කඩදාසි මාලිගා
by Uma
ගම්පහ අහස අඳුරු කරගෙන වැහි වලාකුළු බරව තිබුණේ උදෑසන හය වන විටත් පරිසරය රාත්‍රියක් සේ අඳුරු කරමිනි. සසදි විහාරා සිය කාමරයේ ජනේලය අද්දර වාඩි වී සිටියේ විවෘත කරගත් පොතක් ද උකුල මත තබාගෙනය. එය ඇගේ ප්‍රියතම රුසියානු පරිවර්තන කතාවකි. පිටතින් හමන සිසිල් සුළඟ ජනේලයේ දැල් ආවරණය හරහා පැමිණ ඇගේ මුහුණේ වැදෙද්දී, සසදි නැවතත් පොතේ පිටුවල අතරමං වීමට උත්සාහ කළාය.
"දුව... තාම ලෑස්ති වුණේ නැද්ද?"
පහළ මාලයෙන් ඇසුණු මවගේ හඬත් සමඟ සසදි ගැස්සී ගියාය. ඇය පොත වසා මේසය මත තැබුවේ අකමැත්තෙනි. වෛද්‍ය නිලූකා ගුණසේකර, සසදිගේ මව, ඒ වන විටත් රෝහලට යාමට සූදානම්ව සිටියාය. සසදි පඩිපෙළ බැස පහළට එන විට පියා, වෛද්‍ය සුගත් ගුණසේකර, උදෑසන කෝපි කෝප්පය තොලගාමින් ලැප්ටොප් පරිගණකය දෙස බලා සිටියේය.
මේ නිවස විශාලය. අලංකාරය. ගම්පහ නගර සීමාවේ පිහිටි නිස්කලංකම නිවාස වලින් එකකි. නමුත් එහි ඇත්තේ දරාගත නොහැකි නිහඬතාවයකි.
"ගුඩ් මෝනින් තාත්තේ," සසදි මිමිණුවාය.
"ගුඩ් මෝනින් දුව," පියා හිස ඔසවා බැලුවේය. ඔහුගේ දෑස් යට අඳුරු වී තිබුණේ ඊයේ රාත්‍රියේත් රෝහලේ හදිසි සැත්කමක නිරත වූ නිසා බව සසදි දැන සිටියාය. "අද ක්ලාස් ඇරිලා වෑන් එකේම එන්න ඕනේ හොඳද? අම්මාටයි මටයි දෙන්නටම අද රෑ වෙනකම් ක්ලිනික්."
"හරි තාත්තේ."
සසදි පුරුදු පරිදිම කෙටි පිළිතුරක් දුන්නාය. ඇය කෑම මේසයට වාඩි වී පාන් පෙත්තක් පිඟානට බෙදා ගත්තාය. මව කුස්සියේ සිට පැමිණියේ අතේ ෆයිල් කවරයක්ද, හෑන්ඩ් බෑගයද එල්ලා ගෙනය.
"සසදි, කන්න කලින් ඕක බොන්න," මව වතුර වීදුරුවක් සමඟ විටමින් පෙත්තක් මේසය මත තැබුවාය. "මේ දවස්වල වෛරස් උණක් පැතිරෙනවා. පරිස්සම් වෙන්න. ඉස්කෝලේ ළමයි එක්ක වැඩිය කිට්ටු වෙලා කතා කරන්න එපා."
"අම්මේ මම කොහොමත් කාත් එක්කවත් කිට්ටු වෙලා කතා කරන්නේ නෑනේ," සසදි සෙමින් කීවාය.
මව මදක් නතර වී සසදි දෙස බැලුවාය. ඒ බැල්මේ තිබුණේ දුකක්ද නැතහොත් කාර්යබහුලත්වය නිසා මගහැරුණු වගකීමක් පිළිබඳ හැඟීමක්ද යන්න සසදිට තේරුම් ගත නොහැකි විය.
"ඒක හොඳයි. විභාගෙට තව මාස අටයිනේ. දැන් පාඩම් වැඩ විතරක් ඔළුවේ තියාගන්න."
මව සසදිගේ හිස අතගා ඉක්මනින් දොර දෙසට ගියාය. පියාද යතුර අතට ගත්තේය.
"අපි ගිහින් එන්නම් දුව. පරිස්සමින් ඉන්න."
මෝටර් රථය පණ ගැන්වෙන හඬත්, ගේට්ටුව විවෘත වී වැසෙන හඬත් ඇසුණු පසු මුළු නිවසම නැවතත් යෝධ සොහොන් කොතක් මෙන් නිහඬ විය. සසදි තනි වූවාය. ඇය සුසුමක් හෙළා පාන් පෙත්ත පසෙකින් තැබුවාය. ඇගේ හොඳම මිතුරිය වූයේ මේ නිහඬතාවයයි. නමුත් අද ඇයට දැනුණේ වෙනදාට වඩා වැඩි පාලුවකි. ඇය බෑගය අතට ගෙන එහි බර අතින් කිරා බැලුවාය. පාසල් පොත්වලට අමතරව එහි ඇතුළේ සැඟවී තිබුණේ ෂර්ලොක් හෝම්ස්ගේ අලුත්ම පරිවර්තනයයි.
පාසල් වෑන් රථය පැමිණ නලා හඬවන විට සසදි සපත්තු ලේස් ගැටගසමින් සිටියාය. වෑන් රථයේ පිටුපස ආසනය ඇගේ රාජධානියයි. ඇය වෑන් රථයට ගොඩ වූ විගස ජනේලය අයිනේ අසුන ගත්තේ පුරුද්දට මෙනි.
"ආ... සසදි නෝනා අදත් මූණ එල්ලගෙන වගේ," ඉදිරිපස අසුනේ සිටි 10 වසරේ දැරියක් සිනාසෙමින් කීවාය.
සසදි ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත. ඇය කලේ ජනේලයෙන් පිටත බලා ගැනීමයි. වෑන් රථය ගම්පහ නගරයේ තදබදය මැදින් ඇදෙද්දී, පදික වේදිකාවේ මිනිසුන්ගේ කලබලකාරී ජීවිතය දෙස ඇය බලා සිටියේ අනුකම්පාවෙනි.
මේ මිනිස්සු ඇයි මෙච්චර දුවන්නේ? පොතක් කියවගෙන ලස්සනට ඉන්න පුළුවන්කම තියෙද්දි... ඇය සිතුවාය.
නමුත් ඇය දැන සිටියේ නැත, අද දවස ඇගේ ඒ සිතුවිලි ලෝකය උඩු යටිකුරු කරන දවසක් බව.
ගම්පහ බාලිකා විද්‍යාලයේ විශාල ගේට්ටුවෙන් ඇතුළු වන විටම, සසදිට දැනුණේ සුපුරුදු අප්‍රියජනක හැඟීමයි. ඝෝෂාව. දහස් ගණන් සිසුවියන්ගේ කතා බහ, සිනා හඬ, සහ දුව පැන ඇවිදින ශබ්දය. ඇය පන්ති කාමරය දෙසට ඇවිද ගියේ බිම බලාගෙනය.
