත් ඔහුට ඇතුළට යාමට බියක් තිබිණි.
ගිමන් දොර ඇරියේය. "වරෙන් ඇතුළට."
රයන් හිස බිම ඔබාගෙන ඇතුළට ගියේය. ගැලරියේ එල්ලා තිබූ ගිමන්ගේ සිතුවම් දෙස බලන විට රයන්ට ලැජ්ජාවක් දැනිණි. එදා 'Weeping Angel' සිතුවමට ඔහු කළ අපහාසය ඔහුට මතක් විය.
"මේ ස්ටෝ රූම් (Store Room) එකේ තියෙන පරණ ෆ්‍රේම්ස් (Frames) ටික අස් කරන්න ඕන. ඊට පස්සේ බිම මොප් (Mop) කරන්න," ගිමන් අණ කළේය.
රයන් වචනයක්වත් නොකියා වැඩ පටන් ගත්තේය.
සතියක් ගත විය. රයන් කිසිදු මැසිවිල්ලක් නැතුව, ඉතාම කැපවීමෙන් වැඩ කළේය. ඔහු ගිමන් දෙස කෙලින් බැලුවේ නැත. ඔහුට ඕන වුණේ වේලක් කා ජීවත් වීමට පමණය.
දිනක් අමන්දා (ගිමන්ගේ දියණිය) ගැලරියට දිව ආවාය.
"තාත්තේ! මගේ පින්සල කැඩිලා!" ඇය අඬමින් කීවාය.
ගිමන් ඒ වෙලාවේ අමුත්තෙක් සමඟ කතා කරමින් සිටියේය.
රයන් එතන අතු ගාමින් සිටියේය. ඔහු අමන්දා දෙස බැලුවේය. මේ ශෙනල්‍යාගේ දුව ය. ඇය හරියටම ශෙනල්‍යා වගේමය.
රයන් හෙමින් අමන්දා ළඟට ගියේය. "බබා... අඬන්න එපා. මාමා මේක හදලා දෙන්නම්."
ඔහු සාක්කුවෙන් කුඩා ටේප් කෑල්ලක් ගෙන කැඩුණු පින්සල ඉතා ලස්සනට අලවා දුන්නේය.
"මෙන්න. දැන් අඳින්න පුළුවන්," රයන් සිනාසුණේය. වසර ගණනාවකට පසු ඔහුගේ මුහුණේ අවංක සිනහවක් මැවුණි.
අමන්දා සිනාසී "තැන්ක් යූ අංකල්" කියා දිව ගියාය.
ගිමන් මේ දෙස බලා සිටියේය. රයන් තුළ තවමත් මනුෂ්‍යත්වය ඉතිරිව ඇත.
මාසයකට පසු...
ගිමන් රයන්ව තමාගේ පුද්ගලික චිත්‍රාගාරයට කැඳවූයේය. එහි හිස් කැන්වසයක් තිබිණි.
"රයන්, උඹට මතකද ඉස්සර අපි පොඩි කාලේ එකට චිත්‍ර ඇන්දා?" ගිමන් ඇසුවේය.
"ඔව්... ඒත් මට කවදාවත් උඹ වගේ අඳින්න බැරි වුණා. තාත්තා මට බල කළේ බිස්නස් කරන්න. මගේ අතේ තිබුණ කලාව මැරුණා," රයන් දුකෙන් කීවේය.
"කලාව මැරෙන්නේ නෑ රයන්. ඒක හැංගිලා තියෙනවා විතරයි. අද මට ඕන උඹ චිත්‍රයක් අඳින්න."
"මොකක්? මට බෑ ගිමන්. මම දැන් ක්ලීනර් කෙනෙක්."
"නෑ. අද උඹ ආර්ටිස්ට් කෙනෙක්. මම උඹට උගන්නන්නම්. උඹේ හිතේ තියෙන දුක, පසුතැවීම මේ කැන්වස් එකට ගනින්."
ගිමන් බලෙන්ම රයන්ගේ අතට පින්සල දුන්නේය. රයන් වෙව්ලන අතින් පින්සල ගත්තේය. ඔහු කැන්වසය මත පාට තැවරුවේය. මුලදී එය අපිළිවෙල විය. නමුත් ගිමන් ළඟ සිට ඔහුට මග පෙන්නුවේය.
පැය ගණනක් ගත විය. රයන් ඇඬුවේය. ඔහු අඳිමින් ඇඬුවේය. ඔහුගේ කඳුළු කැන්වසයට වැටුණි. අවසානයේ එහි මැවුනේ අඳුරු ගුහාවක සිට එළියට අත දිගු කරන මිනිසෙකුගේ රූපයකි.
