හරිත පාරාදීසය 💚✨
by Uma
නුගේගොඩ නගරයේ අධික වාහන තදබදය මධ්‍යයේ වුවද වෙනුෂ්ගේ සිත තිබුණේ වෙනත් ලෝකයකය. ඝෝෂාකාරී හෝන් හඬත්, දුහුවිලි පිරුණු සුළඟත් ඔහුගේ වායු සමීකරණය කළ මෝටර් රථයේ වීදුරු ජනේලවලට පිටතින් හිර වී තිබුණද, ඒ කර්කශ බව ඔහුගේ සිතුවිලි පීරමින් ඇතුළට රිංගන්නට උත්සාහ කළේය. සුක්කානම මත ඇඟිලි තබමින් ඔහු ගැඹුරු හුස්මක් ගත්තේය.
ඔහු ප්‍රසිද්ධ බිස්නස්මන් කෙනෙක් වෙන නිශාන්ත ඒකනායකගේ සහ සිතාරා නිහන්තිගේ පුත් වෙනුෂ් අනුරාධ් ඒකනායකයි. වයස අවුරුදු 26 වන කොළඹ නගරයේ කාර්යබහුල ජීවිතයක් ගත කරන තරුණ ගෘහ නිර්මාණ ශිල්පියෙකි (Architect). කොළඹ ප්‍රභූ පැලැන්තියේ හැදී වැඩුණු වෙනුෂ්ට, සැප සම්පත්වලින් අඩුවක් නැත. ඔහු සතුව නවීන පන්නයේ මෝටර් රථයක් සහ සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇත. නමුත් ඔහු බොහෝ විට සරල ඇඳුම් පැළඳුම් වලට ප්‍රිය කරයි. ඔහුගේ පියාට අවශ්‍ය වූයේ ඔහුව ව්‍යාපාර ලෝකයට සම්බන්ධ කර ගැනීමට වුවද, වෙනුෂ් තෝරා ගත්තේ කලාව සහ තාක්ෂණය මුසු වූ ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයයි.
"වෙනුෂ්, උඹට ෂුවර්ද මේ ප්‍රොජෙක්ට් එක ගැන?"
වෙනුෂ්ගේ අසුනට පසෙකින් සිටි ඔහුගේ හොඳම මිතුරා මෙන්ම ව්‍යාපාරික හවුල්කරු ද වූ ධනුක තේශාන් සමරසිංහ ඇසුවේ ජංගම දුරකථනයෙන් දෑස් ඉවතට නොගෙනය. ධනුක සැමවිටම ප්‍රායෝගිකය. ඔහුට ඕනෑම ගොඩනැගිල්ලක් යනු සිමෙන්ති, ගඩොල් සහ ලාභය පමණි.
"ඔව් ධනුක... ඒ වලව්වේ මොකක්දෝ අමුතු ගතියක් තියෙනවා. ඒක නිකම්ම පරණ ගෙයක් නෙවෙයි. මට දැනෙන්නේ ඒක හරියට හුස්ම ගන්නවා වගේ." වෙනුෂ් පිළිතුරු දුන්නේ මීට සතියකට පෙර නුවරඑළියට නුදුරු මීදුම් පිරුණු කඳු මුදුනක පිහිටි ඒ අද්භූත නිවස දුටු මොහොත සිහිපත් කරමිනි.
"හුස්ම ගන්නවා?" ධනුක සමච්චල් සිනහවක් පෑවේය. "මචං, උඹ ආකිටෙක්ට් කෙනෙක්. කවියෙක් නෙවෙයි. ඒ ගෙදර තියෙන්නේ නුවරඑළිය ටවුන් එකෙන් ඈත අයිනේ. කවුද බං ඕක හොටෙල් එකක් කළාම නවතින්න එන්නේ? අනික ඔප්පුවේ විදියට ඕක අයිති වෙලා තියෙන්නේ 'වනරාජ' කියන පරම්පරාවට. ඒත් අන්තිම අයිතිකාරයා ගැන කිසිම සටහනක් නෑ."
වාහනය හයිලෙවල් පාරේ සිට අවිස්සාවේල්ල දෙසට හැරවීය. කොළඹ අහස අඳුරු කරමින් වැහි වලාකුළු එක්රොක් වෙමින් තිබුණි.
"ධනුක, හැම දේම බිස්නස් වලින් මනින්න එපා. මට පොඩි කාලේ ඉඳන් හීනයක් තිබුණා සොබාදහම එක්ක එකට බැඳුණු නිර්මාණයක් කරන්න. මේ වලව්ව ඒකට හොඳම තැන. අනික මට නිකමට වගේ හිතෙනවා ඒ ගෙදර මාව බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා."
"උඹේ ඔය කලාකාර පිස්සුව නම් කවදා හොඳ වෙයිද මන්දා." ධනුක හිස දෙපසට වැනුවේය.
පැය හතරක පමණ දීර්ඝ ගමනකින් පසුව ඔවුන් ළඟා වූයේ නුවරඑළියේ මායිම් ගම්මානයකටය. මීදුමෙන් වැසී ගිය ෆයිනස් ගස් පේළි අතරින් වැටී තිබූ බොරලු පාර වෙනුෂ්ගේ මෝටර් රථයට නුහුරු අත්දැකීමක් විය. වාහනය ඉදිරියට ඇදෙද්දී පරිසරය නිහඬ විය. ෆයිනස් ගස්වලින් හමන සිසිල් සුළඟත්, ඈතින් ඇසෙන දිය පහරක හඬත් හැර වෙනත් ශබ්දයක් නොවීය.
අවසානයේ ඔවුහු වලව්ව ඉදිරිපිට නතර වූහ.
එය ගල් බිත්තිවලින් නිම වූ, බ්‍රිතාන්‍ය යුගයේ ආභාෂය සහ දේශීය වාස්තු විද්‍යාව මුසු වූ අපූරු මන්දිරයකි. නමුත් එහි අමුතුම ලක්ෂණය වූයේ ගේ වටාම වැඩී තිබූ අසීමිත වැල් වර්ග සහ මල් පඳුරුය. සාමාන්‍යයෙන් පාළුවට ගිය නිවසක වැවෙන වල් පැලෑටි වෙනුවට එහි තිබුණේ ක්‍රමවත්ව වැඩුණු, දීප්තිමත් කොළ පැහැති අමුතුම ආකාරයේ ලතා මණ්ඩපයකි. ගෙය ඇතුළට යාමට තිබූ ප්‍රධාන දොරටුව පවා අඩක් පමණ වැසී තිබුණේ දම් පැහැති මල් පිපුණු විශාල වැලකිනි.
"මේක නම් මහා මූසල පෙනුමක් තියෙන තැනක්..." ධනුක වාහනයෙන් බැස වටපිට බලමින් කීවේය. ඔහුට දැනුනේ සීතලට වඩා යම්කිසි බියකි.
නමුත් වෙනුෂ්ට දැනුනේ ඊට හාත්පසින්ම වෙනස් හැඟීමකි. ඔහු වාහනයෙන් බැස වලව්ව දෙසට පිය මැන්නේය. ඒ මොහොතේම හමා ආ මඳ සුළඟක් ඔහුගේ මුහුණේ වැදුණේ ආදරණීය ස්පර්ශයක් මෙනි. වලව්වේ දොරකඩ තිබූ දම් පාට මල් වැල සුළඟට සෙලවුණේ වෙනුෂ්ට අත වනන්නාක් මෙනි.
"වෙනුෂ්, යතුර අර ගේට්ටුව ගාව ඉන්න මුරකාරය ළඟ ඇති නේද?" ධනුක කෑගැසුවේය.
"නෑ... මම ළඟ යතුරක් තියෙනවා. ලෝයර් මට කලින්ම එව්වා." වෙනුෂ් සාක්කුවෙන් පැරණි පිත්තල යතුරක් ඉවතට ගත්තේය. එය සාමාන්‍ය යතුරකට වඩා බරය. එහි මිට කොටසේ නෙළුම් මලක හැඩයට සමාන කැටයමක් විය.
ඔවුන් දෙදෙනා ප්‍රධාන දොරටුව අසලට ළං වූහ. වෙනුෂ් දොරේ යතුරු සිදුරට යතුර ඇතුළු කළේය. පුදුමයකට මෙන් වසර ගණනාවක් වසා දමා තිබූ දොරක යතුරක් කරකැවෙනවාට වඩා ඉතා සුමට ලෙස යතුර කැරකුණි.
"ක්‍රීස්..." හඬක් නගමින් දැවැන්ත තේක්ක ලී දොර විවෘත විය.
ඇතුළතින් හමා ආවේ දූවිලි සුවඳක් නොව, වර්ෂාවෙන් පසු තෙත් වූ පොළොවෙන් නැගෙන සුවඳට සමාන නැවුම් සුවඳකි. වෙනුෂ් සහ ධනුක ඇතුළට පිය තැබූහ.
විශාල සාලය මැද ලීයෙන් තැනූ පියගැටපෙළකි. බිත්තිවල එල්ලා තිබුණේ පැරණි සිතුවම්ය. නමුත් ඒ එකදු සිතුවමකවත් මිනිස් රූප නොවීය. ඒ සියල්ලේම තිබුණේ ඝන වනාන්තර, දිය ඇලි සහ අමුතු හැඩයේ සතුන්ගේ රූපයි.
"මේ පින්තූර දිහා බලපන්කෝ... මේවා ඇඳපු එකාට නම් හොඳටම පිස්සු." ධනුක බිත්තියක තිබූ විශාල සිතුවමක් දෙස බලමින් කීවේය. එහි වූයේ මිනිස් මුහුණක් සහිත පක්ෂියෙකුගේ රුවකි.
"නෑ ධනුක, මේවා හරිම ලස්සනයි. හරියට ජීවමානයි වගේ." වෙනුෂ් ඒ සිතුවම දෙසට ඇදී ගියේ නිරායාසයෙනි. ඔහුට දැනුනේ ඒ පක්ෂියාගේ දෑස් තමන් දෙස බලා සිටිනවා වැනි හැඟීමකි.
"හරි හරි, දැන් අපි කොහෙන්ද වැඩ පටන් ගන්නේ? මුලින්ම මේ වහලේ දිරපු ලී ටික අයින් කරන්න වෙයි." ධනුක වහාම තම ව්‍යාපාරික මනසට අවතීර්ණ විය.
"උඹ පහළ තට්ටුව පොඩ්ඩක් බලපන්. මම උඩ තට්ටුවට ගිහින් එන්නම්." වෙනුෂ් පැවසුවේ නිකමට මෙනි. ඔහුට අවශ්‍ය වූයේ මොහොතකට හෝ ධනුකගේ කියවිල්ලෙන් මිදී මේ නිවසේ හුදකලාව විඳ ගැනීමටයි.