"සසදී!"
11-B පන්තියේ දොරකඩ සිටම කෑගසාගෙන ආවේ මල්කිය. මල්කි යනු සසදිගේ එකම පාසල් මිතුරියයි. සසදි නිහඬ නම්, මල්කි යනු එහි අනිත් අන්තයයි. ඇය කතා කළොත් නවතින්නේ පැය භාගයකට පසුවය.
"ඇයි මල්කි කෑගහන්නේ? මුළු කොරිඩෝ එකටම ඇහුණා," සසදි තරවටු ස්වරයෙන් කීවත්, මල්කිව දකින විට ඇයට සහනයක් දැනුනි.
"අනේ මන්දා බං උඹත්. හරි හරි ඒක නෙවෙයි. උඹ දන්නවද වෙලා තියෙන දේ?" මල්කි සසදිගේ බෑගය පවා මේසය මත තැබීමට ඉඩ නොදී ඇගේ අතින් අල්ලා ගත්තාය.
"මොකක්ද?"
"අපේ පන්තියට අලුත් සිංහල ටීචර් කෙනෙක් ඇවිල්ලා. එයා අද ඉඳන් අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවාලු. ගෘප් ප්‍රොජෙක්ට් එකක්," මල්කිගේ දෑස්වල තිබුණේ බියක් මුසු කුතුහලයකි. "අනික දන්නවද? ගෘප් හදන්නේ අපි කැමති විදිහට නෙවෙයිලු. ටීචර් කැමති විදිහටලු."
සසදිගේ හදවත මොහොතකට නතර විය. "ටීචර් කැමති විදිහට?"
"ඔව්. මට ආරංචි වුණ විදිහට, එයා හදන්නේ වැඩිය කතා නොකරන ළමයිවයි, කටකාර ළමයිවයි එකට දාලා මික්ස් කරන්නලු."
සසදිගේ දණහිස් පණ නැති වී ගියාක් මෙන් දැනුණි. තමන් නොදන්නා, තමන්ට වඩා හාත්පසින්ම වෙනස් ළමයින් සමඟ කණ්ඩායම් ගැසී වැඩ කිරීම යනු සසදිට සිහිනයකින්වත් සිතාගත හැකි දෙයක් නොවේ. ඇය වටපිට බැලුවාය. පන්තියේ කෙළවරක සිටින, පන්තියේ "ලොකු ලයින්" යැයි ප්‍රසිද්ධ ෂෙනාලි ඇගේ යහළුවන් පිරිසක් සමඟ හයියෙන් සිනාසෙමින් සිටිනු පෙනුණි.
"මල්කි... මට බෑ," සසදි බියෙන් මිමිණුවාය. "මට බැහැ ඒ වගේ වැඩ කරන්න."
"පිස්සුද බං, මේක O/L රිසල්ට් එකට එකතු වෙනවාලු," මල්කි කීවේ තවත් බෝම්බයක් අතහරිමිනි.
ඒ මොහොතේම පන්තියේ සීනුව නාද විය. අලුත් ගුරුතුමිය පන්තියට ඇතුළු වූයේ අමුතුම තේජසකින් යුතුවය. ඇය අතේ තිබුණේ පොත් මිටියක් නොව, නම් ලැයිස්තුවක් අඩංගු ෆයිල් කවරයකි. සසදි තදින් හුස්ම ගත්තාය. ඇගේ පොත් ලෝකයේ ආරක්ෂිත පවුරට පළමු ඉරිතැලීම සිදු වීමට නියමිත බව ඇයට ඉවෙන් මෙන් දැනුනි.
පන්තියට පැමිණි නව ගුරුතුමිය දෙස පන්තියේ සියලු දෙනා බලා සිටියේ හුස්ම ගැනීමටවත් අමතක වූවාක් මෙනි. ඇය සාමාන්‍යයෙන් දකින ගුරුවරියකට වඩා වෙනස් විය. අලංකාර ලෙස හැඩ ගැන්වූ ඔසරියත්, කොණ්ඩය ලෙහා දමා තිබූ විලාසයත්, ඇගේ මුහුණේ තිබූ ආත්ම විශ්වාසයෙන් පිරුණු සිනහවත් පන්තියේ වායුගෝලය මොහොතකින් වෙනස් කළේය.
"සුභ උදෑසනක් ළමයි. මම හසිනි," ඇය හඳුන්වා දුන්නාය. කටහඬේ තිබුණේ මිත්‍රශීලී නමුත් අධිකාරි බලයක් සහිත ස්වරයකි. "මම දන්නවා ඕගොල්ලො O/L විභාගෙට ලෑස්ති වෙන ගමන් ඉන්නේ කියලා. හැබැයි සාහිත්‍යය කියන්නේ පොත් පාඩම් කරලා විතරක් ගොඩ දාන්න පුළුවන් විෂයක් නෙවෙයි."
සසදි මේසය යට තිබූ තම දෑත් තදින් එකට අල්ලා ගත්තාය. හසිනි මෙනවිය පන්තිය වටා ඇවිදින්නට වූවාය.
"ජීවිතේ කියන්නේ ලොකුම නවකතාව. ඒක කියවන්න බැරි කෙනෙක්ට විභාග පාස් වෙලා වැඩක් නෑ," ඇය එක්වරම සසදිගේ මේසය අසල නතර වූවාය. සසදි ගැස්සී බිම බලා ගත්තාය. වාසනාවට ගුරුතුමිය නැවතත් ඉදිරියට ගියාය.
"හරි. අපි කෙලින්ම වැඩේට බහිමු. මම කිව්වා වගේ මේ වාරෙට මම දෙන්නේ අලුත් අභියෝගයක්. 'නොදුටු මිනිසුන්ගේ නොඇසූ කතා'. ඒක තමයි මාතෘකාව."
පන්තිය පුරා කුතුහලයෙන් පිරුණු මුමුණන හඬක් පැතිර ගියේය.
"මේක කණ්ඩායම් ව්‍යාපෘතියක්. දෙන්නෙක් එකතු වෙලා ගම්පහ නගරයේ හෝ අවට ඉන්න සාමාන්‍ය සමාජය විසින් නොසලකා හරින චරිතයක් තෝරාගෙන, එයාව සම්මුඛ සාකච්ඡා කරලා එයාගේ ජීවිත කතාව වාර්තාවක් විදිහට ලියන්න ඕනේ. ඒ වගේම ඒක පන්තිය ඉස්සරහා ඉදිරිපත් කරන්නත් ඕනේ."
සසදිගේ දෑස් විශාල විය. නාඳුනන මිනිසුන් සමඟ කතා කිරීම? පන්තිය ඉදිරියේ කතා කිරීම? මෙය ඇගේ දරුණුතම බියකරු සිහිනය සැබෑ වීමකි.
"ටීචර්, අපිට කැමති යාලුවෙක් එක්ක ගෲප් වෙන්න බැරිද?" පිටුපස පේළියෙන් ළමයෙක් ඇසීය.