"මේක ලස්සනයි රයන්," ගිමන් කීවේය. "මේක තමයි උඹේ ඇත්තම ස්වභාවය. උඹ දැන් නිදහස්."
එදා රයන් ගැලරියෙන් පිටව ගියේ අලුත් මිනිසෙකු ලෙසය. ඔහුට තවදුරටත් ගිමන් ගැන ඊර්ෂ්‍යාවක් නැත. ඔහුට ඇත්තේ ගෞරවයකි.
මාස හයක් ගත විය.
රයන් දැන් ගිමන්ගේ ගැලරියේ සාමාන්‍ය සේවකයෙක් නොවේ. ඔහු එහි කළමනාකරු (Manager) ලෙස වැඩ භාරගෙන තිබිණි. රයන්ට කලින් තිබූ ව්‍යාපාරික දැනුම (Business Knowledge) සහ ඉංග්‍රීසි භාෂා හැකියාව ගැලරියේ දියුණුවට විශාල රුකුලක් විය. නමුත් මෙවර ඔහු එම දැනුම පාවිච්චි කළේ වංචාවට හෝ අහංකාරකමට නොව, අවංකවම ආයතනය ගොඩනැගීමටය.
එක් දිනක් විදේශීය ගැනුම්කරුවෙකු සමඟ පැවති දුෂ්කර ගනුදෙනුවක් රයන් ඉතා දක්ෂ ලෙස විසඳුවේය.
"මිස්ටර් රයන්, ඔයාගේ මැනේජ්මන්ට් එක නිසා අපිට ලොකු ඩිස්කවුන්ට් එකක් ලැබුණා. ගිමන් වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් හිටපු එකට," ගැනුම්කරු පැවසීය.
ගිමන් එතැනට පැමිණියේ ඒ මොහොතේය.
"ඔව්... මම ඇත්තටම වාසනාවන්තයි," ගිමන් රයන්ගේ කරට අතක් දැමුවේය. "රයන් කියන්නේ මගේ මැනේජර් විතරක් නෙවෙයි, මගේ සහෝදරයා."
රයන්ගේ ඇස් දිලිසුණේය. ඔහුට ජීවිතයේ පළමු වතාවට තමා ගැන ආඩම්බරයක් දැනිණි. තාත්තාගේ සල්ලිවලින් ලැබුණු බොරු ගෞරවයට වඩා, තමාගේ මහන්සියෙන් ගොඩනගා ගත් මේ කුඩා නම ඔහුට වටිනා බව ඔහුට වැටහිණි.
දින දෙකකට පසු
සවස ගැලරිය වසන්නට ඔන්න මෙන්න තිබියදී තරුණියක් දුවගෙන ආවාය. ඇය සරල ගවුමකින් සැරසී සිටි අතර, අතේ වයලීනයක් (Violin) අසුරන ලද පෙට්ටියක් තිබිණි. ඇය හති දමමින් සිටියාය.
"අනේ සොරි... ගැලරිය වහලද? මට පොඩ්ඩක් ඇතුළට යන්න පුළුවන්ද?" ඇය ඇසුවාය.
රයන් දොර ළඟ සිටියේය. "මිස්, අපි දැන් වහන්න හැදුවේ. හෙට උදේ එන්න පුළුවන්ද?"
"අනේ ප්ලීස්... මම නෙතුමිණී. මම මියුසික් ටීචර් කෙනෙක්. මට ඕන ගිමන් අකලංකගේ 'නිහඬ සංධ්වනිය' (Silent Symphony) කියන චිත්‍රය බලන්න. මගේ හෙට තියෙන කොන්සර්ට් එකට මට ඒකෙන් පොඩි ඉන්ස්පිරේෂන් (Inspiration) එකක් ගන්න ඕන වුණා."
ඇගේ බැල්ම අහිංසක සහ උනන්දු සහගත විය. රයන්ට ඇයව හරවා යවන්නට සිතුනේ නැත.
"හරි... විනාඩි දහයක් දෙන්නම්," රයන් සිනාසෙමින් දොර ඇරියේය.
නෙතුමිණී ඇතුළට ගොස් අදාළ චිත්‍රය ඉදිරිපිට නතර වූවාය. ඇය ඒ දෙස බලා සිටියේ වශී වූවාක් මෙනි. රයන් පැත්තකට වී ඇය දෙස බලා සිටියේය. ඇය ධනවත් පවුලක කුමාරිකාවක් නොවේ. ඇය කලාවට ආදරය කරන සාමාන්‍ය, එහෙත් හරිම ප්‍රියමනාප තරුණියකි.