ලී පියගැටපෙළ නැගගෙන වෙනුෂ් ඉහළ මාලයට ගියේය. පියගැටපෙළේ සෑම අඩියක්ම තබන විට ලෑලිවලින් නැගුණු හඬ නිවස පුරා දෝංකාර දුන්නේය. ඉහළ මාලය තරමක් අඳුරුය. ජනේල සියල්ලම පාහේ ඝන තිර රෙදිවලින් ආවරණය කර තිබුණි.
ඔහු දිගු කොරිඩෝව දිගේ ඉදිරියට ඇදෙද්දී කොරිඩෝවේ කෙළවරේ තිබූ අමුතු දොරක් ඔහුගේ නෙත ගැටුණි. අනෙක් දොරවල් තේක්ක ලීයෙන් සාදා තිබුණද, මෙම දොර සාදා තිබුණේ ඔප දමන ලද කළුවර ලීයෙන් බව පෙනෙන්නට තිබුණි. ඒ මත රිදී පැහැති අමුතු ලෝහයකින් ලියවැල් මෝස්තරයක් කැටයම් කර තිබුණි.
වෙනුෂ් ඒ දෙසට ඇදී ගියේ යම්කිසි මායාවකට හසු වූවෙකු මෙනි. ඔහුට පහළ සිට ධනුක කෑගසන හඬ ඇසුණද, එය ඇසුණේ ඉතා ඈතින් වගේය. ඔහුගේ සම්පූර්ණ අවධානය යොමු වී තිබුණේ ඒ කළුවර දොර වෙතය.
දොර අසලට ළං වූ ඔහු දුටුවේ දොරේ අගුලක් හෝ යතුරු සිදුරක් නොමැති බවයි. ඒ වෙනුවට දොර මැද රිදී පැහැති ලෝහයෙන් නෙළන ලද අත්ලක සටහනක් විය. එය හරියටම වෙනුෂ්ගේ අතේ ප්‍රමාණයට සමාන බව ඔහුට සිතුණි.
හදවත වේගයෙන් ගැහෙද්දී, ඔහු සෙමින් තම දකුණු අත ඔසවා දොරේ තිබූ අත්ල සලකුණ මත තැබුවේය.
ක්ෂණයකින් නිවස දෙදරුම් කන හඬක් ඇසුණි. වෙනුෂ්ගේ අත වටා රිදී පැහැති ආලෝකයක් විහිදෙන්නට විය. දොර මත තිබූ ලියවැල් කැටයම් පණ ලබන්නාක් මෙන් සෙලවෙන්නට පටන් ගත්තේය.
"වෙනුෂ්! මොකක්ද ඒ සද්දේ? පරිස්සමෙන්!" පහළ සිට ධනුකගේ භීතියෙන් පිරුණු කටහඬ ඇසුණි.
නමුත් වෙනුෂ්ට අත ආපසු ගැනීමට නොහැකි විය. දොර ඔහුව තමන් දෙසට අදින්නාක් මෙන් දැනුණි. කළුවර දොර සෙමින් විවෘත විය. එතුළින් දිස් වූයේ අඳුරු කාමරයක් නොව, ඇස් නිලංකාර කරන දීප්තිමත් හරිත වර්ණයකි. හමන සුළඟේ මල් සුවඳක් ගැබ් වී තිබුණි.
ඒ ආලෝකය අතරින් වෙනුෂ් දුටුවේ විශ්වාස කළ නොහැකි දසුනකි.
එම දීප්තිමත් හරිත ආලෝකය තුළින් වෙනුෂ් දුටුවේ කාමරයක බිත්ති හතර නොව, අනන්තය තෙක් විහිදී ගිය මහා වනාන්තරයකි. පුදුමය නම් ඔහු සිටියේ දෙමහල් නිවසක ඉහළ මාලයේ වුවද, දොරෙන් එපිට ඔහුගේ පය රැඳුණේ සිසිල් තණකොළ පලසක් මත වීමයි.
එතැන අහස තිබුණේ දම් පැහැයට හුරු අමුතුම වර්ණයකිනි. යෝධ ගස්වල අතු ඉති එකිනෙක වෙලී තිබුණේ හරිත වියනක් මෙනි. ඒ ගස් අතරින් පියාසර කළේ පක්ෂීන් නොව, ආලෝකය විහිදුවන කුඩා ජීවීන් සමූහයකි. සුළඟ හමන විට ගස්වල කොළ එකිනෙක ගැටෙන හඬින් නැඟුණේ මිහිරි සංගීත රාවයක් වැනි හඬකි.
"මේක... මේක වෙන්න බෑ..." වෙනුෂ් තමන්ටම මුමුණා ගත්තේය.
ඔහුගේ දෑස් ඉදිරියටම යොමු විය. ඈතින් පෙනෙන යෝධ නුග ගසක් වැනි වෘක්ෂයක් පාමුල, යම් කිසිවෙක් සිටගෙන සිටියේය. ඒ මනුෂ්‍ය රූපයකි. සුදු පැහැති සළුපිලිවලින් සැරසී සිටි ඈ, දිගු වරලස ලිහා දමාගෙන වෙනුෂ් දෙස බලා සිටියාය. ඇගේ දෑස්වල තිබුණේ බියක් නොව, අවුරුදු ගණනාවක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි කෙනෙකු දුටු විට ඇතිවන හඳුනාගැනීමේ බැල්මකි.
ඇය සෙමින් අත ඔසවා ඔහුට තමා වෙත එන්න යැයි ඉඟි කළාය.
වෙනුෂ්ගේ දෙපා ඉබේම ඉදිරියට ඇදෙන්නට විය. ඔහුට අවශ්‍ය වූයේ ඒ මායාකාරී ලෝකයට පියමැනීමටයි. ඒ සිසිල් සුළඟේ සුවඳ විඳ ගැනීමටයි.
"වෙනුෂ්!"
හදිසියේම පිටුපසින් ඇසුණු ගිගුම් දෙන කටහඬත් සමඟම වෙනුෂ්ගේ උරහිසින් දැඩිව අල්ලා යමෙකු ඔහුව ආපසු ඇද දැමුවේය. ඒ වේගයට ඔහු විසි වී ගොස් ලී පොළොව මත ඇද වැටුණි.
ක්ෂණයකින් 'දඩාස්' යන හඬින් කළුවර දොර වැසී ගියේය. හරිත ලෝකයත්, ඒ අද්භූත යුවතියත් අතුරුදන් විය. ඉතිරි වූයේ දූවිලි පිරුණු, අඳුරු කොරිඩෝව පමණි.
"උඹට පිස්සුද බං? මම කොච්චර කතා කළාද?"
ධනුක හති දමමින් වෙනුෂ් දෙස බලා සිටියේය. ඔහුගේ මුහුණේ තිබුණේ භීතිය මුසු කෝපයකි.
"ධනුක... අර දොර... උඹ දැක්කද ඒක ඇතුළේ..." වෙනුෂ් වෙව්ලන හඬින් ඇසුවේය. ඔහු තවමත් සිටියේ බිම වාඩි වී දොර දෙස බලාගෙනය.
"මොන දොරද? මේක ද?" ධනුක අත දිගු කළේ වෙනුෂ් විවෘත කිරීමට උත්සාහ කළ කළුවර ලී දොර දෙසටය. "මේක පරණ කබඩ් එකක්නේ බං. බලපන් මේකේ යතුරක් දාන්න හිලක්වත් නෑ. උඹ මේක ඇරගන්න බැරුව දඟල දඟල හිටියා. මම හිතුවේ උඹට කරන්ට් එක වැදුණා කියලා."
වෙනුෂ් හිස ඔසවා බැලුවේය. පුදුමයකි! මීට මොහොතකට පෙර රිදී පැහැයෙන් දිදුලමින්, අත්ලක සටහනක් තිබූ ඒ අද්භූත දොර දැන් පෙනෙන්නට තිබුණේ දිරා ගිය, සාමාන්‍ය පෙනුම ඇති පැරණි අල්මාරියක පියනක් ලෙසිනි. එහි කිසිදු කැටයමක් හෝ රිදී ආලෝකයක් නොවීය.
"ඒත්... මම ඒක ඇතුළට ගියා ධනුක. එතන කැලෑවක් තිබුණා." වෙනුෂ් නැගිටීමට උත්සාහ කරමින් කීවේය.
ධනුක වෙනුෂ්ගේ අතින් අල්ලා ඔහුට නැගිටීමට උදව් කළේය. "මචං, උඹට මහන්සියි. උදේ ඉඳන් ඩ්‍රයිව් කරලා, බඩගින්නේ ඉඳලා උඹට කලන්තේ වගේ හැදෙන්න ඇති. අනික මේ ගේ අඳුරුයි. හිතට හරි නෑ වගේ නම් අපි දැන්ම යමු. ටවුන් එකෙන් රූම් එකක් අරන් හෙට එමු."
ධනුකගේ ප්‍රායෝගික වචන වෙනුෂ්ගේ සිතේ දෙගිඩියාවක් ඇති කළේය. ඔහු දැක්කේ හීනයක්ද? මායාවක්ද? නැත්නම් සැබෑවක්ද? නමුත් ඔහුගේ අතේ තවමත් අමුතු උණුසුමක් රැඳී තිබුණි. ඒ, දොර මත අත තැබූ විට දැනුණු උණුසුමයි.
"නෑ... අපි යන්න ඕනේ නෑ." වෙනුෂ් තීරණාත්මකව කීවේය. ඔහුගේ හිතේ කොනක බියක් තිබුණද, ඊට වඩා වැඩි කුතුහලයක් සහ ආකර්ෂණයක් ඒ කළුවර දොර වෙත ඇති වී තිබුණි. "අපි අද මෙහෙ ඉමු. මට මේ ගෙදර ගැන තව ටිකක් ස්ටඩි කරන්න ඕනේ. උඹට බය නම් උඹ කාර් එකේ නිදාගන්න."
"මට බය? පිස්සුද යකෝ." ධනුක සිනාසුණද ඔහුගේ දෑස් වරින් වර වටපිටාවේ අඳුරු මුලූ වෙත යොමු විය. "හරි හරි, අපි මෙහෙ ඉමු. හැබැයි මම පහළ සාලේ ඉන්නේ. උඹට ඕන නම් උඹ උඩ තට්ටුවේ, ඔය කබඩ් එක අස්සේ රිංගලා නිදාගන්න."
ධනුක විහිළුවට මෙන් එසේ කීවද, වෙනුෂ්ට එය විහිළුවක් නොවීය.
රාත්‍රිය එළඹියේ වේගයෙනි. නුවරඑළියට ආවේණික සීතල මීදුම වලව්ව වටා එතෙමින් ජනේල තුළින් රිංගා ගැනීමට උත්සාහ කළේය. ඔවුන් දෙදෙනා පහළ මාලයේ සාලය මැද කුඩා ගෑස් ලිපක් දල්වාගෙන නූඩ්ල්ස් ටිකක් තම්බා ගත්හ. පැරණි ලාම්පුවක එළිය හැර මුළු නිවසම ගිලී තිබුණේ ඝන අන්ධකාරයේය.