"බැහැ," හසිනි මෙනවියගේ පිළිතුර කෙටි විය. "මම නම් ලිස්ට් එක හැදුවා. මම නම් කියවන අය එක ළඟ වාඩි වෙන්න."
සසදි මල්කි දෙස බැලුවාය. මල්කි ඇඟිලි පටලවාගෙන යමක් මුමුණමින් සිටියාය. බොහෝ විට ඇය දෙවියන් යදිනවා විය යුතුය. නම් කියවන්නට පටන් ගත්තේය.
"අංක එක... කසුනි සහ දිලිනි."
"අංක දෙක... මල්කි සහ..." සසදි හුස්ම හිර කරගත්තාය. "...නෙත්මි."
සසදිගේ බලාපොරොත්තු සුන් විය. මල්කි දුකෙන් මෙන් සසදි දෙස බලා අනිත් පේළියට මාරු වූවාය. දැන් සසදි තනිවමය. ඇගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඉතිරිව සිටින ළමයින් අතරින් ඇයට ලැබෙන්නේ කවුද?
"අංක පහ..." ගුරුතුමිය නම් ලැයිස්තුව දෙස බලා මදක් නතර වූවාය. ඇය පන්තියේ කෙළවරේ සිටින ෂෙනාලි දෙසත්, ඉදිරිපස පේළියේ හැකිලී සිටින සසදි දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය. "ෂෙනාලි පෙරේරා... සහ... සසදි විහාරා."
මුළු පන්තියම මොහොතකට නිහඬ විය. ෂෙනාලි යනු පන්තියේ සිටින "ප්‍රභූ" කල්ලියේ නායිකාවයි. ඇය රූමත්ය, ධනවත්ය, අතිශය කටකාරය. සසදි යනු පන්තියේ සිටින "නොපෙනෙන" චරිතයයි. මෙය අහසට පොළොව ගැටගැසීමක් වැනිය.
"අනේ ටීචර්!" ෂෙනාලි හඬ නගා විරෝධය පෑවාය. "මට වෙන කෙනෙක් දෙන්න බැරිද? මෙයා එක්ක වැඩ කරන්න ගියොත් මට තනියම තමයි ඔක්කොම කරන්න වෙන්නේ. මෙයා කටක් ඇරලා වචනයක්වත් කතා කරන්නේ නෑනේ."
පන්තියේ ළමයින් කිහිප දෙනෙක් සිනාසුණහ. සසදිට දැනුණේ පොළොව පලාගෙන යන්නට ඇත්නම් කියාය. ඇගේ මුහුණ රත් වී ගියේය. ඇස් අගට කඳුළු පිරෙන්නට ආවත් ඇය එය තද කර ගත්තාය.
"ෂෙනාලි," ගුරුතුමිය තදින් කීවාය. "මම තීරණේ වෙනස් කරන්නේ නෑ. අනික හොඳ නායකයෙක්ට පුළුවන් වෙන්න ඕනේ ඕනම කෙනෙක් එක්ක වැඩ කරන්න. දැන් තැනට ගිහින් වාඩි වෙන්න."
ෂෙනාලි කේන්තියෙන් පොත් බෑගයත් ඇදගෙන පැමිණ සසදිගේ ළඟ හිස්ව තිබූ පුටුවේ වාඩි වූයේ පුටුව හයියෙන් ඇද දමමිනි. ඇය සසදි දෙස බැලුවේ පිළිකුලෙනි.
"අහගන්න," ෂෙනාලි පහත් හඬින් නමුත් තර්ජනාත්මකව කීවාය. "මගේ O/L රිසල්ට් එක කන්න එපා. ඔයාට බැරිනම් මට කියන්න, මම තනියම කරගන්නම්. හැබැයි මගේ ඉස්සරහා ගොලු වෘතය රකින්න එපා."
සසදි හිස ඔසවා ෂෙනාලි දෙස බැලීමට උත්සාහ කළත්, ඇගේ දෑස් හමු වූ විට සසදිගේ ධෛර්යය දිය වී ගියේය. ඇය සෙමින් හිස වැනුවාය.
"මම... මම උත්සාහ කරන්නම්," සසදි ඉතා සෙමින් මිමිණුවාය.
"මොකක්ද?" ෂෙනාලි නළල රැලි කළාය. "ඔයාට කතා කරන්න පුළුවන්ද? මම හිතුවේ දිව නැතිවෙලා කියලා."
ගුරුතුමිය ව්‍යාපෘතියේ විස්තර කළු ලෑල්ලේ ලියන්නට පටන් ගත්තාය.
1. තෝරාගන්නා පුද්ගලයා - සමාජයේ විශේෂ අවධානයක් නොලද අයෙකු විය යුතුය.
2. ප්‍රදේශය - ගම්පහ නගරය හෝ දුම්රිය ස්ථානය අවට.
3. කණ්ඩායම් සාමාජිකයන් දෙදෙනාම ක්ෂේත්‍රයේ ගවේෂණයට සහභාගී විය යුතුය.
"අපිට ලබන සතියේ අඟහරුවාදා හවස ඉස්කෝලේ ඇරිලා ටවුන් එක පැත්තේ යන්න වෙනවා," ෂෙනාලි සටහන් පොතේ ලියන අතරතුර අණ දෙන ස්වරයෙන් කීවාය. "ඔයාට ගෙදරින් අවසර ගන්න පුළුවන්ද? නැත්තම් අම්මා බබාව එවන්නේ නැද්ද?"
සසදිට ඇගේ දෙමාපියන් මතක් විය. අම්මා කිව්වේ "පාඩම් වැඩ විතරක් ඔළුවේ තියාගන්න" කියාය. තාත්තාට මේ ගැන කියන්න වෙලාවක් නැත. නමුත් මෙය පාසල් වැඩකි. ඇයට යන්නට සිදුවනු ඇත.
"පුළුවන්," සසදි කීවාය. නමුත් ඇගේ හිත ඇතුළෙන් කියා සිටියේ 'මට බැහැ, මම බයයි' කියාය.
විවේක කාලයේ සීනුව නාද විය. හසිනි මෙනවිය පන්තියෙන් පිටව ගිය වහාම ෂෙනාලි නැගිට ඇගේ යහළුවන් වෙත දිව ගියාය. "බලපන් බං මට වෙච්ච දේ..." ඇය කියන හඬ සසදිට ඈතින් ඇසුණි.
මල්කි සසදි ළඟට දිව ආවාය. "අම්මෝ සසදී... සොරි බං. මම හිතුවේ නෑ උඹට ෂෙනාලිව සෙට් වෙයි කියලා. උඹට ඕක කරගන්න පුළුවන් වෙයිද?"
සසදි මේසය මත තිබූ 'ෂර්ලොක් හෝම්ස්' පොත අතට ගත්තාය. ඇයට අවශ්‍ය වූයේ මේ ලෝකයෙන් මොහොතකට හෝ පලා යන්නටය.
"මන් දන්නේ නෑ මල්කි. මට හිතෙන්නේ මම ලොකු අමාරුවක වැටුණා කියලා."