"මේක හරිම ලස්සනයි..." ඇය තමාටම කියා ගත්තාය. "මේ පාටවල තියෙන රිද්මය මට ඇහෙනවා වගේ."
"ඔව්... ගිමන් කියන්නේ පාටවලින් සින්දු කියන කෙනෙක්," රයන් ඇය අසලට ගියේය.
නෙතුමිණී හැරී බැලුවාය. "ඔයා ගොඩක් දේවල් දන්නවා වගේ ආර්ට් ගැන. ඔයත් ආර්ටිස්ට් කෙනෙක්ද?"
"මම... මම උත්සාහ කරනවා," රයන් නිහතමානීව කීවේය. "මම මෙතන මැනේජර්."
"මම නෙතුමිණී," ඇය අත දිගු කළාය.
"මම රයන්," ඔහු අතට අත දුන්නේය. ඇගේ අතේ තිබුණේ වයලීනය වාදනය කර දැඩි වූ ඇඟිලි තුඩු වල ස්පර්ශයයි. රයන්ට දැනුනේ අමුතුම උණුසුමකි.
සති කිහිපයකට පසු..
රයන් සහ නෙතුමිණී අතර හොඳ මිතුදමක් ගොඩනැගී තිබිණි. නෙතුමිණී නිතර ගැලරියට ආවාය. රයන් ද ඇගේ සංගීත ප්‍රසංග (Concerts) බලන්නට ගියේය.
දිනක් ඔවුන් දෙදෙනා ගාලු මුවදොර පිටියේ බංකුවක වාඩි වී තැඹිලි බොමින් සිටියහ.
"රයන්, ඔයා හරි වෙනස්," නෙතුමිණී කීවාය. "ඔයා හරිම නිහඬයි. ඒත් ඔයාගේ ඇස්වල ලොකු කතාවක් තියෙනවා වගේ මට දැනෙනවා. ඔයා මට කවදාවත් ඔයාගේ පවුලේ අය ගැන කියලා නෑ."
රයන්ගේ හිත ගැස්සුණේය. ඔහු බිය විය. තමා බංකොලොත් වූ, තාත්තා හිරේ ගිය, සමාජයෙන් කොන් වූ කෙනෙක් බව දැනගත්තොත් නෙතුමිණී දාලා යාවිද?
නමුත් ගිමන් උගන්වා තිබුණේ "සත්‍යය ජය ගනී" කියාය.
"නෙතුමිණී..." රයන් ගැඹුරු හුස්මක් ගත්තේය. "මම හොඳ පවුලක කෙනෙක් නෙවෙයි. මගේ තාත්තා හිරේ ගිහින් මැරුණේ. මම කාලයක් නරක විදිහට ජීවත් වුණා. මම මිනිස්සුන්ට රිද්දුවා. මම බංකොලොත් වුණා. අද මම මෙතන ඉන්නේ ගිමන් මට දෙවැනි අවස්ථාවක් දුන්න නිසා."
ඔහු බිම බලාගෙන සියල්ල කීවේය. නෙතුමිණී නිහඬව අසා සිටියාය. රයන් හිතුවේ ඇය නැගිට යන්නට යයි කියාය.
නමුත් ඇය කළේ ඔහුගේ අත තදින් අල්ලා ගැනීමයි.
"රයන්, මම කැමති ඔයාගේ අතීතයට නෙවෙයි. මම කැමති දැන් මගේ ළඟ ඉන්න මනුස්සයාට. වැරදි හදාගෙන ඉස්සරහට යන කෙනෙක් තරම් වටිනා කෙනෙක් නෑ. ඔයා මට ඒක හැංගුවේ නැති එක ගැන මම සතුටු වෙනවා."
රයන් හිස ඔසවා බැලුවේය. ඇගේ දෑස්වල තිබුණේ ආදරය සහ විශ්වාසයයි. ඔහුට දැනුනේ මහා බරක් හිතෙන් නිදහස් වූවාක් මෙනි.
ගිමන්ගේ නිවසේ එදින රාත්‍රියේ කුඩා සාදයක් තිබිණි. එයට හේතුව රයන්ගේ උපන්දිනයයි. වසර ගණනාවකට පසු රයන්ට උපන්දින සාදයක් ලැබුණු පළමු අවස්ථාව මෙයයි.