ධනුක ඉක්මනින් නින්දට වැටුණේ සෝපාව මතය. ඔහුගේ ගොරවන හඬ පාලු නිවසේ නිහැඬියාව බිඳ දැමීය. නමුත් වෙනුෂ්ට නින්ද අහලකවත් නොවීය. ඔහු සිටියේ සාලයේ තිබූ පැරණි ලී පුටුවක වාඩි වී, ඉහළ මාලයට යන පියගැටපෙළ දෙස බලාගෙනය.
ඔහුගේ සිත නැවත නැවතත් ඉහළ මාලයේ තිබූ දොර වෙත දිව ගියේය. ඒ යුවතිය කවුද? ඇය ඔහුව හැඳිනුවාද?
රාත්‍රී දොළහට ආසන්න වෙද්දී, නැවතත් ඒ සුවඳ දැනෙන්නට විය. තෙත් වූ පොළොවේ සහ පිච්ච මල්වල සුවඳ මුසු වූ ඒ අද්භූත සුවඳ ඉහළ මාලයෙන් පහළට ගලා ආවේය. ඒ සමඟම ඉතා සියුම් නූපුර හඬක් වැනි ශබ්දයක් පියගැටපෙළ දෙසින් ඇසෙන්නට විය.
"සිලි... සිලි..."
වෙනුෂ් හුස්ම ඉහළට ගෙන නතර කරගත්තේය. ඔහු සෙමින් පුටුවෙන් නැගිට්ටේය. ධනුක තද නින්දේය. වෙනුෂ් ශබ්ද නොනගා පියගැටපෙළ පාමුලට ගියේය.
එවර ඔහුට හොඳටම විශ්වාස විය. ඉහළ මාලයේ කොරිඩෝවේ යම් කිසිවෙකු ඇවිදින හඬක් ඇසෙයි. එය බර අඩි පාරක් නොවේ. ඉතා සැහැල්ලු, පාවෙන ගමනකි.
ඔහු සාක්කුවෙන් ජංගම දුරකථනය ගෙන එහි විදුලි පන්දම දල්වා ගත්තේය. ආලෝක ධාරාව පියගැටපෙළ දිගේ ඉහළට යොමු කළේය. කිසිවෙකු නැත. නමුත් පියගැටපෙළ මුදුනේ, අඳුර අතරින් දිලිසෙන යමක් ඔහු දුටුවේය.
එය කුඩා, කොළ පැහැති ආලෝක ලක්ෂ්‍යයකි. එය කණාමැදිරියෙකු මෙන් පෙනුනද, ඊට වඩා දීප්තිමත්ය. ඒ ආලෝක ලක්ෂ්‍යය වෙනුෂ් දෙස බලා සිටින්නාක් මෙන් මොහොතක් නතර වී, පසුව නැවතත් ඉහළ මාලයේ කොරිඩෝව දෙසට පියාසර කළේය. හරියටම අර කළුවර දොර තිබූ දිශාවටය.
"මට එන්න කියනවා..." වෙනුෂ්ගේ හදවත කීවේය.
ඔහුගේ තාර්කික මනස පැවසුවේ "යන්න එපා, ධනුකව ඇහැරවන්න" කියාය. නමුත් ඔහුගේ ආත්මය ඒ වන විටත් පියගැටපෙළ නගිමින් සිටියේය.
මේ අතර,
මායා ලෝකයේ (ආරණ්‍යයේ) දැවැන්ත නුග ගස මුදුනේ ඉදිකළ ලී මන්දිරයක, මිහිණි කලබලයෙන් ඔබ මොබ ඇවිදමින් සිටියාය. ඇගේ සුරතේ තිබූ කුඩා පළිඟු බෝලය තුළින් ඇය දුටුවේ පියගැටපෙළ නගින වෙනුෂ්ගේ රූපයයි.
"ඔහු එනවා..." ඇය තමාටම කියා ගත්තාය. නමුත් ඇගේ මුහුණේ තිබුණේ බියකි.
"මිහිණි, නුඹ දන්නවා නේද නුඹ කරන්න යන්නේ මොකක්ද කියලා?" ගොරෝසු හඬක් ඇසුණි.
මිහිණි ගැස්සී ගියාය. ඇය ආපසු හැරී බලන විට දුටුවේ ගසෙහි කඳ අතරින් මතු වූ අඳුරු සෙවනැල්ලකි. එය අඩක් මිනිස් හැඩය ගත්, අඩක් දැවී ගිය ගසක් මෙන් පෙනෙන රූපයකි.
"ගුරුතුමනි..."
"අග්නිගේ ඔත්තුකරුවන් දැනටමත් ඉව අල්ලනවා. නුඹ අර මනුෂ්‍යයාව මේ පැත්තට ගත්තොත්, දොරටුව ගැන රහස එළි වෙනවා. එතකොට අපිට ඒක නවත්තන්න බැරි වෙයි." ඒ රූපය අනතුරු ඇඟවීය.
"ඒත් ගුරුතුමනි, දොරටුව ඇරුණේ ඔහු නිසා. අවුරුදු සීයකට පස්සේ දොරටුවට පණ ආවේ ඔහුගේ ස්පර්ශයෙන්. ඔහු සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔහුට පුළුවන් අපිව බේරගන්න." මිහිණි තර්ක කළාය.
"නැත්නම් ඔහු අපිව විනාශ කරයි... මනුෂ්‍යයන්ව විශ්වාස කරන්න එපා මිහිණි. ඔවුන්ගේ ලෝකය යකඩ සහ ගින්දර විතරයි."
"මම ඔහුව විශ්වාස කරනවා." මිහිණි ස්ථිර හඬින් කීවාය.
නැවතත් පෘථිවි ලෝකයේ,
වෙනුෂ් කළුවර දොර ඉදිරිපිට සිටගෙන සිටියේය. මෙවර දොර සාමාන්‍ය කබඩ් එකක් මෙන් පෙනුනද, වෙනුෂ් දෑස් පියාගෙන තම අත්ල එය මත තැබුවේය.
"මට පෙන්නන්න... ඔයා කවුද කියලා මට පෙන්නන්න." ඔහු සිතින් ආයාචනා කළේය.
මෙවර ශබ්දයක් නැත. ආලෝකයක් නැත. නමුත් වෙනුෂ්ගේ අත ලී දොර හරහා ඇතුළට ගිලා බැස්සේ ජලය තුළට අත දමන්නාක් මෙනි. ඔහු තිගැස්සුණේය. දොර ඝන ද්‍රව්‍යයක් නොව, මීදුමක් බවට පත් වී තිබුණි. ඔහු හුස්ම තද කරගෙන, එක් පියවරක් ඉදිරියට තැබුවේය.
ඔහුගේ ශරීරයම ඒ සීතල මීදුම හරහා ගමන් කළේය.
ඔහු දෑස් විවර කරන විට සිටියේ කලින් දුටු වනාන්තරයේමය. නමුත් මෙවර ඔහු සිටියේ තනිව නොවේ. ඔහුගේ ගෙල අසලටම එල්ල වූ තියුණු උල් ආයුධයක් ඔහුට දැනුණි.
"සෙලවෙන්න එපා!" කවුරුන් හෝ ඔහුගේ කනට කෙඳිරුවේය.
වෙනුෂ්ගේ හුස්ම හිරවිය. ඔහුගේ ගෙලට එල්ල වී තිබුණේ යකඩ පිහියක් නොවේ. එය අතිශයින්ම තියුණු, කළු පැහැති දිගු කටුවකි. හරියට යෝධ ඉත්තෑ කටුවක් මෙන් වූ එය අල්ලාගෙන සිටි අත දැඩි හා රළු විය.
"කතා කරපන්! තෝ අග්නිගේ චරපුරුෂයෙක්ද?"
වෙනුෂ් සෙමින් හිස හරවා බැලීමට උත්සාහ කළේය. ඔහු අල්ලාගෙන සිටියේ උස, ශක්තිමත් තරුණයෙකි. ඔහුගේ සිරුරේ ඉහළ කොටස නිරුවත් වූ අතර, එහි කොළ සහ දුඹුරු පැහැති අමුතු පච්ච කොටා තිබුණි. පුදුමය නම්, ඔහුගේ සමහර ස්ථානවලින් කුඩා අතු සහ කොළ වැඩී තිබීමයි. ඔහු හරියට මනුෂ්‍යයෙක් සහ ගසක් අතර අතරමැදි ජීවියෙක් වැනිය.
"මම... මම දන්නේ නෑ ඔය අග්නි කවුද කියලා..." වෙනුෂ් අමාරුවෙන් වචන ගලපා ගත්තේය. "මම ආවේ අර දොරෙන්..."
"දොරෙන්?" ඒ තරුණයාගේ දෑස් විශාල විය. "බොරු නොකියපන්! දොර වැහිලා අවුරුදු ගාණක්. මනුෂ්‍යයෝ ඒක දැකලවත් නෑ."
තරුණයා කටුව තව තවත් වෙනුෂ්ගේ ගෙලට තද කළේය. සුළු වේදනාවක් සමඟ ලේ බිඳක් ගෙල දිගේ ගලා ගියේය.
"නවත්වන්න විහඟ!"
ඒ හඬත් සමඟම ගස් මුදුන් අතරින් හමා ආ සුළඟක් මෙන් යම් කිසිවෙක් බිමට පතිත විය. ඒ මිහිණිය. ඇය වෙනුෂ් කලින් දුටුවාටත් වඩා තේජාන්විත ලෙස පෙනුණි. ඇය හැඳ සිටි සුදු පැහැති සළුපිළි අතරින් නිල් පැහැති ආලෝකයක් විහිදෙමින් තිබුණි.
විහඟ නම් වූ ඒ ආරක්ෂකයා වහාම වෙනුෂ්ව අතහැර පසෙකට වී හිස නැමුවේය.
"ආරක්ෂක දේවියනි, මේ ආගන්තුකයා..."
"මම දන්නවා විහඟ. ඔහු ආවේ දොරටුවෙන්. මමයි ඔහුව ගෙන්වා ගත්තේ." මිහිණිගේ හඬ සන්සුන් වුවද එහි අණ දෙන ස්වභාවයක් ගැබ්ව තිබුණි.
වෙනුෂ් දණහිස් මත අත් තබා හති ඇරියේය. ඔහුගේ හදවත තවමත් වේගයෙන් ගැහෙමින් තිබුණි. ඔහු වටපිට බැලුවේය. මේ ඔහු සිටින්නේ සිහිනයක නොවන බවට ඔහුගේ ගෙලෙන් ගලන ලේ බිංදුව සාක්ෂි දැරුවේය.