පාසල ඇරී ගෙදර යන විටත් සසදිගේ හිතේ තිබුණේ ඒ බරයි. වෙනදාට වෑන් රථයේදී පොතක් කියවන ඇය අද කළේ ජනේලයෙන් පිටත බලා සිටීමයි. ගම්පහ නගරය වෙනදාට වඩා අවුල් ජාලයක් ලෙස ඇයට පෙනුණි. මිනිසුන් දහස් ගණනක්. වාහන. දූවිලි. මේ ඝෝෂාකාරී ලෝකයෙන් ඇය සොයාගත යුතු "නොඇසූ කතාව" කුමක්ද?
වෑන් රථය දුම්රිය ස්ථානය අසලින් යන විට මාර්ග තදබදය නිසා නතර විය. සසදි අහම්බෙන් දුම්රිය ස්ථානයේ තාප්පය අයිනේ වාඩි වී සිටින කොල්ලෙක් දෙස බැලුවාය. ඔහු ඇඳ සිටියේ යාබද පිරිමි පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ ජර්සියකි. ඔහු අතේ බැට් එකක් තිබුණත්, ඔහු බලා සිටියේ අතේ තිබූ කුඩා drawing book එක දෙසය. ඔහු වටපිට බලමින් යමක් අඳින බවක් පෙනුණි. ඔහුගේ මුහුණේ තිබුණේ දැඩි තනිකමකි.
සසදිගේ හිතේ යම්කිසි සලකුණක් ඇති විය. නමුත් වෑන් රථය එතැනින් ඉදිරියට ඇදී ගියේය.
ගෙදරට ගොඩ වන විට නිවස සුපුරුදු පරිදි පාළු වී තිබුණි. නමුත් මෙවර කෑම මේසය මත සටහනක් ලියා තිබුණි.
'දුවේ, අම්මට හදිසි මීටින් එකක්. රෑ වෙලා එන්නේ. රෑ කෑම ෆ්‍රිජ් එකේ. - අම්මා'
සසදි කොළ කැබැල්ල අතට ගත්තාය. ඇයට අද දවසේ සිදුවීම් කියන්නට කෙනෙක් සිටියේ නැත. ඇය කාමරයට ගොස් දොර වසා ගත්තාය. ඇය දන්නේ නැත, ඇය අද දුටු දසුන ඇගේ ජීවිතය වෙනස් කරන්නට යන බව.
සති අන්තය ගෙවී ගියේ ඇසිපිය හෙළන සැණිනි. සසදි දෙවරක්ම උත්සාහ කළාය, අම්මාට හෝ තාත්තාට මේ "ව්‍යාපෘතිය" ගැන පවසන්නට. නමුත් සිකුරාදා රාත්‍රියේ තාත්තා ගෙදර ආවේ මධ්‍යම රාත්‍රියත් පසුවී හදිසි අනතුරකට ලක්වූ රෝගියෙකුගේ ශල්‍යකර්මයක් නිම කිරීමෙන් පසුවය. ඉරිදා දහවල් අම්මා සිටියේ රෝහලේ වාර්ෂික විගණනයක වැඩ කටයුතු නිසාවෙන් ලැප්ටොප් පරිගණකය තුළ හිස ඔබාගෙනය. සසදිගේ හඬ ඔවුන්ගේ කාර්යබහුල ලෝකය තුළ දිය වී ගියේය.
අවසානයේ අඟහරුවාදා පැමිණියේය.
පාසල ඇරී සිසුවියන් දහස් ගණනක් ගේට්ටුවෙන් පිටතට ගලා එද්දී, සසදි ගේට්ටුව අසල ඇති සියඹලා ගස යටට වී බලා සිටියේ හදවතේ ගැස්ම පාලනය කරගැනීමට උත්සාහ කරමිනි. ඇය වෙනදා මෙන් වෑන් රථයේ නැගී ගෙදර යාමට නොව, අද නුපුරුදු ගමනක් යාමට සැරසෙයි.
"මොකද හලෝ, බය වෙලා වගේ බලන් ඉන්නේ? අපි යුද්ධෙට යන්න නෙවෙයිනෙ යන්නේ."
සසදි ගැස්සී පිටුපස බැලුවාය. ෂෙනාලි එතැන සිටියාය. පාසල් නිල ඇඳුම මාරු කර ඩෙනිම් කලිසමකින් සහ විලාසිතාමය ටී-ෂර්ට් එකකින් සැරසී සිටි ඇය, කොණ්ඩය පෝනිටේල් එකක් ලෙස බැඳ සිටියාය. ඇය දෙස බලන ඕනෑම කෙනෙකුට පෙනෙන්නේ ආත්ම විශ්වාසයෙන් පිරුණු යොවුන් තරුණියකි. සසදි දෙස බැලූ විට පෙනෙන්නේ තවමත් නිල ඇඳුම පිටින්ම, බරැති බෑගය එල්ලාගත්, ලෝකයෙන් සැඟවීමට උත්සාහ කරන පාසල් දැරියකි.
"මම... මම ගෙදරට කෝල් කරලා කිව්වා පරක්කු වෙනවා කියලා," සසදි බොරුවක් කීවාය. ඇත්තටම ඇය කළේ මවට කෙටි පණිවිඩයක් යැවීම පමණි.
"හරි හරි යමු. මට හවස පහ වෙද්දි ගෙදර ඉන්න ඕනේ. නැත්තම් තාත්තා කෑගහනවා," ෂෙනාලි ඉදිරියට ඇදුණාය. "ඔයා ඔය යුනිෆෝම් එක පිටින්මද එන්නේ?"
"ඔව්... මම ඇඳුම් ගෙනාවේ නෑ."
ෂෙනාලි දෑස් කරකවා අප්‍රසාදය පළ කළාය. "අනේ මන්දා. හරි යමු. අපි ඉස්සෙල්ලම ස්ටේෂන් එක පැත්තට යමු. එතන තමයි විවිධ ජාතියේ මිනිස්සු ඉන්නේ."
ගම්පහ නගරය යනු සසදිට නුපුරුදු තැනක් නොවේ. නමුත් ඇය එය දැක තිබුණේ වෑන් රථයේ වීදුරුවෙන් පමණි. පයින් ඇවිදින විට එය හාත්පසින්ම වෙනස් අත්දැකීමක් විය. අව් රශ්මිය, දූවිලි, බස් රථවල නලා හඬ සහ මිනිසුන්ගේ දහඩිය ගඳ මිශ්‍ර වූ වාතය ඇයට අපහසුවක් ගෙන දුන්නේය. ෂෙනාලි වේගයෙන් ජනකාය අතරින් රිංගා යද්දී සසදි ඇය පසුපස දිව ගියේ අතරමං වේ යැයි බියෙනි.
"අර බලන්න... අර ලොතරැයි විකුණන මනුස්සයා..." සසදි සෙමින් යෝජනා කළාය.