ගිමන්, ශෙනල්‍යා සහ පුංචි අමන්දා කේක් එකක් සූදානම් කර තිබිණි. රයන් පැමිණියේ තනිවම නොවේ. ඔහු නෙතුමිණීව ද කැඳවාගෙන ආවේය.
"අඳුරගන්න ගිමන්, මේ නෙතුමිණී," රයන් ලැජ්ජාවෙන් කීවේය.
ශෙනල්‍යා නෙතුමිණී ළඟට ගොස් ඇයව බදා ගත්තාය. "අපි ඔයා ගැන ගොඩක් දේවල් අහලා තියෙනවා නෙතුමිණී. රයන් දැන් සතුටින් ඉන්නේ ඔයා නිසයි."
"නෑ අක්කේ, රයන් හොඳ කෙනෙක් නිසා එයාට හොඳ දේවල් ලැබෙනවා," නෙතුමිණී නිහතමානීව කීවාය.
ගිමන් රයන්ට තෑග්ගක් දුන්නේය. එය ගිමන් විසින් අඳින ලද රයන්ගේ පින්තූරයකි. නමුත් එහි රයන් සිටියේ කාර් වොෂ් එකේ නොව, ගැලරියේ කළමනාකරුවෙකු ලෙස ඉතා ගාම්භීරවය.
"මේක අනාගතය රයන්," ගිමන් කීවේය. "උඹ දැන් ස්ථාවරයි. උඹට හොඳ රස්සාවක් තියෙනවා. හොඳ කෙල්ලෙක් ඉන්නවා. මම හිතන්නේ දැන් කාලේ හරි."
"මොකටද?"
"අපේ ගැලරියේ අලුත් ශාඛාවක් (Branch) නුවර අරිනවා. මට ඕන ඒකේ සම්පූර්ණ අයිතිය සහ පාලනය උඹට දෙන්න. උඹයි නෙතුමිණීයි එකතු වෙලා ඒක දියුණු කරන්න ඕන."
රයන් පුදුම විය. "ගිමන්... උඹ මට මෙච්චර දේවල්..."
"මම දෙන්නේ නෑ. උඹ ඒක උපයා ගත්තා (Earned it). උඹ දැන් මගේ පාට්නර් (Partner)."
රයන් නෙතුමිණී දෙස බැලුවේය. ඇය සතුටු කඳුළු පිරුණු දෑසින් හිස වැනුවාය.
වසරකට පසු...
නුවර කඳුකරයේ පිහිටි අලංකාර යටත් විජිත පන්නයේ ගොඩනැගිල්ලක "Akalanka & Ryan Art Gallery" විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.
රයන් සහ නෙතුමිණී එහි අයිතිකරුවන් ලෙස ආගන්තුකයන් පිළිගනිමින් සිටියහ. රයන් දැන් සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසෙකි. ඔහු අතීතයේ තිබූ උඩඟුකම පසෙකලා, අවංක ව්‍යාපාරිකයෙකු ලෙස ගොඩනැගී සිටියේය.
ගිමන්, ශෙනල්‍යා සහ පුංචි අමන්දා දොරටුව අසල සිටියහ. අමන්දා දුව රතු පීත්ත පටිය කපද්දී හැමෝම අත්පොළසන් දුන්හ.
ඒ මොහොතේම, හුරුපුරුදු හඬක් සහ හෝන් හඬක් ගැලරිය ඉදිරිපිටින් ඇසිණි.
"අඩෝ! අපි පරක්කුද?"
ඒ රවිත් ය. ඔහු අලුත්ම SUV රථයකින් බැස ගත්තේය. ඔහු දැන් ප්‍රමුඛ පෙළේ ඇමරිකානු සමාගමක ජ්‍යෙෂ්ඨ සයිබර් ආරක්ෂක ඉංජිනේරුවෙකි (Senior Cyber Security Engineer). ඔහු තනිවම නොවේ, ඔහුගේ අලුත බැඳපු බිරිඳ, දිල්ෂි ද ඔහු සමඟ විය.
ඔවුන්ට පිටුපසින් තවත් කාර් එකක් නතර විය. ඒ හිමාෂ් ය. හිමාෂ් දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි. ඔහු ඉතා වැදගත් පෙනුමකින් යුතුව, ඔහුගේ පෙම්වතිය වන කාවින්ද්‍යා සමඟ පැමිණියේය.
"රවිත්! හිමාෂ්!" ගිමන් දුව ගොස් පැරණි මිතුරන් දෙදෙනාව බදා ගත්තේය.