මිහිණි සෙමින් වෙනුෂ් වෙත ළං වූවාය. ඇගේ දෑස්වල තිබුණේ කුතුහලයකි. ඇය තම සිහින් ඇඟිලි තුඩු වෙනුෂ්ගේ මුහුණ වෙත ගෙන ආවාය. ඇගේ ස්පර්ශය පුදුමාකාර ලෙස සිසිල්ය. හරියටම උදෑසන පින්න වැනිය.
"ඔයා ඇත්තටම ආවා..." ඇය මුමුණා කීවාය. "මම හිතුවේ නෑ නගරයේ දූවිලි එක්ක ජීවත් වෙන කෙනෙක්ට මේ දොරටුව අරින්න පුළුවන් වෙයි කියලා."
වෙනුෂ් ඇගේ දෑස් දෙස කෙලින්ම බැලුවේය. "කවුද ඔයා? මේ කොහෙද? ඇයි මාව මෙහෙට ගත්තේ?" ඔහු ප්‍රශ්න වැලක් ඇසුවේය.
"මම මිහිණි. මේ 'ආරණ්‍යය'. නුඹලාගේ ලෝකය සහ අපේ ලෝකය වෙන් කරන මායිම." ඇය පවසන විටම ඇගේ දෑස් වෙනුෂ්ගේ කලිසම් සාක්කුවේ තිබූ ජංගම දුරකථනය වෙත යොමු විය. එහි තිරය නිවී දැල්වෙමින් තිබුණි.
"ඔය යන්ත්‍රය... ඒක විසි කරන්න වෙනුෂ්. මෙහෙට ඕවා ගේන්න බැහැ. ඕවායේ තියෙන කෘතිම තරංග අපේ ගස්වලට වසක් වගේ." ඇය තරමක් සැරෙන් කීවාය.
වෙනුෂ් පුදුමයෙන් දුරකථනය අතට ගත්තේය. එහි සිග්නල් නැත. නමුත් තිරය මත අමුතු රටා මැවෙමින් තිබුණි.
"විසි කරන්න!" විහඟ කෑගැසුවේය.
ඒ සමඟම ඈත අහසේ විශාල ගිනි බෝලයක් වැනි යමක් පුපුරා යන හඬක් ඇසුණි. මුළු වනාන්තරයම රතු පැහැයෙන් ආලෝකමත් විය. පක්ෂීන් කෑගසමින් අහසට පියාඹන්නට වූහ.
"අග්නි!" විහඟ භීතියෙන් කෑගැසුවේය. "උන් දොරටුව ඇරුණ බව දැනගෙන. උන් එනවා!"
මිහිණි වහාම වෙනුෂ්ගේ අතින් අල්ලා ගත්තාය. "අපිට මෙතන ඉන්න වෙලාවක් නෑ. අග්නිගේ 'අළු බූතයෝ' සුවඳ ඉව කරගෙන එනවා. යමු!"
"කොහෙටද?" වෙනුෂ් ඇසුවේය.
"මුල් මණ්ඩපයට. එතන විතරයි දැනට ආරක්ෂිත."
ඔවුන් තිදෙනා වනාන්තරය හරහා දිව යන්නට වූහ. වෙනුෂ්ට මෙය අලුත් අත්දැකීමක් විය. ඔහු පුරුදුව සිටියේ කොන්ක්‍රීට් පොළොවේ ඇවිදීමටය. මෙහි පොළොව මෘදුය, ලිස්සන සුළුය. යෝධ මුල් උඩින් පනිමින්, වැල් අතරින් රිංගමින් යන ගමන ඔහුට වෙහෙසකර විය. නමුත් මිහිණි සහ විහඟ ගමන් කළේ සුළඟේ පාවෙන පිහාටු මෙනි. ඔවුන්ගේ පාද පොළොවේ වදින්නේවත් නැති තරම්ය.
ටික දුරක් යද්දී වෙනුෂ්ගේ පය පැටලී ඔහු බිම ඇද වැටුණි.
"නැගිටින්න!" විහඟ කෑගැසුවේ ඔහුට අත දෙමිනි.
එවිටම ඔවුන්ට පිටුපසින් ගස් කඩාගෙන වැටෙන හඬක් ඇසුණි. වෙනුෂ් ආපසු හැරී බැලුවේය. ඔහු දුටු දෙයින් ඔහුගේ ලේ නහර සීතල විය.
ඔවුන් පසුපස හඹා එමින් සිටියේ සාමාන්‍ය මිනිසුන් නොවේ. කළු පැහැති දුමාරයකින් සැකසුණු, ඇස් වෙනුවට රතු පැහැති ගිනි පුපුරු ඇති විරූපී ජීවීන් පිරිසකි. ඔවුන් ගමන් කරන විට ඔවුන් පා තබන තැන තණකොළ පිලිස්සී අළු වී යයි.
"අළු බූතයෝ..." මිහිණිගේ හඬ වෙව්ලන්නට විය. "වෙනුෂ්, දුවන්න! ආපහු හැරිලා බලන්න එපා!"
නමුත් වෙනුෂ්ට දිවීමට පෙර එක් භූතයෙක් ඔහු දෙසට පිනුම් ගැසුවේය. උගේ අතේ තිබුණේ ගිනි ඇවිලෙන කසයක් වැනි ආයුධයකි.
"පරෙස්සමෙන්!" විහඟ තමා අත තිබූ දිගු හෙල්ලය වැනි ආයුධය (එය ලීයෙන් තනා තිබුණත් වානේ මෙන් ශක්තිමත් බව පෙනුණි) ගෙන භූතයාගේ පහර වැළැක්වීය. ගින්දර සහ ලී ගැටෙන විට අමුතුම පුපුරන ශබ්දයක් නැගුණි.
"විහඟට තනියම බැහැ..." මිහිණි වටපිට බැලුවාය. ඇය අසල තිබූ විශාල දිය කඩිත්තක් දෙසට දෑත් දිගු කළාය.
වෙනුෂ් බලා සිටියදීම, ඇය යම් මන්ත්‍රයක් මිමිණුවාය. ක්ෂණයකින් දිය කඩිත්තේ ජලය සර්පයෙකු මෙන් අහසට එසවී අර ගිනිමය භූතයා වෙත වේගයෙන් කඩා පැන්නේය. ජලය සහ ගින්දර ගැටීමෙන් විශාල වාෂ්ප වලාවක් නිර්මාණය විය. භූතයා වේදනාවෙන් කෑගසමින් පසුපසට විසි විය.
"වතුර... ඔයාට වතුර පාලනය කරන්න පුළුවන්ද?" වෙනුෂ් විශ්මයෙන් ඇසුවේය.
"කතා කර කර ඉන්න වෙලාවක් නෑ මෝඩයෝ!" විහඟ කෝපයෙන් කෑගැසුවේය. "තව එනවා!"
දුමාරය අතරින් තවත් රතු ඇස් දස දොළහක් මතු විය.
"වෙනුෂ්, මගේ අත අල්ලගන්න." මිහිණි වෙනුෂ් වෙත අත දිගු කළාය. "අපි ගස් උඩින් යන්න ඕනේ. ඔයා මාව විශ්වාස කරනවා නේද?"
වෙනුෂ් මොහොතක් ඇගේ ගැඹුරු දෑස් දෙස බැලුවේය. ඔහුගේ තර්ක බුද්ධිය පැවසුවේ මෙය කළ නොහැකි බවයි. නමුත් ඔහුගේ හදවත පැවසුවේ මෙය පමණක්ම මග බවයි.
"මම විශ්වාස කරනවා."
ඔහු ඇගේ අත තදින් අල්ලා ගත්තේය.
මිහිණිගේ අතින් නිල් පැහැති ආලෝක ධාරාවක් වෙනුෂ්ගේ සිරුරට ගලා ආවේය. ඔහුට දැනුනේ තමාගේ බර නැති වී යනවා වැනි හැඟීමකි. ඊළඟ මොහොතේ මිහිණි ඉහළට පැන්නාය. පුදුමයකි! වෙනුෂ් ද ඇය සමඟම අඩි විස්සක් පමණ ඉහළට ඉපිලී ගොස් යෝධ ගසක අත්තක් මත පතිත විය.
"මේක... මේක ගුරුත්වයට විරුද්ධයි..." වෙනුෂ් අත්තක එල්ලෙමින් කීවේය.
"මේ ආරණ්‍යය වෙනුෂ්. මෙහේ නීති ලියවෙලා තියෙන්නේ සොබාදහමේ භාෂාවෙන්." මිහිණි ඔහුට නැගිටීමට උදව් කළාය.
ඔවුන් දැන් සිටියේ බිම සිට අඩි පනහක් පමණ ඉහළිනි. පහළින් විහඟ තවත් භූතයන් දෙදෙනෙකු සමඟ සටන් කරමින් සිටියේය.
"විහඟව දාලා යන්නද හදන්නේ?" වෙනුෂ් ඇසුවේය.
"විහඟට එන්න පුළුවන්. ඔහු වඳුරෙක්ට වඩා වේගවත්." මිහිණි කීවාය. ඇය හූ හඬක් වැනි ශබ්දයක් නැගුවාය. එය ඇසුණු විහඟ, එකවරම භූතයන්ගේ හිසට පයින් පහරක් දී, අසල තිබූ වැලක එල්ලී වේගයෙන් ඉහළට පැමිණියේය.
"යමු, ඉක්මනට."
ඔවුන් ගසෙන් ගසට පනිමින් ඉදිරියට ගියහ. වෙනුෂ්ට මෙය සිහිනයක් මෙන් විය. ඔහු සිටින්නේ කොළඹ කාර්යාලයේ පුටුවක නොව, අහස උසට වැඩුණු ගස්වල අතු මතය.
පැයක පමණ වෙහෙසකර ගමනකින් පසු ඔවුන් ළඟා වූයේ දැවැන්ත ගල් පර්වතයකින් වට වූ රහසිගත ස්ථානයකටය. එහි මැද අහස උසට විහිදුණු පුරාණ නුග ගසකි. එහි මුල් එකිනෙක වැඩී ස්වභාවික ගොඩනැගිල්ලක් නිර්මාණය වී තිබුණි.
"මේ 'මුල් මණ්ඩපය'. අපේ නායකයා ඉන්නේ මෙතන." මිහිණි හති අරිමින් කීවාය.
වෙනුෂ් බිම වාඩි විය. ඔහුගේ ඇඳුම් ඉරී ගොස්, සිරුර පුරා සීරීම් තුවාල ඇති වී තිබුණි. ඔහු නැවතත් ජංගම දුරකථනය ගෙන බැලුවේය. එය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබුණි.
"දැන්වත් කියනවද මොකක්ද මේ වෙන්නේ කියලා?" වෙනුෂ් ඇසුවේය. "කවුද අර ගිනි බෝල මිනිස්සු? ඇයි මම මෙහෙට ගෙන්නුවේ?"
මිහිණි සහ විහඟ එකිනෙකා දෙස බැලූහ. ඉන්පසු මිහිණි වෙනුෂ් අසලින් වාඩි වූවාය.