ෂෙනාලි නිකමට බලා අහක බලා ගත්තාය. "පිස්සුද? ඕවා ඕන තරම් අය ලියයි. අපිට ඕනේ ටිකක් වෙනස් කතාවක්. A එකක් ගන්න පුළුවන් විදිහේ එකක්. ටීචර් කිව්වේ 'නොදුටු මිනිස්සු' කියලනේ."
ඔවුහු දුම්රිය ස්ථානයට ඇතුළු වූහ. කොළඹ බලා ධාවනය වන දුම්රියක් පැමිණීමට නියමිතව තිබූ බැවින් වේදිකාව මිනිසුන්ගෙන් පිරී තිබුණි. කාර්යාල සේවකයින්, පාසල් ළමුන් සහ වෙළෙන්දන් අතර ෂෙනාලි උකුසු ඇසින් වටපිට බැලුවාය. සසදි සිටියේ බියෙනි. කවුරුන් හෝ තමන් දෙස බලා සිටී යැයි ඇයට සිතුණි.
"මෙතන වැඩක් නෑ වගේ," ෂෙනාලි නොසන්සුන්ව කීවාය. "කවුරුත් නෑනේ ඉන්ටරෙස්ටින්."
"අපි යමුද?" සසදි ඇසුවේ ගෙදර යාමේ බලාපොරොත්තුවෙනි.
"ඉන්න පොඩ්ඩක්," ෂෙනාලි එක්වරම නතර වී වේදිකාවේ කෙළවර පිහිටි සිමෙන්ති බංකුව දෙසට ඇඟිල්ල දිගු කළාය. "අර බලන්න."
සසදි ඒ දෙස බැලුවාය. එතැන සිටියේ පිරිමි ළමයෙකි. ඔහු ඇඳ සිටියේ අඳුරු පැහැති ටී-ෂර්ට් එකක් සහ ජීන්ස් කලිසමකි. ඔහුගේ ඔලුවේ හෙඩ්ෆෝන් එකක් විය. දණහිස් මත විශාල drawing book එකක් තබාගෙන ඔහු වේගයෙන් යමක් අඳිමින් සිටියේය. ඔහු වරින් වර හිස ඔසවා වේදිකාවේ සිටින මිනිසුන් දෙස බලයි, නැවතත් පොතට යොමු වෙයි.
සසදිගේ හදවත වේගයෙන් ගැහුණි. මේ අර ළමයාමයි. එදා ක්‍රිකට් ජර්සිය ඇඳ සිටි, වෑන් රථයේදී ඇය දුටු කොල්ලාමයි.
"එයා මොකද කරන්නේ?" ෂෙනාලි කුතුහලයෙන් ඇසුවාය. "බලන්න එයා දිහා. එයා අනිත් අයට වඩා වෙනස්. නිකන් අමුතු කලාකාරයෙක් වගේ. යමු එයාගෙන් අහමු."
"එපා!" සසදි කලබලයෙන් කීවාය. "එයා... එයා අපිව ගණන් ගන්න එකක් නෑ. අනික කොල්ලෙක්නේ."
"ඉතින් මොකද? කොල්ලෝ කතා කරාම කන්නෙ නෑ," ෂෙනාලි සසදිගේ අතින් ඇද්දාය. "යමු. මට ෂුවර් මෙතන හොඳ ස්ටෝරි එකක් තියෙනවා. බලන්න එයා කොච්චර සීරියස්ද කියලා."
ෂෙනාලිගේ ග්‍රහණයෙන් මිදීමට සසදිට නොහැකි විය. ඇයව බලෙන්ම මෙන් ඒ අමුතු පිරිමි ළමයා දෙසට ඇදගෙන ගියාය. ඔවුන් ළං වන විට සසදි දුටුවේ ඔහු අඳින්නේ දුම්රිය එනතුරු බලා සිටින වයසක ආච්චි කෙනෙකුගේ රූපයක් බවයි. ඒ රූපය පුදුමාකාර තරම් සජීවී විය. පැන්සල් ඉරි වලින් පමණක් ඇඳ තිබුණත් එහි හැඟීම් පිරී තිබුණි.
"එක්ස්කියුස් මී," ෂෙනාලි හඬ නගා කතා කළාය.
පිරිමි ළමයා ගැස්සී ගියේය. ඔහු වහාම පොත වසා දැමුවේ තමා අසුවූ හොරෙකු මෙනි. ඔහු හෙඩ්ෆෝන් එක ගලවා ෂෙනාලි සහ සසදි දෙස බැලුවේය. ඔහුගේ දෑස් තියුණුය, නමුත් එහි තිබුණේ බියක් මුසු කුතුහලයකි.
"ඔව්?" ඔහු ඇසුවේ රළු ස්වරයෙනි.
"අපි ගම්පහ බාලිකා එකේ," ෂෙනාලි වහාම ඉදිරිපත් වූවාය. "අපිට ඉස්කෝලේ ප්‍රොජෙක්ට් එකකට පොඩි ඉන්ටවීව් එකක් කරන්න තියෙනවා. ඔයා කරන්නේ මොකක්ද කියලා දැනගන්න පුළුවන්ද? ඔයා චිත්‍ර ශිල්පියෙක්ද?"
ඔහු මොහොතක් නිහඬව සිටියේය. පසුව ඔහුගේ බැල්ම සසදි වෙත යොමු විය. සසදි බිම බලා ගත්තාය. නමුත් ඇයට දැනුනා ඔහු තමා දෙස බලා සිටින බව.
"මම චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි," ඔහු පොත බෑගයට දාගන්නා ගමන් කීවේය. "මම නිකන් අඳිනවා විතරයි."
"අපිට දැක්කා ඔයා අඳිනවා. ඒක මාර ලස්සනයි," ෂෙනාලි අතහැරියේ නැත. "ඔයාගේ නම මොකක්ද?"
ඔහු නැගී සිටියේය. ඔහු සසදිට වඩා අඩි කිහිපයක් උස විය. "මම අකේෂ්."
"මම ෂෙනාලි. මේ ඉන්නේ සසදි," ෂෙනාලි සසදිව ඉදිරියට තල්ලු කළාය. "සසදි තමයි මේක ලියන්නේ. එයාට ඕනෙලු ඔයා ගැන ලියන්න."
සසදිගේ දෑස් උඩ ගියේය. ෂෙනාලි මේ කියන්නේ අමු පචයකි. අකේෂ් නැවතත් සසදි දෙස බැලුවේය. මෙවර ඔහුගේ බැල්මේ තිබුණේ මද සිනහවකි.
"එහෙමද?" අකේෂ් ඇසුවේය. "ඇයි මම ගැන ලියන්න හිතුනේ? මම විශේෂ කෙනෙක් නෙවෙයි."
සසදිගේ උගුර කට වේලී ගියේය. ෂෙනාලි ඇගේ ඉල ඇටයකට වැලමිටෙන් ඇන්නාය. කතා කරන්න යැයි බල කරන්නාක් මෙනි.