"බලපන් මචං, එදා බෝඩිමේ පරිප්පුයි පාන් කෑල්ලයි කාපු සෙට් එක අද ඉන්න තැන," රවිත් සිනාසෙමින් ගිමන්ගේ පිටට තට්ටුවක් දැමුවේය. "උඹ ලෝක පූජිතයි, මම සොෆ්ට්වෙයා ලොක්කෙක්, හිමාෂ් කැම්පස් ලෙක්චරර් කෙනෙක්."
"ඒක නෙවෙයි ලොකුම වෙනස," හිමාෂ් සිනාසෙමින් රයන් දෙස බැලුවේය. "අර ඉන්නේ ඉස්සර අපේ හතුරනේ."
රයන් ලැජ්ජාවෙන් සිනාසී ඔවුන් ළඟට ආවේය. ඔහුට පරණ මතකයන් නිසා වරදකාරී හැඟීමක් දැනිණි.
"කොහොමද රවිත්, හිමාෂ්... මට සතුටුයි උඹලා ආපු එක ගැන," රයන් අත දිගු කළේය.
රවිත් රයන්ගේ අත අල්ලනවා වෙනුවට කෙලින්ම ගොස් රයන්ව බදා ගත්තේය.
"පරණ කතා ඕන නෑ මචං. උඹ දැන් අපේ එකෙක්. මේ ගැලරි එක පට්ට. සුභ පැතුම්!"
එතැන සිටියේ පුදුමාකාර දසුනකි.
ගිමන් සහ ශෙනල්‍යා, රයන් සහ නෙත්මි, රවිත් සහ දිල්ෂි, හිමාෂ් සහ කාවින්ද්‍යා.
අතීතයේ සියලු බෙදීම්, පන්ති භේද සහ වෛරයන් මැකී ගොස් ඔවුන් එකම පවුලක් වී සිටියහ.
උත්සවය අවසානයේ රයන් ගිමන් ළඟට ආවේය.
"ගිමන්, මට උඹට දෙයක් කියන්න ඕන. එදා මම හිතුවේ මගේ සල්ලි නිසා මට හැමදේම ගන්න පුළුවන් කියලා. ඒත් එදා මට බැරි වුණා සතුට සල්ලි වලට ගන්න. අද මගේ සාක්කුවේ කෝටි ගණන් නෑ. ඒත් මගේ ළඟ නෙතු ඉන්නවා. උඹලා වගේ යාළුවො ඉන්නවා. මට හිතෙන්නේ මම දැන් තමයි ඇත්තටම පෝසත්."
ගිමන් සිනාසී රයන්ගේ කරට අත දැමුවේය.
"පාට පෙට්ටියක පාට ගොඩක් තියෙනවා රයන්. කළු පාටත් තියෙනවා, සුදු පාටත් තියෙනවා. චිත්‍රයක් ලස්සන වෙන්නේ ඒ හැම පාටම හරි තැනට පාවිච්චි කළාම. උඹේ ජීවිතේ කළු පාට දැන් ඉවරයි. දැන් තියෙන්නේ දීප්තිමත් පාට විතරයි."
හිරු බැස යන විට නුවර වැව රන්වන් පැහැයෙන් බැබළුණි. ඔවුන් සියලු දෙනාම එකට සිටගෙන ඒ දෙස බලා සිටියහ. අමන්දා නෙතුමිණීගේ වයලීනය වාදනය කිරීමට උත්සාහ කරද්දී, රවිත් සහ හිමාෂ් පරණ විහිළුවක් කරමින් සිනාසෙමින් සිටියහ.
කතාව අවසන් වූයේ සුරංගනා කතාවක මෙන් නොව, වැරදි හදාගත්, දුක දිනූ සහ මිතුදම් රැකගත් මිනිසුන්ගේ සැබෑ ජීවිත කතාවක් ලෙසය.
සාමාප්තයි..!
"නුඹ මගේම සිතුවමක්" කතාව මෙතනින් ඉවරයි.මන් හිතනවා කතාවේ අවසානයට ඔයාලා කැමති ඇති කියලා, මේ වෙනකම් කතාව එක්ක හිටපු හැමෝටම thank you.❤️
ඉතිං කතාව ඉවරයි. කතාව කියවන හැමෝම කතාව ගැන පොඩිම හරී comment එකක් දෙයි කියලා මම හිතනවා.ඔයාලට හිතෙන දෙයක් කියාගෙන යන්න.
අදහස් (1)
A wanderer
10 days agoAththtm lssanai mee story ek. Asawen kiyeww. Thank you 😊