"අවුරුදු දහසකට කලින්, මනුෂ්‍ය ලෝකයයි අපේ ලෝකයයි එකට තිබුණේ. මිනිස්සු ගස් එක්ක කතා කළා. සත්තු එක්ක ජීවත් වුණා. ඒත් පස්සේ මිනිස්සුන්ට බල තණ්හාව ආවා. ඔවුන් සොබාදහම පාලනය කරන්න හැදුවා. ඒ නිසා අපේ මුතුන් මිත්තෝ මායාව පාවිච්චි කරලා ලෝක දෙක වෙන් කළා."
"ඉතින්?"
"අග්නි කියන්නේ ඒ වෙන් කිරීමට විරුද්ධ වුණු කෙනෙක්. ඔහුට ඕනේ වුණේ මිනිස්සුන්ගේ තාක්ෂණයයි, අපේ මායාවයි එකතු කරලා මුළු විශ්වයම පාලනය කරන්න. ඔහු ගින්දර සහ විනාශයේ අධිපතියා. ඔහු අවුරුදු සීයක් හිරවෙලා හිටියා. ඒත් දැන් ඔහු නැවත අවදි වෙලා."
මිහිණිගේ දෑස්වල කඳුළු පිරී තිබුණි.
"අග්නිට ඕනේ දොරටුව විනාශ කරන්න නෙවෙයි, දොරටුව සම්පූර්ණයෙන්ම ඇරලා තියන්න. එතකොට ඔහුට පුළුවන් ඔහුගේ අළු බූත හමුදාව මනුෂ්‍ය ලෝකයට යවන්න. හිතන්න වෙනුෂ්, නුඹලාගේ කොන්ක්‍රීට් නගරවලට මේ වගේ ගිනි භූතයෝ ආවොත් මොකද වෙන්නේ?"
වෙනුෂ්ගේ සිතට නැගුණේ කොළඹ නගරය ගිනි ගොඩක් බවට පත් වන අයුරුයි.
"ඉතින් මම මොනවද කරන්න ඕනේ?"
"දොරටුව අරින්න පුළුවන් වුණේ ඔයාට විතරයි. ඒ කියන්නේ දොරටුව වහන්න පුළුවන් වෙන්නෙත් ඔයාට විතරයි." විහඟ මැදිහත් විය. "හැබැයි ඒකට ඔයාට 'වනරාජ' පරම්පරාවේ ලේ තියෙන්න ඕනේ. ඔයාට ෂුවර්ද ඔයාගේ පරම්පරාව ගැන?"
වෙනුෂ් ගැස්සී ගියේය. ඔහුගේ සීයා නිතරම කී කතාවක් ඔහුට මතක් විය. 'අපේ මුතුන් මිත්තෝ ආවේ කැලෑවෙන් පුතා. අපි කැලෑවට ණයයි.'
"මම දන්නේ නෑ..." වෙනුෂ් කීවේය.
"අපි ඒක හොයාගමු. හැබැයි ඊට කලින් අපි 'ගුරුතුමා' මුණගැහෙන්න ඕනේ." මිහිණි නැගිට්ටාය. "ඔහු ඇතුළේ ඉන්නවා."
ඔවුන් නුග ගසේ මුල් අතරින් සෑදුණු දොරටුව දෙසට ගමන් කළහ. එතැනින් හමා ආවේ අමුතුම ආකාරයේ සන්සුන් බවකි.
වෙනුෂ් ඇතුළට පය තබනවාත් සමඟම, ඇතුළත සිටි අයෙක් කතා කළේය.
"ආවා නේද... මම බලාගෙන හිටියේ නුඹ එනකම්."
ඒ හඬ වෙනුෂ්ට නුපුරුදු වුවත්, හිතට ඉතා සමීප බවක් දැනුණි.
නුග ගසේ මුල් අතරින් තැනුණු ඒ විසල් කුටිය ඇතුළත තිබුණේ පුදුමාකාර නිහැඬියාවකි. පිටතින් ඇසුණු කුරුළු හඬ හෝ සුළඟේ හඬ මෙහි ඇසුණේ නැත. ඒ වෙනුවට ඇසුණේ ගැඹුරු හුස්ම ගන්නා හඬක් පමණි. කුටිය මැද ස්වභාවිකවම වැඩුණු මුල්වලින් සැකසුණු ආසනයක් මත හිඳගෙන සිටියේ මිනිසෙකු යැයි කීමට අපහසු තරම් වයෝවෘද්ධ රූපයකි.
ඔහුගේ සම වියළි ගසක පොත්තක් මෙන් රැලි වැටී තිබුණි. හිසකෙස් සහ රැවුල පාසි වැනි කොළ පැහැයකින් යුක්ත විය. එහෙත් ඔහුගේ දෑස්... ඒ දෑස් තරුණ කොලුවෙකුගේ මෙන් දීප්තිමත්ය. නිල් මැණික් කැට දෙකක් මෙන් දිදුලන ඒ දෑස් වෙනුෂ්ගේ ආත්මය විනිවිද යන්නාක් මෙන් දැනුණි.
"වෙනුෂ්..." ඒ වයෝවෘද්ධ රූපය නැවතත් කතා කළේය. ඔහුගේ හඬ ගැඹුරු ලිඳක් පතුලෙන් එන හඬක් මෙන් දෝංකාර දුන්නේය. "නුඹේ සීයාගේ මුහුණමයි නුඹට තියෙන්නේ."
වෙනුෂ් පුදුමයෙන් ගල් ගැසුණේය.
"ඔබ කොහොමද මගේ නම දන්නේ? මගේ සීයා ගැන දන්නේ කොහොමද?" වෙනුෂ් වෙව්ලන හඬින් ඇසුවේය.
"මම 'වනාධිපති'. මේ වනාන්තරයේ මතකය." ඔහු සෙමින් අත ඔසවා වෙනුෂ්ට තමා අසලට එන ලෙස ඉඟි කළේය. "නුඹේ සීයා, සයිමන් වනරාජ... ඔහු තමයි අන්තිමට මේ දොරටුවෙන් ඇතුල් වුණු මනුෂ්‍යයා. ඔහු මගේ හොඳම මිත්‍රයා."
මිහිණි සහ විහඟ ගෞරවයෙන් පසෙකට වී සිටියහ. වෙනුෂ් බියෙන් සහ කුතුහලයෙන් යුතුව වනාධිපති අසලට පිය මැන්නේය.
"සීයා...?" වෙනුෂ්ට මතක් වූයේ කුඩා කාලයේ සීයා ඔහුට කියා දුන් අමුතු කතන්දරයි. කතා කරන ගස් ගැන, අහසින් යන මිනිසුන් ගැන සීයා කියූ දේවල් වෙනුෂ් සිතුවේ සුරංගනා කතා ලෙසය. "ඒ කියන්නේ සීයා මට කිව්ව දේවල් ඇත්තද?"
"ඔව් දරුවෝ. නුඹේ පරම්පරාව සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. නුඹලා 'දොරටු පාලකයෝ'. ලෝක දෙකේම සමබරතාවය රැකගන්න අයිතිය තියෙන්නේ නුඹලාට විතරයි. ඒකයි නුඹ අත තිබ්බ ගමන් දොර ඇරුණේ. වෙන කෙනෙක් අත තිබ්බා නම් ඒ අත අළු වෙලා යනවා."
වනාධිපති තම වියළි අත වෙනුෂ්ගේ නළල මත තැබුවේය. ක්ෂණයකින් වෙනුෂ්ගේ ශරීරය පුරා විදුලි ධාරාවක් දිව ගියා වැනි හැඟීමක් ඇති විය. ඔහුගේ මනසට පින්තූර දහස් ගණනක් ගලා ආවේය. යෝධ ගස් කඩා වැටෙන අයුරු, ගිනි ජාලා මැදින් දිව යන මිනිසුන්, සහ කළු දුමාරයක් මැදින් සිනාසෙන අග්නිගේ රූපය...
වෙනුෂ් වේදනාවෙන් කෑගසාගෙන පස්සට පැන්නේය. ඔහු හති දමමින් බිම දණ ගැසුවේය.
"නුඹ දැක්කේ අනාගතය වෙනුෂ්..." වනාධිපති කණගාටුවෙන් කීවේය. "අග්නි දිනුවොත් වෙන දේ."
"ඒත් මම කොහොමද මේක නවත්තන්නේ? මම ආකිටෙක්ට් කෙනෙක්. මම දන්නේ ගෙවල් අඳින්න මිසක් යක්ෂයෝ එක්ක සටන් කරන්න නෙවෙයි!" වෙනුෂ්ගේ හඬේ තිබුණේ අසරණකමකි. "මට ඕනේ ගෙදර යන්න. ධනුක පහළ බලාගෙන ඇති."
"ධනුක ගැන බය වෙන්න එපා." මිහිණි ඉදිරියට ආවාය. "මේ ලෝකයේ ගත කරන පැයක්, මනුෂ්‍ය ලෝකයේ විනාඩියක් වගේ. ඔයා ආපහු යද්දී එහේ වැඩි වෙලාවක් ගත වෙලා තියෙන එකක් නෑ."
"ආපහු යනවා?" වෙනුෂ් හිස ඔසවා බැලුවේය. "මට යන්න පුළුවන්ද?"
"පුළුවන්. හැබැයි දැන්ම නෙවෙයි." වනාධිපති ගේ හඬ දැඩි විය. "දැන් දොරටුව අසල අග්නිගේ සේනාව රැකවල් දාගෙන ඉන්නේ. නුඹ එළියට ගිය ගමන් ඔවුන් නුඹව මරල දායි. නැත්නම් නුඹව ප්‍රාණ ඇපයට අරගෙන දොරටුව සම්පූර්ණයෙන්ම කඩා දමයි."
වෙනුෂ්ට උගුලක හසු වූවාක් මෙන් දැනුණි. ඔහුට ආපසු යාමක් නැත.
"වෙනුෂ්, අපිට උදව් කරන්න." මිහිණි ඔහුගේ අත අල්ලා ගත්තාය. මෙවර ඇගේ ස්පර්ශය වඩාත් දැඩි විය. "අග්නිව නවත්තන්න නම් අපිට 'වන හදවත' හොයාගන්න වෙනවා. ඒක තියෙන්නේ 'අඳුරු මිටියාවතේ'. ඒක හොයාගන්න පුළුවන් මනුෂ්‍ය ලේ තියෙන කෙනෙක්ට විතරයි."
"වන හදවත?"
"ඒක පළිඟුවක්. මුළු ආරණ්‍යයේම ජීව බලය තියෙන්නේ ඒකේ. අග්නි හදන්නේ ඒක අරගෙන මුළු ලෝකෙම පුච්චලා දාන්න."