"මොකද... මොකද..." සසදි වචන ගලපා ගැනීමට උත්සාහ කළාය. ඇයට මතක් වුණේ එදා වෑන් රථයේදී ඇය දුටු දසුනයි. "මම දැක්කා එදා... ඔයා ක්‍රිකට් ප්‍රැක්ටිස් ඇඳුමෙන් ඉඳගෙනත්... චිත්‍ර අඳිනවා. ක්‍රිකට් ගහන කෙනෙක් චිත්‍ර අඳිනවා කියන්නේ... ටිකක් වෙනස් දෙයක්."
අකේෂ්ගේ මුහුණේ ඉරියව් වෙනස් විය. පුදුමය සහ යම්කිසි වේදනාවක් එකවර එහි සටහන් විය. ඔහු ගැඹුරු හුස්මක් ගත්තේය.
"ඕගොල්ලන්ට වැරදිලා. මම ක්‍රිකට් ගහන්නේ නෑ," ඔහු එක එල්ලේම කීවේය. "මම ක්‍රිකට් වලට කැමතිත් නෑ."
"ඒත් එදා ඔයා හිටියේ..."
"ඒක මගේ තාත්තාගේ හීනය. මගේ නෙවෙයි," අකේෂ් බෑගය කරේ දාගත්තේය. "සොරි, මට යන්න පරක්කු වෙනවා. වෙන කෙනෙක්ව හොයාගන්න."
ඔහු වේගයෙන් පඩිපෙළ බැස යන්නට ගියේය. ෂෙනාලි කට ඇරගෙන බලා සිටියාය.
"මොන පිස්සෙක්ද ඒ?" ෂෙනාලි කේන්තියෙන් කීවාය. "අපි හොඳින් කතා කරාම ඌ ගණන් උස්සන හැටි."
නමුත් සසදි බලා සිටියේ ඔහු යන දෙසය. "තාත්තාගේ හීනය... මගේ නෙවෙයි." ඒ වචන ටික ඇගේ හිතේ දෝංකාර දෙන්නට විය. ඇයට පළමු වතාවට දැනුණේ තමන්ට සමාන තවත් කෙනෙක් මේ ලෝකයේ සිටින බවයි.
"ඔයා දැක්කද ඒ මනුස්සයාගේ උද්දච්චකම?"
ෂෙනාලි දුම්රිය ස්ථානයෙන් පිටතට පැමිණෙන විටත් කේන්තියෙන් පුපුරමින් සිටියාය. ඇය පාරේ තිබූ කුඩා ගල් කැටයකට පයින් ගැසුවේ සිය කෝපය පිට කිරීමට මෙනි. "නිකන් ලොකු ලයින් දානවා. හිතාගෙන ඉන්නේ එයා පිකාසෝ කියලා වෙන්න ඇති. සසදි, අපි වෙන කෙනෙක්ව හොයා ගමු. අර අතන ඉන්න මල් විකුණන ගෑනු කෙනා හොඳයි වගේ."
නමුත් සසදිගේ මනස තිබුණේ මල් විකුණන කාන්තාව ළඟ නොවේ. ඇගේ දෑස් ඉදිරිපිට මැවී තිබුණේ අකේෂ්ගේ දෑස්වල තිබූ ඒ සියුම් වේදනාවයි. 'ඒක මගේ තාත්තාගේ හීනය. මගේ නෙවෙයි.' ඒ වචන ටික සසදිගේ හදවත පසාරු කරගෙන ගොස් තිබුණි. එය නිකම්ම වචන පෙළක් නොව, ඇගේම ආත්මයේ දෝංකාරයයි.
"නෑ ෂෙනාලි," සසදි හදිසියේම කීවාය. ඇගේ කටහඬේ තිබූ ස්ථිර බව නිසා ඇයම පුදුමයට පත් වූවාය.
ෂෙනාලි නතර වී හැරී බැලුවාය. "මොකක්ද?"
"අපි එයාවම ගමු. ටීචර් කිව්වේ 'නොදුටු මිනිස්සු' ගැන ලියන්න කියලා නේද? මල් විකුණන අය, ලොතරැයි විකුණන අය ගැන හැමෝම ලියයි. ඒත්... තමන් අකමැති ජීවිතයක් ගෙවන, ඒත් ඇතුළෙන් වෙනස්ම හීනයක් දකින කෙනෙක් ගැන ලියන එක... ඒක වෙනස්."
ෂෙනාලි වික්ෂිප්තව සසදි දෙස බලා සිටියාය. සසදි මෙතරම් දිග වාක්‍යයක් එකදිගට කතා කළ පළමු අවස්ථාව මෙය විය හැකිය. ෂෙනාලිගේ මුහුණේ තිබූ කේන්තිය මදක් අඩුවී, ඒ වෙනුවට කුතුහලයක් ආදේශ විය.
"ම්ම්ම්..." ෂෙනාලි කල්පනාකාරීව නිකට පිරිමැද්දාය. "කතාව නම් ඇත්ත. ඒක යුනික් (unique). ඒත් එයා කැමති නෑනේ. අපි කොහොමද එයාව ආයේ හොයාගන්නේ?"
"එයා යන්නේ බෝයිස් ස්කූල් එකටනේ. අපි හෙට ඉස්කෝලේ ඇරිලා ආයේ එමු. එයා එතනට එනවා ඇති," සසදි යෝජනා කළාය. ඇය තුළ ඇති වූ මේ හදිසි උනන්දුව කුමක්දැයි ඇයටවත් තේරුම් ගත නොහැකි විය.
"හරි. හැබැයි මේ සැරේ ඔයා තමයි එයා එක්ක කතා කරන්න ඕනේ. මම නෑ ඕවට," ෂෙනාලි අනතුරු ඇඟවූවාය. "දැන් මට යන්න ඕනේ. බායී!"
ෂෙනාලි ත්‍රිරෝද රථයකට අත දමා පිටව ගියාය. සසදි තනි වූවාය. නමුත් වෙනදා දැනෙන තනිකම අද ඇයට දැනුණේ නැත. ඇගේ සිතේ අලුත් අරමුණක් පැළපදියම් වී තිබුණි.
රාත්‍රිය උදා වන විට නිවස සුපුරුදු පරිදි නිහඬය. සසදි කාමරයේ ජනේලය අද්දරට වී අහස දෙස බලා සිටියාය. පහළ මාලයෙන් වාහනයක් පැමිණෙන ශබ්දය ඇසුණි. අම්මාත් තාත්තාත් දෙදෙනාම අද ඉක්මනින් පැමිණ ඇත. එය කලාතුරකින් සිදුවන දෙයකි.
රාත්‍රී කෑම මේසයේදී තාත්තා උද්‍යෝගයෙන් කතා කළේය.
"අද මම අර කන්සල්ටන්ට් පෝස්ට් එකට ඇප්ලිකේෂන් එක දැම්මා නිලූකා," තාත්තා අම්මා දෙස බලමින් කීවේය. "ඒක හම්බවුණොත් අපිට ලබන අවුරුද්දේ කොළඹට මාරු වෙන්න පුළුවන් වෙයි. එතකොට සසදිටත් ඒ ලෙවල් වලට කොළඹ ඉස්කෝලයක් බලන්න පුළුවන්."
"ඒක හොඳයි සුගත්," අම්මා අනුමත කළාය. "ගම්පහ හොඳයි. ඒත් සසදිගේ අනාගතේට කොළඹ තමයි හොඳම."
සසදි බත් පිඟාන දෙස බලාගෙනම සිටියාය. ඔවුන් ඇගේ අනාගතය සැලසුම් කරමින් සිටිති. හරියට ඇය චෙස් ලෑල්ලක ඉත්තෙක් වැනිය. ඇගේ කැමැත්ත හෝ අකමැත්ත ගැන කිසිදු විමසීමක් නැත.
"තාත්තේ..." සසදි සෙමින් කටහඬ අවදි කළාය.
"ඇයි දුව?"
"තාත්තා... තාත්තා ඩොක්ටර් කෙනෙක් වුණේ... තාත්තාට ඇත්තටම ඕන වෙලාද?"
මේසය මත තිබූ හැඳි ගෑරුප්පු ගැටෙන හඬ නතර විය. සුගත් සහ නිලූකා එකිනෙකා දෙස බලා ගත්හ. එය සසදිගෙන් බලාපොරොත්තු නොවුණු ප්‍රශ්නයකි.
"ඇයි දුව එහෙම අහන්නේ?" තාත්තා සිනාසුණේය. "වෛද්‍යවරයෙක් වෙනවා කියන්නේ ලෝකේ තියෙන උතුම්ම රස්සාව. මගේ තාත්තා, ඒ කියන්නේ ඔයාගේ සීයත් වෛද්‍යවරයෙක්. ඉතින් මට පොඩි කාලේ ඉඳන්ම ඕන වුණේ ඒ පාරේ යන්න."
"ඔව් දුව," අම්මා එකතු කළාය. "අපි දෙන්නම මේ තැනට ආවේ ගොඩක් මහන්සි වෙලා. ඔයාටත් අපි හදලා දෙන්නේ ඒ පාරම තමයි. ඔයාට තියෙන්නේ ඒක දිගේ යන්න විතරයි."
සසදිගේ උගුරේ යමක් සිරවී ඇති බවක් දැනුනි. 'ඒක දිගේ යන්න විතරයි.' අකේෂ්ගේ වචන නැවතත් ඇගේ කන අසල දෝංකාර දුන්නේය. ඇගේ දෙමාපියන්ට එය පෙනෙන්නේ රන් මාවතක් ලෙසය. නමුත් සසදිට එය පෙනෙන්නේ තාප්ප වලින් වට වූ උමගක් ලෙසය.
"මට... මට මහන්සියි. මම යනවා," සසදි අඩක් කෑ බත් පිඟාන එතැනම තබා නැගිට්ටාය.
"සසදි, ඉන්න. ඔයා හරියට කෑවේ නෑ," අම්මා කෑ ගැසුවත් සසදි නතර වූයේ නැත. ඇය කාමරයට දිව ගොස් දොර වසා ගත්තාය. ඇය ඇඳ මතට වැටී කොට්ටයේ මුහුණ ඔබා ගත්තාය. ඇඬීමක් ආවේ නැත. ඒ වෙනුවට ආවේ දැඩි හුදෙකලා හැඟීමකි. ඇගේ දෙමාපියන් නරක මිනිසුන් නොවේ. ඔවුන් ඇයට ආදරය කරයි. නමුත් ඔවුන් ඇයව දකින්නේ නැත.
ඇය නැවතත් 'ෂර්ලොක් හෝම්ස්' පොත අතට ගත්තාය. නමුත් අද පොතේ අකුරු බොඳ වී පෙනුණි. ප්‍රබන්ධ ලෝකය තුළ ඇයට අද සැනසීමක් නොවීය. යථාර්ථය ඇගේ දොරට තට්ටු කරමින් සිටියේය.
පසුදා පාසලේදී සසදි සිටියේ නොසන්සුන්වය. පාඩම් කිසිවක් ඇගේ ඔලුවට ගියේ නැත. විවේක කාලයේදී මල්කි ඇය අසලට ආවාය.
"මොකද බං අද මූණ නිකන් තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා?" මල්කි විහිළු කළාය. "ෂෙනාලි එක්ක වලියක්වත් ගියාද?"
"නෑ..." සසදි ජනේලයෙන් ඈත පෙනෙන පිරිමි පාසලේ ගොඩනැගිලි දෙස බැලුවාය. "මල්කි, පිරිමි ඉස්කෝලේ මැච් අද තියෙනවද?"
"අද? ඔව්, අද බිග් මැච් එකට කලින් තියෙන ෆ්‍රෙන්ඩ්ලි මැච් එකක් තියෙනවා ග්‍රවුන්ඩ් එකේ. ඇයි උඹට මැච් බලන්න යන්න හිතුණද?" මල්කි සිනාසුණාය.
"නෑ. නිකන් ඇහුවේ."
සසදිගේ හිතේ සැලැස්මක් ඇඳෙමින් තිබුණි. ෂෙනාලි පාසල ඇරුණු ගමන් ගේට්ටුව ළඟට එන බව කියා තිබුණි. අකේෂ් ක්‍රිකට් වලට අකමැති නම්, ඔහු අනිවාර්යයෙන්ම මැච් එක වෙලාවේ හොරෙන් පැනලා එන්නට ඉඩ ඇත. නැතහොත් ඔහු පුරුදු පරිදි ස්ටේෂන් එකට යනු ඇත.
පාසල ඇරෙන සීනුව නාද විය. සසදි වේගයෙන් පොත් බෑගය ලෑස්ති කර ගත්තාය. ඇය පන්තියෙන් එළියට බසින විටම ෂෙනාලි කොරිඩෝවේ රැඳී සිටියාය.
"යමුද මිෂන් එකට?" ෂෙනාලි ඇසුවේ අභියෝගාත්මක බැල්මකිනි. "අද ඌව අල්ලගත්තේ නැත්තම් මම ආයේ මේ වැඩේට නෑ."
"යමු," සසදි තදින් කීවාය.
ඔවුන් දෙදෙනා දුම්රිය ස්ථානයට ළඟා වන විට අහස කළු කරගෙන වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත්තේය. මිනිසුන් වැස්සෙන් බේරීමට දුම්රිය ස්ථානයේ වහලය යටට දිව ගියහ.
"අපරාදේ... අද නම් ඌ එන එකක් නෑ," ෂෙනාලි නොසන්සුන්ව කීවාය.
නමුත් සසදිගේ දෑස් වේදිකාවේ කෙළවරේ තිබූ පාලු බංකුව සොයා ගියේය. වැස්ස නිසා තෙත බරිත වූ වේදිකාවේ, කුඩයක්වත් නොමැතිව, තෙමෙන වැස්ස ගැන තැකීමක් නොකර ඔහු එහි වාඩි වී සිටියේය. මෙවර ඔහු අතේ පොතක් නොවීය. ඔහු නිකම්ම හිස් අහස දෙස බලා සිටියේය. වැහි බිංදු ඔහුගේ මුහුණ දිගේ ගලා ගියේ කඳුළු මෙනි.