වෙනුෂ් මොහොතක් නිහඬ විය. ඔහු දෙස බලා සිටින මිහිණිගේ දෑස්වල තිබූ බැගෑපත් බවත්, විහඟගේ මුහුණේ තිබූ නොඉවසිල්ලත්, වනාධිපතිගේ බැරෑරුම්කමත් ඔහුට දැනුණි. ඔහුට නිකම්ම පලා යා නොහැක. මේ මිනිසුන් - නැත, මේ ජීවීන් - ඔහු මත යැපෙයි. අනික, අර දර්ශනයේ දුටු ගින්දර සැබෑ ලෝකයට පැමිණියහොත් ඔහුගේ දෙමාපියන්, ධනුක, මේ සියල්ල විනාශ වනු ඇත.
"හරි..." වෙනුෂ් දීර්ඝ හුස්මක් පිට කළේය. "මම මොනවද කරන්න ඕනේ?"
වනාධිපතිගේ රැලි වැටුණු මුහුණේ සිනහවක් ඇඳුණි. "හොඳ තීරණයක් කොල්ලෝ. හැබැයි නුඹ ඔය විදියට ගිහින් වැඩක් නෑ. නුඹට පුහුණුවක් ඕනේ. නුඹේ ඇතුළේ තියෙන 'ප්‍රාණ බලය' අවදි කරගන්න ඕනේ."
"විහඟ," වනාධිපති ආරක්ෂකයා ඇමතීය. "වෙනුෂ්ව 'දිය දහරා තටාකය' වෙත අරගෙන යන්න. ඔහුගේ පළමු පාඩම පටන් ගන්න."
විහඟ හිස නැමුවේය. නමුත් ඔහුගේ මුහුණේ තිබුණේ අකමැත්තකි. "වනාධිපතිතුමනි, ඔහු තාම දුර්වලයි. දිය දහරා තටාකය ඔහුට දරාගන්න බැරි වෙයි."
"ඔහුට ඒක කරන්න වෙනවා. අපිට වෙලාව නෑ."
මිහිණි වෙනුෂ් දෙස බලා දිරිගන්වන සිනහවක් පෑවාය. "බය වෙන්න එපා වෙනුෂ්. මම ළඟින් ඉන්නම්."
ඔවුන් තිදෙනා වනාධිපතිගෙන් සමුගෙන කුටියෙන් පිටතට පැමිණියහ. නැවතත් වනාන්තරයේ සිසිල් සුළඟ වෙනුෂ්ගේ ගත දැවටුණි. නමුත් දැන් ඔහුට දැනුනේ කලින්ට වඩා වෙනස් හැඟීමකි. ඔහු තවදුරටත් ආගන්තුකයෙකු නොවේ. ඔහු මේ කතාවේ කොටස්කරුවෙකි.
"අහන්න 'වනරාජ' පුතා," විහඟ මඳක් සමච්චල් ස්වරූපයෙන් කතා කළේය. "ඔය ලස්සන කමිසයි කලිසනුයි ඇඳගෙන වතුරේ පිනුම් ගහන්න අමාරු වෙයි. මේවා ඇඳගන්නවා."
විහඟ අසල තිබූ විශාල පත්‍ර කිහිපයක් සහ වැල් කැබලි කිහිපයක් එකතු කර ක්ෂණයකින් අමුතු ඇඳුමක් සකසා වෙනුෂ්ට දුන්නේය. එය හරියට ගෝත්‍රික ඇඳුමක් වැනිය.
"මේක අඳින්න?" වෙනුෂ් අප්‍රසාදයෙන් ඇසුවේය.
"ඔව්. නැත්නම් ඔය රෙදි කෑලි වතුරට දිය වෙලා යයි."
වෙනුෂ් වෙන කරන්නට දෙයක් නැති තැන ගසක් පිටුපසට වී තමා ඇඳ සිටි බ්‍රෑන්ඩඩ් ඇඳුම් ගලවා දමා, විහඟ දුන් සොබාදහමේ ඇඳුම ඇඳ ගත්තේය. එය පුදුමාකාර ලෙස පහසුය. සැහැල්ලුය.
ඔවුන් ගමන් කළේ කඳු බෑවුමක් දෙසටය. ඈතින් විශාල ජල පහරක් කඩා හැලෙන හඬ ඇසෙන්නට විය.
"වෙනුෂ්," යන අතරතුර මිහිණි ඔහු අසලට ආවාය. "විහඟ ටිකක් සැරයි තමයි. ඒත් එයාගේ හිත හොඳයි. එයාගේ පවුලේ අයවත් අග්නි මැරුවා. ඒකයි එයා පිටස්තරයන්ට මෙච්චර වෛර කරන්නේ."
"මම පිටස්තරයෙක් නෙවෙයි කියලා එයාට ඔප්පු කරන්නම්." වෙනුෂ්ට නිරායාසයෙන්ම කියැවුණි.
ඔවුන් 'දිය දහරා තටාකය' වෙත ළඟා විය. එය අඩි සියයක් පමණ උසින් කඩා හැලෙන දිය ඇල්ලක් පාමුල තිබූ ස්වභාවික තටාකයකි. ජලය පළිඟු මෙන් පැහැදිලිය. එහෙත් ජල මතුපිට අමුතු නිල් පැහැති වාෂ්පයක් පාවෙමින් තිබුණි.
"මෙතන වතුර සාමාන්‍ය වතුර නෙවෙයි." විහඟ පැහැදිලි කළේය. "මේ වතුරට පුළුවන් කෙනෙක්ගේ හිතේ තියෙන බය, සැකය එළියට අදින්න. ඔයාට තියෙන්නේ මේ වතුරට බැහැලා, හුස්ම අල්ලගෙන විනාඩි පහක් ඉන්න."
"විනාඩි පහක්?" වෙනුෂ් කෑගැසුවේය. "පිස්සුද? විනාඩි දෙකක් හිටියත් මම මැරෙයි."
"මැරෙන්නේ නෑ. ඔයාගේ සීයා විනාඩි දහයක් හිටියා." විහඟ අභියෝගාත්මක බැල්මක් හෙළුවේය. "බැරි නම් දැන්ම ගෙදර යන්න හදන එක හොඳයි. හැබැයි අග්නි ආවම ඔයාගේ අම්මයි තාත්තයි බේරගන්න අපිට කතා කරන්න එපා."
ඒ වචන වෙනුෂ්ගේ හිතට හීයක් මෙන් වැදුණි. අම්මා... තාත්තා... ඔවුන්ගේ සිනාසෙන මුහුණු ඔහුට සිහිපත් විය.
වෙනුෂ් තටාකය දෙස බැලුවේය. එහි ගැඹුර පෙනුණේ නැත.
"මම කරනවා."
ඔහු ගැඹුරු හුස්මක් ගෙන, එකවරම සිසිල් ජලයට පැන්නේය.
ජලය අයිස් මෙන් සීතලය. එය ඔහුගේ ඇටකටු දක්වාම කිඳා බැස්සේය. වෙනුෂ් දිය යටට ගිලී ගියේය. ඔහු දෑස් විවර කර බැලුවේය. දිය යට ලෝකය පුදුමාකාරය. විවිධ වර්ණවල මාළුවෝ පීනති. එහෙත් හදිසියේම ජලයේ වර්ණය වෙනස් විය. එය රතු පැහැයට හැරුණි.
වෙනුෂ්ගේ හුස්ම හිරවෙන්නට පටන් ගත්තේය. ඔහුගේ පෙනහළු පිපිරෙන්නට මෙන් දඟලන්නට විය. ඔහුට උඩට යාමට අවශ්‍ය විය. ඔහු දෑත් ගසා උඩට පීනන්නට උත්සාහ කළේය.
නමුත් යම් කිසිවක් ඔහුගේ කකුලෙන් ඇද්දේය.
ඔහු පහළ බැලුවේය. දිය යට තිබූ වැල් කැබලි පණ ලබා, සර්පයන් මෙන් ඔහුගේ කකුල් වෙලාගෙන ඔහුව තව තවත් ගැඹුරට අදින්නට විය. මෙය පරීක්ෂණයක්ද? නැත්නම් මරු උගුලක්ද?
වෙනුෂ්ගේ දෑස් බොඳ වී ගියේය. සිහිය නැති වීගෙන එද්දී ඔහුට මිහිණිගේ වචන සිහි විය. 'ඔයාගේ ඇතුළේ තියෙන ප්‍රාණ බලය අවදි කරගන්න...'
'ප්‍රාණ බලය... ඒ මොකක්ද?' වෙනුෂ් සිතුවේය.
ඒ මොහොතේ ඔහුගේ පපුව මැදින් යම් උණුසුමක් දැනෙන්නට විය. කකුලේ වෙලී තිබූ වැල් බුරුල් වන බවක් ඔහුට දැනුණි. ඔහු මුළු ශක්තියම යොදා කෑගැසීමට උත්සාහ කළේය (වතුර යට වුවද).
ඒ සමඟම ඔහුගේ සිරුරෙන් රන්වන් පැහැති ආලෝකයක් විහිදුණි. වැල් කැබලි පිච්චී ගියාක් මෙන් ඉවත් විය. වෙනුෂ් රොකට් එකක් මෙන් වේගයෙන් දිය මතුපිටට විසි වී ආවේය.
"හූස්..."
ඔහු දිය මතුපිටට පැමිණ වේගයෙන් හුස්ම ගත්තේය.
තටාකයේ ඉවුරේ සිටි විහඟ සහ මිහිණි පුදුමයෙන් බලා සිටියහ.
"විනාඩි හයක්..." විහඟ ඔරලෝසුවක් වැනි යමක් දෙස බලමින් මිමිණුවේය. "ඒ වගේම... ඔහු වතුර රත් කළා."
තටාකයේ ජලය නටන වතුර මෙන් බුබුළු දමමින් තිබුණි. වෙනුෂ් වටා සුදු පැහැති වාෂ්ප වලාවක් නිර්මාණය වී තිබුණි.
වෙනුෂ් ගොඩට පිහිනා ආවේය. ඔහුට මහන්සියක් දැනුනේ නැත. ඒ වෙනුවට ඔහුගේ සිරුර තුළ අලුත් බලයක් ක්‍රියාත්මක වන බවක් දැනුණි.
"කොහොමද මම ඒක කළේ?" වෙනුෂ් තමන්ගේ අත් දෙස බලමින් ඇසුවේය.
"ඔයා නිකම්ම මනුෂ්‍යයෙක් නෙවෙයි වෙනුෂ්," මිහිණි සිනාසෙමින් ඔහුට තුවායක් වැනි රෙද්දක් දිගු කළාය. "ඔයා තුළ ගින්දර පාලනය කිරීමේ හැකියාව තියෙනවා. අග්නි වගේම."
"මොකක්?" විහඟගේ දෑස් පටු විය. "අග්නි වගේ? ඒක භයානකයි. ගින්දර පාලනය කරන්න පුළුවන් කෙනෙක් අපේ පැත්තේ ඉන්න එක හොඳයි වගේම නරකයි. පාලනය ගිලිහුණොත් ඔයා අපි ඔක්කොම පුච්චලා දායි."