"අන්න එයා ඉන්නවා," සසදි මිමිණුවාය.
"පිස්සෙක්ද මන්දා. තෙමෙනවා අර."
සසදි තමන්ගේ කුඩය දිග හැර ගත්තාය. ඇය ෂෙනාලි දෙස බැලුවේවත් නැත. ඇය කෙලින්ම අකේෂ් දෙසට පිය මැන්නාය. ඇගේ හදවත ගැහෙමින් තිබුණත්, මේ මොහොතේ ඇය පසුබට වූයේ නැත.
ඇය ඔහු අසලට ගොස් කුඩය ඔහුට ඉහළින් ඇල්ලුවාය. වැස්සේ ශබ්දය මැද ඒ හදිසි සෙවනැල්ල නිසා අකේෂ් ගැස්සී හිස ඔසවා බැලුවේය. ඔහුගේ දෑස් රතු වී තිබුණි. ඔහු අඬා ඇති බව පැහැදිලිය.
සසදි කිසිවක් කීවේ නැත. ඇය නිකම්ම ඔහු දෙස බලා සිටියාය. පොත් පිටු දහස් ගණනක් කියවා තිබුණත්, සැබෑ මනුස්සයෙකුගේ වේදනාව කියවීම ඊට වඩා සංකීර්ණ බව ඇයට වැටහුණි.
"ඔයා..." අකේෂ් පුදුමයෙන් මිමිණුවේය.
"ඔයා කැමති නෑ තෙමෙන්න. ඒත් ඔයාට යන්න තැනක් නෑ," සසදිගේ මුවින් වචන පිටවුණේ ඇය නොදැනුවත්වමය. "මටත් එහෙමයි.""
අකේෂ් මද වේලාවක් සසදි දෙස බලා සිටියේය. වචනවලට පෙරළිය නොහැකි බැල්මකින් ඔහු ඇයව මැන බලන බවක් නොපෙනුණි. ක්‍රිකට් පිටියේ හූ හඬ මැදවත්, ගෙදරදී පියාගේ විධානයන් මැදවත් ඔහුට නොදැනුණු නිශ්චල බවක්, මේ ආගන්තුක ගැහැණු ළමයාගේ කුඩය යට ඔහුට දැනුණි.
"ඇයි ඔයා එහෙම කිව්වේ?" අකේෂ් ඇසුවේ හීන් හඬිනි.
"මොකද... මමත් ජීවත් වෙන්නේ අනුන්ගේ කතාවක." සසදි පිළිතුරු දුන්නාය. ඇගේ හදවතේ ගැස්ම දැන් සන්සුන් වී තිබුණි. "අපි දෙන්නම ඉන්නේ හිරවෙලා."
අකේෂ්ගේ මුවේ මද සිනහවක් ඇදුණි. එය දුක්බර සිනහවකි. "හිරවෙලා... ඔව්, ඒ වචනේ හරි."
ඒ මොහොතේම ෂෙනාලි දුවගෙන විත් කුඩය යටට රිංගුවාය. "අම්මෝ තෙමෙනවා! මොකද හලෝ මේ ලව් සීන් එකක් වගේ බලන් ඉන්නේ? අපි ආවේ වැඩකටනේ."
අකේෂ්ගේ මුහුණේ තිබූ මෘදු බව වහාම මැකී ගියේය. ඔහු නැවතත් පරණ රළු ස්වභාවයට මාරු විය. ඔහු නැගිට්ටේය. නමුත් මෙවර ඔහු යන්නට ගියේ නැත.
"හරි," ඔහු සසදි දෙස බලා කීවේය. "මම කරන්නම්."
ෂෙනාලිගේ ඇස් උඩ ගියාය. "සිරාවටම? ඉන්ටවීව් එක දෙනවද?"
"ඔව්. හැබැයි එක කොන්දේසියක් උඩ." අකේෂ් තමන්ගේ තෙත බරිත වූ බෑගය කරේ දාගත්තේය. "මගේ තාත්තා මේක දකින්න බෑ. මේක ලියන්න ඕනේ මම ක්‍රිකට් ගහන කෙනෙක් විදිහට නෙවෙයි. චිත්‍ර අඳින කෙනෙක් විදිහට විතරයි. ඒක කරන්න පුළුවන් නම් විතරක් මම එන්නම්."
"හා හා... අවුලක් නෑ. අපිට ඕනෙත් ඒකනේ," ෂෙනාලි සතුටින් උඩ පැනීමට ගියත් වැස්ස නිසා එය පාලනය කර ගත්තාය.
"හෙට හවස හතරට. මෙතනටම එන්න," අකේෂ් සසදිට කෙටි විධානයක් දුන්නේය. පසුව ඔහු වැස්ස නොතකාම වේදිකාව දිගේ ඇවිද ගොස් පැමිණි දුම්රියට ගොඩ විය. දුම්රියේ දොරකඩ සිට ඔහු අවසන් වරට සසදි දෙස බැලුවේය.
දුම්රිය ඇදී ගියේය. සසදි සහ ෂෙනාලි තනි විය.
"අඩෝ... උඹ නම් මාරයි ආ..." ෂෙනාලි සසදිගේ පිටට තට්ටුවක් දැම්මාය. "කොහොමද බං ඒ වැඩේ කළේ? මම හිතුවේ නෑ ඌ කැමති වෙයි කියලා. උඹට මන්තරයක්වත් පුළුවන්ද?"
සසදි සිනාසුණේ නැත. නමුත් ඇගේ හිතට අමුතුම සැහැල්ලුවක් දැනුණි. "නෑ ෂෙනාලි. මම කළේ ඇත්ත කිව්ව එක විතරයි."
එදා රාත්‍රියේ සසදි ගෙදර ගියේ වෙනදාට වඩා වෙනස් හැඟීමකිනි. ඇගේ කාමරයට ගොස් ඇය ජනේලය අරින විට වැස්ස පායලා තිබුණි. ගෙවත්තේ පිච්ච මල් සුවඳ තෙත පස් සුවඳත් සමඟ මුසුවී කාමරයට ගලා ආවේය.
ඇය මේසය මත තිබූ 'ෂර්ලොක් හෝම්ස්' පොත අතට ගත්තාය. නමුත් ඇය එය විවෘත කළේ නැත. ඇය එය ලාච්චුවට දමා වැසුවාය.
අද ඇයට අනුන්ගේ කතා කියවීමට අවශ්‍ය නැත. මන්ද, ඇගේම ජීවිතයේ පළමු පරිච්ඡේදය අද ලියවී අවසන් බව ඇයට දැනුණු බැවිනි. වැස්ස ඇයව තෙත් කළා පමණක් නොව, ඇයව අවදි කර තිබුණි. හෙට දවස කුමක් ගෙන එයිදැයි ඇය දන්නේ නැත. නමුත් පළමු වතාවට, හෙට දවස එනතුරු ඇය බලාපොරොත්තුවෙන් සිටියාය.
අදහස් (0)
තවම අදහස් නැත. පළමුවැන්නා වන්න!