"එහෙනම් මට පාලනය උගන්නන්න." වෙනුෂ් ස්ථිර හඬින් කීවේය.
ඒ මොහොතේම ඈත අහසේ කළු පැහැති පක්ෂියෙක් කෑගසාගෙන විහඟ වෙත පියාසර කළේය. විහඟ ඌව අතට ගෙන ඌගේ කකුලේ බැඳ තිබූ යමක් ලිහා බැලුවේය.
ඔහුගේ මුහුණ අඳුරු විය.
"ප්‍රශ්නයක්..." විහඟ පණිවිඩය කියවමින් කීවේය. "අග්නිගේ හමුදාව 'වන හදවත' තියෙන තැන හොයාගෙන. ඔවුන් අඳුරු මිටියාවතට ඇතුල් වෙලා."
"අපිට දැන්ම යන්න වෙනවා." මිහිණි කලබල විය.
"ඒත් වෙනුෂ් තාම ලෑස්ති නෑ!" විහඟ විරුද්ධ විය.
"ලෑස්ති වුණත් නැතත්, මම එනවා." වෙනුෂ් නැගිට්ටේය. "මගේ සීයා පටන් ගත්ත දේ මම ඉවර කරන්න ඕනේ."
"අපි යනවා නම් යන්න ඕනේ 'සුළං මාවත' දිගේ. ඒක තමයි වේගවත්ම ක්‍රමය." විහඟ අහස දෙස බලමින් කීවේය. ඔහුගේ හඬේ තිබුණේ හදිසි බවකි.
"සුළං මාවත?" වෙනුෂ් ප්‍රශ්නාර්ථයෙන් බැලුවේය.
"බය වෙන්න එපා. මම උදව් කරන්නම්." මිහිණි වෙනුෂ්ගේ පිටට අත තැබුවාය. "ඔයාගේ ඇඟ බර කරන්න එපා. හිත සැහැල්ලු කරගන්න. හුළඟට ඉඩ දෙන්න."
විහඟ පළමුව ඉදිරියට පැන්නේය. ඔහු යෝධ ගස්වල අතු අගිසි මතට පැන, එතැනින් තවත් අත්තකට පනිමින් ගමන් කළේ හරියටම දිය යට පිහිනන මත්ස්‍යයෙකු මෙනි. මිහිණි ද ඔහු පසුපසින් ඇදී ගියාය. වෙනුෂ්, දෙවරක් නොසිතා ඔවුන් පසුපස පැන්නේය.
පුදුමයකි! වෙනදා නම් මෙවැනි පිම්මක් පැනීම කකුල් කඩා ගැනීමට හේතු වනු ඇත. නමුත් මේ ආරණ්‍යයේ ගුරුත්වාකර්ෂණය පෘථිවියට වඩා වෙනස් බව වෙනුෂ්ට පසක් විය. ඔහු අත්තක් මත පය තබන විට එය දුන්නක් මෙන් ක්‍රියා කර ඔහුව ඉදිරියට තල්ලු කළේය. සුළඟ ඔහු වටා එතී ඔහුව ඔසවා තැබුවේය.
ඔවුන් ගමන් කළේ අතිශය වේගයෙනි. හරිත වර්ණ වනාන්තරය ඔවුන්ගේ දෙපසින් බොඳ වී ගියේය. නමුත් ටික වේලාවක් යද්දී පරිසරය වෙනස් වන්නට විය.
දීප්තිමත් කොළ පැහැති ගස් වෙනුවට දැන් දකින්නට ලැබුණේ අළු පැහැ ගැන්වුණු, කොළ හැලුණු වියළි ගස් ය. මල් සුවඳ වෙනුවට පිළිස්සුණු ලී සුවඳක් නහයට දැනෙන්නට විය. අහස ද අඳුරු අළු පැහැයකට හැරී තිබුණි.
"පරෙස්සමෙන්... අපි 'අඳුරු මිටියාවත' මායිමට ආවා." විහඟ ගමන බාල කරමින්, විශාල මිය ගිය ගසක අත්තක් මත නතර විය.
වෙනුෂ් සහ මිහිණි ද ඔහු අසලින් ගොඩ බැස්සහ.
ඔවුන් ඉදිරියේ තිබුණේ හදවත කම්පා කරවන දසුනකි.
එය අති විශාල ප්‍රපාතයකි. ප්‍රපාතය පහළ මීදුමෙන් වැසී තිබුණද, ඒ මීදුම අතරින් තැනින් තැන රතු පැහැති එළි දිලිසෙනු පෙනුණි. ඒ අග්නිගේ සේනාවයි. මිටියාවතේ තිබූ ගස් සියල්ලම පාහේ කළු වී, කර වී ගොස් තිබුණේ අකුණු සැර වැදුණාක් මෙනි.
"මේක හරියට සොහොන් පිටියක් වගේ..." වෙනුෂ්ට කියැවුණි.
"මේ ඉස්සර ආරණ්‍යයේ ලස්සනම තැනක්." මිහිණි කනගාටුවෙන් කීවාය. "අග්නිගේ හුස්ම වැදුණු හැම තැනම වෙන්නේ මේකයි. ජීවය හිඳිලා යනවා."
"අර බලන්න," විහඟ පහළට ඇඟිල්ල දිගු කළේය.
මිටියාවතට ඇතුල් වන පටු ගල් දුර්ගය අසල අමුතු ජීවීන් පිරිසක් මුර කරමින් සිටියහ. ඔවුන් වෙනුෂ් කලින් දුටු 'අළු බූතයන්ට' වඩා වෙනස්ය. මොවුන්ගේ සිරුරු සාදා තිබුණේ ගිනියම් වූ පාෂාණවලිනි. ඔවුන්ගේ අතේ ගිනි දැල් විහිදෙන දිගු හෙල්ල තිබුණි.
"ගිනි භටයෝ (Lava Soldiers)..." විහඟ මිමිණුවේය. "උන් එක්ක හැප්පෙන්න ලේසි නෑ. උන්ගේ ඇඟට ගැහුවොත් අපේ ආයුධ දිය වෙලා යනවා."
"ඉතින් අපි කොහොමද ඇතුළට යන්නේ? වන හදවත තියෙන්නේ ඔය මිටියාවතේ කෙළවරේ තියෙන ගුහාවේ නේද?" වෙනුෂ් ඇසුවේය. ඔහු තම ගෘහ නිර්මාණ ශිල්පී ඇසින් භූමියේ පිහිටීම නිරීක්ෂණය කළේය.
"අපිට උන්ව මග ඇරලා යන්න වෙනවා." මිහිණි කීවාය.
"බෑ... උන්ට රස්නය දැනෙනවා. අපේ ඇඟේ උෂ්ණත්වය ඔවුන්ට රේඩාර් එකක් වගේ අහුවෙනවා." විහඟ පැහැදිලි කළේය. "අපිට තියෙන එකම ක්‍රමය තමයි..."
විහඟගේ දෑස් වෙනුෂ් වෙත යොමු විය.
"මම?" වෙනුෂ් තිගැස්සුණේය.
"ඔව්. ඔයාගේ ඇඟ ඇතුළේ තියෙන්නේ ගිනි බලය. ඔයාට පුළුවන් නම් ඔයාගේ ඇඟේ උෂ්ණත්වය පාලනය කරලා, එයාලගේ උෂ්ණත්වයට සමාන කරගන්න, එයාලා හිතයි ඔයා එයාලගෙන් කෙනෙක් කියලා."
"විහඟ, ඒක භයානකයි!" මිහිණි විරුද්ධ විය. "වෙනුෂ් තාම එයාගේ බලය හරියට දන්නේ නෑ. එයාට පාලනය නැති වුණොත් එයා අළු වෙලා යයි."
"වෙන විකල්පයක් නෑ මිහිණි. අග්නිගේ ප්‍රධාන සෙන්පතියා 'දූමක' දැනටමත් ඇතුළට ගිහින් ඇති. අපි පරක්කු වුණොත් ඔක්කොම ඉවරයි."
වෙනුෂ් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේය. මේ මොහොතේ ඔහුට දැනුනේ තමා ආධුනිකයෙකු ලෙසය. නමුත් තමාට පවරා ඇති වගකීම සුළුපටු නොවේ.
"හරි... මම ට්‍රයි කරන්නම්. මම මොකද කරන්න ඕනේ?" වෙනුෂ් ඉදිරිපත් විය.
"ඔයා ඉස්සරහට යන්න. අපි දෙන්නා ඔයාගේ හෙවනැල්ල වගේ පස්සෙන් එන්නම්. ඔයා එයාලගේ අවධානය වෙන පැත්තකට ගන්න ඕනේ." විහඟ උපදෙස් දුන්නේය. "හැබැයි මතක තියාගන්න වෙනුෂ්, ගින්දර කියන්නේ කීකරු බල්ලෙක් වගේ නෙවෙයි, බඩගිනි වුණු කොටියෙක් වගේ. බය වෙන්න එපා. බය වුණොත් ගින්දර ඔයාව ගිලගන්නවා."
වෙනුෂ් හිස වැනුවේය. ඔහු ගැඹුරු හුස්මක් ගෙන ගල් පර්වත අතරින් පහළට බැස්සේය.
ඔහු ගිනි භටයන් අසලට ළං වත්ම, දැඩි උෂ්ණත්වයක් දැනෙන්නට විය. හරියට උඳුනක් ළඟට ගියා වැනිය. ඔහුගේ හදවත වේගයෙන් ගැහුණද, ඔහු සිත එකලස් කරගත්තේය. 'මම ගින්දර... මම ගින්දර...' ඔහු සිතින් මතුරන්නට විය.
පුදුමයකට මෙන්, ඔහුගේ අත්ල රත් වෙන්නට පටන් ගත්තේය. සම මතුපිටින් සිහින් දුමාරයක් නැගුණි. ඔහුට දැනුණු දැඩි උෂ්ණත්වය ක්‍රමයෙන් සාමාන්‍ය බවට පත් විය.
ඔහු ගල් කුළු අතරින් එළියට පැමිණියේය.
මුරට සිටි ගිනි භටයන් තිදෙනා එකවරම ආපසු හැරුණහ. ඔවුන්ගේ රතු පැහැති ඇස් වෙනුෂ් වෙත යොමු විය. ඔවුන් අත වූ ගිනි හෙල්ල වෙනුෂ් දෙසට එල්ල විය.
"කවුද තෝ?" එක් භටයෙක් ගොරෝසු හඬින් ඇසුවේය. උගේ කටින් ගිනි පුපුරු විසි විය.
වෙනුෂ් කෙළින් සිට ගත්තේය. ඔහු තම දකුණු අත ඔසවා, කලින් දිය යටදී දැනුණු බලය ආයාසයෙන් කැඳවීය. ඔහුගේ අත වටා කුඩා ගිනි ජාලාවක් නිර්මාණය විය.
"මම... මම දූමක තුමාගේ පණිවිඩකරුවෙක්." වෙනුෂ් නිර්භීතව බොරුවක් කීවේය. "මට වහාම ඇතුළට යන්න ඕනේ."
ගිනි භටයන් එකිනෙකා දෙස බැලූහ. වෙනුෂ්ගේ අතේ ඇති ගින්දර දැක ඔවුන් මඳක් පසුබෑවහ. සාමාන්‍ය මිනිසෙකුට හෝ ආරණ්‍යයේ ජීවියෙකුට මෙසේ ගින්දර දැරිය නොහැක.
"පණිවිඩකරුවෙක් නම් ඇයි තනියම ආවේ?" අනෙක් භටයා සැකයෙන් ඇසුවේය. ඌ වෙනුෂ් වෙත අඩියක් ඉදිරියට තැබුවේය. "උඹේ ගඳ වෙනස්... උඹේ ගඳ අමුයි."
වෙනුෂ්ගේ හිත ගැස්සී ගියේය. ඔහුගේ සැලැස්ම අසාර්ථක වීමට යයි.
එවිටම, වෙනුෂ්ට පිටුපසින් තිබූ ගල් පර්වතය මතින් අමුතු ශබ්දයක් ඇසුණි. හරියට ගලක් පෙරළෙන හඬක් වැනිය. භටයන්ගේ අවධානය එදෙසට යොමු විය.
"මොකක්ද ඒ?"
ඒ ක්ෂණයෙන් ප්‍රයෝජන ගත් වෙනුෂ්, තම අතේ තිබූ ගිනි බෝලය මුර භටයාගේ මුහුණටම එල්ල කළේය.
"දුවන්න!" වෙනුෂ් කෑගැසුවේය.
සැඟවී සිටි විහඟ සහ මිහිණි අකුණු සැර මෙන් ඉදිරියට පැන්නහ. විහඟ තම ලී හෙල්ලය කරකවා එක් භටයෙකුගේ පාදවලට පහර දුන්නේය. පුදුමයි! ඒ ලී හෙල්ලය ගිනි භටයාගේ පාදයේ වැදීමත් සමඟ නිල් පැහැති ආලෝකයක් විහිදුවා භටයාව ගල් බවට පත් කළේය.
"මේක පුරාණ හෙල්ලයක්!" විහඟ සිනාසෙමින් කීවේය.
මිහිණි අත් දෙක එකතු කර වාතයේ තිබූ ජල වාෂ්ප එක්රොක් කර අයිස් හෙල්ලයක් සාදා අනෙක් භටයාගේ පපුවට එල්ල කළාය. ඌ හුමාලය පිට කරමින් ඇද වැටුණි.
මුරපොල බිඳ වැටුණි. නමුත් ශබ්දය නිසා මිටියාවත ඇතුළත සිටි තවත් සතුරන් අවදි වන හඬ ඇසෙන්නට විය.
"දැන් ඉතින් හැංගිලා සෙල්ලම් කරන්න බෑ. දුවමු!" වෙනුෂ් කෑගැසුවේය.
ඔවුන් තිදෙනා මිටියාවතේ අඳුරු ගුහාව දෙසට දිව ගියහ.
ගුහාවට ඇතුල් වන විටම පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් විය. පිටත තිබූ වියළි බව වෙනුවට ඇතුළත තිබුණේ දැඩි සීතලකි. ගුහාවේ බිත්තිවල දිලිසෙන නිල් පැහැති පාෂාණ තිබුණි.
"වන හදවත තියෙන්නේ මේ ගුහාව පතුලේ. මේක භූගත මාලිගාවක්." මිහිණි හති අරිමින් කීවාය.
නමුත් ඔවුන්ට වැඩි දුරක් යාමට නොහැකි විය. ඔවුන් ඉදිරියේ අඳුරෙන් මතු වූයේ යෝධ රූපයකි.
ඔහු අඩි හතක් පමණ උසැතිය. මුළු සිරුරම වැසෙන සේ කළු පැහැති යකඩ සන්නාහයක් හැඳ සිටියේය. ඔහුගේ මුහුණ වැසී තිබුණේ දුමාරයකිනි.
"අන්තිමේදී... අමුත්තෝ ඇවිල්ලා."
ඒ 'දූමක' ය. අග්නිගේ දකුණු අත.
"වනරාජ පරම්පරාවේ පැටියා..." දූමකගේ හඬ ගුහාව පුරා දෝංකාර දුන්නේය. "නුඹේ සීයා පණපිටින් ගියාට, නුඹට නම් යන්න වෙන්නේ නෑ."
දූමක අත ඔසවත්ම, ගුහාවේ බිම දෙබෑ වී ගිනියම් ලාවා දියර ගලා එන්නට පටන් ගත්තේය. වෙනුෂ්, මිහිණි සහ විහඟ කොටු විය. එක් පසෙකින් ලාවා ගඟකි. අනෙක් පසින් දූමකය.
"වෙනුෂ්," විහඟ රහසින් කීවේය. "මේ ගුහාවේ වහල හදලා තියෙන්නේ හුණුගල් වලින්. ඔයාට පුළුවන් නම් ඔයාගේ රස්නය පාවිච්චි කරලා වහල පුපුරවන්න, අපිට පැනගන්න පුළුවන් වෙයි."
"ඒත් එතකොට අපි යට වෙයි!" වෙනුෂ් බියෙන් කීවේය.
"නෑ, මිහිණිට පුළුවන් අපි වටේට ආරක්ෂිත ආවරණයක් හදන්න. ඉක්මන් කරන්න! ලාවා ටික අපේ කකුල් ළඟටම ඇවිල්ලා."
වෙනුෂ් ඉහළ බැලුවේය. ගෘහ නිර්මාණ ශිල්පියාගේ මනස ක්‍රියාත්මක විය. ඔහු ගුහාවේ වහලයේ ඇති දුර්වලම ස්ථානය (Keystone) හඳුනා ගත්තේය.
"මිහිණි, ලෑස්ති වෙන්න!"
වෙනුෂ් මුළු ශක්තියම යොදා, අත් දෙකම ඉහළට ඔසවා විශාල ගිනි බෝලයක් වහලයේ මධ්‍යයට එල්ල කළේය.
"නෑ!" දූමක කෑගැසුවේය.
ගුහාව දෙදරුම් කෑවේය. විශාල ගල් පර්වත කඩා වැටෙන්නට විය. ඒ සමඟම මිහිණි ජල බුබුළක් නිර්මාණය කර ඔවුන් තිදෙනාව ආවරණය කළාය.
මුළු ලෝකයම අඳුරු විය.
ඝන අන්ධකාරය මැදින් ඇසුණේ හුස්ම ගන්නා හඬ පමණි. ගල් පර්වත කඩා වැටෙන භයානක ශබ්දය දැන් නතර වී තිබුණි. මිහිණිගේ ජල බුබුළ ක්‍රමයෙන් දිය වී ගියේ සිහින් දිය දහරාවන් ලෙස ඔවුන්ගේ ඇඟ මතට වැටෙමිනි.
වෙනුෂ් සෙමින් දෑස් විවර කළේය. මුළු ඇඟම රිදුම් දෙමින් තිබුණි. දූවිලි පිරුණු වාතය නිසා කටුක කැස්සක් ඇති විය.
"මිහිණි... විහඟ..." ඔහු අඳුරේ අතගාමින් කතා කළේය.
"අපි හොඳින්..." විහඟගේ හඬ ඇසුණේ මඳක් ඈතිනි. ඔහු වහාම සාක්කුවෙන් ගත් අමුතු දිලිසෙන ගලක් දල්වා ගත්තේය.
ඒ එළියෙන් ඔවුන් දුටුවේ තමන් සිටින තැනයි. ගුහාවේ වහල කඩා වැටීම නිසා ඔවුන් පතිත වී තිබුණේ ඊටත් වඩා ගැඹුරු, මෙතෙක් කිසිවෙකු නොදුටු භූගත උමං මාර්ගයකටය. ඉහළින් වැටුණු යෝධ ගල් කුට්ටි ටොන් ගණනක් නිසා දූමක සහ ඔහුගේ ගිනි භටයන් සිටි ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබුණි. වාසනාවකට මෙන්, දූමකගේ ග්‍රහණයෙන් ඔවුන් තාවකාලිකව ගැලවී ඇත.
මිහිණි බිම වාඩි වී වෙහෙස නිවා ගනිමින් සිටියාය. ඇගේ මුහුණ සුදුමැලි වී තිබුණද, ඇය වෙනුෂ් දෙස බලා සහනදායී සිනහවක් පෑවාය.
"ඔයා ඒක කළා වෙනුෂ්... ඔයා අපිව බේරගත්තා. මම දැනගෙන හිටියා ඔයාට පුළුවන් කියලා."
වෙනුෂ් තමාගේ දෑත් දෙස බැලුවේය. මීට දිනකට පෙර සැලසුම් අඳිමින් පෑනක් අල්ලාගෙන සිටි මේ දෑත්, අද ගින්දර පාලනය කරමින් යෝධ පර්වත පුපුරවා හැරියේය. අත්ල මත වූ පිලිස්සුම් කැළැල් දෙස බලද්දී, ඔහු තවදුරටත් කොළඹ සිටි සාමාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පියා පමණක් නොවන බව ඔහුට පසක් විය. ඔහු දැන් මේ ලෝක දෙකේම ඉරණම කරපින්නා ගත් ආරක්ෂකයෙකි.
විහඟ ඉදිරියට ගොස් උමග දෙස පරීක්ෂාකාරීව බැලුවේය.
"මේ පාර කොහාට යනවද කියලා මම දන්නේ නෑ. හැබැයි අපිට ආපහු හැරෙන්න විදියකුත් නෑ. 'වන හදවත' තියෙන්න ඕනේ මේ පාරේ කෙළවරේ."
වෙනුෂ් අමාරුවෙන් නැගිට ඇඳුමේ දූවිලි ගසා දමා ගත්තේය. ඔහුගේ දෑස්වල තිබුණේ අලුත් දීප්තියකි. බිය වෙනුවට එහි තිබුණේ අධිෂ්ඨානයකි.
"අපි යමු..." වෙනුෂ් අඳුරු උමග දෙස බලමින් දැඩි හඬින් කීවේය. "වන හදවත හොයාගෙන අග්නිව ඉවර කරනකම්, අපි නවතින්නේ නෑ."
උමග කෙළවරින් හමා ආ සිසිල් සුළඟක් ඔවුන්ගේ මුහුණේ වැදුණි. එය අලුත් ගමනක, අලුත් අභියෝගයක ඇරඹුමක සංඥාවකි. මායා දොරටුවෙන් ඇරඹුනු කතාවේ භයානකම කොටස දැන් ඇරඹුණා පමණි.
අදහස් (0)
තවම අදහස් නැත. පළමුවැන්නා වන්න!