අඳුරු සමයේ උරුමකරුවෝ.. - Chapter 2

by Uma

යාන්ත්‍රික වෘකයන් දෙදෙනාගේ යකඩ හකු වේගයෙන් ක්‍රියාත්මක විය. උන්ගේ කටවල් තුළින් නිල් පැහැති විදුලි පුපුරු විහිදෙමින් තිබුණි. උන්ගේ ඉලක්කය වූයේ කුඩා සඳුන් සහ අරණ්‍යා ය.

"සඳුන්! දුවන්න!" අරණ්‍යා කෑගැසුවාය.

ඇය සඳුන්ව ඇදගෙන පසෙකට පැන්නේ යාන්ත්‍රික වෘකයෙකුගේ තියුණු යකඩ නියපොතු පාර ඇගේ උරහිස අඟලක් ළඟින් ඇදී යද්දීය. බිත්තියේ කොන්ක්‍රීට් කැබලි පුපුරා ගියේය.

"අක්කේ! අර කූඩුව! එයාට උදව් කරන්න!" සඳුන් බියෙන් කෑගැසුවේය.

අරණ්‍යා ආපසු හැරී බැලුවාය. යකඩ කූඩුව ඇතුළේ සිටි අග්නිරා, දෑත් වලින් යකඩ කූරු තදින් අල්ලාගෙන සිටියාය. අරණ්‍යා කලින් දුටුවාට වඩා පැහැදිලිව දැන් ඇයව දුටුවාය. අඳුර නිසා කලින් නොපෙනුනද, ඇය ඉතා තියුණු දෑස් ඇති, කෙට්ටු නමුත් ශක්තිමත් ශරීරයක් හිමි තරුණියකි. ඇගේ කොණ්ඩය ගිනි සිළුවක් මෙන් අවුල් වී ඉහළට විහිදී තිබුණි. ඇය ඇඳ සිටි කිලිටි ඇඳුම් අතරින් ඇගේ පපුව වේගයෙන් ගැහෙන අයුරු පෙනුණි.

"මට එළියට එන්න ඕනේ!" අග්නිරාගේ කටහඬ ගොරෝසු වුවද එහි ගැහැණු බවක් ගැබ් වී තිබුණි. "මට යතුර දෙන්න!"

"යතුරු නෑ! ඔයාගේ බලය පාවිච්චි කරන්න!" අරණ්‍යා කෑගැසුවාය. "ඔයා ගින්න! යකඩ නෙවෙයි!"

යාන්ත්‍රික වෘකයා දෙවන වරටත් අරණ්‍යා වෙත පැන්නේය. මෙවර ඌව මගහැරීම පහසු නැත. අරණ්‍යා සිය දෑස් පියාගෙන මරණය බාරගැනීමට සැරසුණාය.

නමුත් හදිසියේම මුළු සිර මැදිරියම රතු එළියෙන් නැහැවී ගියේය. දැඩි උෂ්ණත්වයක් පැතිර ගියේය.

"ආආආආහ්!"

අග්නිරාගේ විලාපයත් සමඟ කූඩුවේ යකඩ කූරු ඉටි පන්දම් මෙන් දිය වී බිමට වැටුණි. ඇය කූඩුවෙන් එළියට පැන්නේ කෝප ගත් සිංහ ධේනුවක් ලෙසිනි. ඇගේ දෑත් වටා රවුමට ගිනි බෝල දෙකක් කරකැවෙමින් තිබුණි.

එක වෘකයෙක් අග්නිරා දෙසට හැරුණි. අග්නිරා මහ හඬින් සිනාසී, ගිනි බෝලයක් ඌ වෙතට දමා ගැසුවාය.

'බුම්!'

යකඩ වෘකයාගේ හිස කොටස පුපුරා ගොස්, ඇතුළේ තිබූ වයර් සහ චිප්ස් උණු වී බිමට වැටුණි. ඌ පණ නැති යකඩ ගොඩක් ලෙස ඇද වැටුණේය.

අනිත් වෘකයා මෙය දැක පසුබට විය. අරණ්‍යා වහාම සඳුන්ව ඔසවාගෙන අග්නිරා අසලට දිව ගියාය.

"අපි යන්න ඕනේ! තව මුරකරුවෝ එනවා!" අරණ්‍යා අග්නිරාගේ උරහිසට අත තිබ්බාය.

අග්නිරා ගැස්සී අරණ්‍යා දෙස බැලුවාය. ඇගේ ඇස්වල තාමත් තිබුණේ මිනීමරු බැල්මකි. "නුඹ... නුඹ මාව නිදහස් කළා?" ඇය ඇසුවේ විශ්වාස කළ නොහැකි ලෙසිනි. "ඇයි?"

"මොකද අපිට එකතුවෙලා කරන්න ලොකු වැඩක් තියෙනවා," අරණ්‍යා හති දමමින් කීවාය. "දැන් ප්‍රශ්න අහන්න වෙලාවක් නෑ. සඳුන්, පාර පෙන්නන්න!"

"මේ පැත්තෙන්! කුණු කාණුව අයිනෙන් පොඩි හිඩසක් තිබුණා!" සඳුන් ඉදිරියට දිව ගියේය.

තරුණියන් දෙදෙනා ඔහු පසුපස දිව ගියහ. අග්නිරා දුවන අතරතුරත් බිත්තිවලට අත තබමින් ගියේය. ඇය ස්පර්ශ කරන සෑම තැනකම අඟුරු බවට පත් විය. ඇගේ සිරුරේ උෂ්ණත්වය කොතරම්ද කියතොත් අරණ්‍යාට ඇය අසලින් දුවන විටත් සම පිච්චෙන බවක් දැනිණි.

ඔවුන් පටු උමගක් දිගේ රිංගා, 'පහළ නගරයේ' ජනාකීර්ණ වෙළඳ වීදියකට ඇද වැටුණි.

එතැන දර්ශනය හාත්පසින්ම වෙනස් විය. ඉහළ නගරයේ මෙන් නොව, මෙහි මිනිසුන් දහස් ගණනක් තෙරපෙමින් සිටියහ. තැනින් තැන පත්තු වන ගිනි ගොඩවල්, කළු වෙළඳාම්කරුවන්, හිඟන්නන් සහ රෝගීන්ගෙන් පිරුණු මේ ස්ථානය අපායක් බඳු විය. කිසිවෙකු ඔවුන් දෙස විශේෂයෙන් බැලුවේ නැත. මන්ද මෙහි සිටින සියල්ලන්ම පෙනුනේ අමුතු ආකාරයටය.

අරණ්‍යා අඳුරු අතුරු පාරකට සඳුන් සහ අග්නිරාව ඇදගෙන ගියාය.

"දැන් අපි ආරක්ෂිතයි," අරණ්‍යා බිත්තියට හේත්තු වී හුස්ම ගත්තාය. ඇය අග්නිරා දෙස හොඳින් බැලුවාය.

ගින්දර නිවුණු පසු අග්නිරා පෙනුනේ ඉතාම හෙම්බත් වූ තරුණියක් ලෙසය. ඇගේ මුහුණේ අළු තැවරී තිබුණත්, ඇගේ අඟුරු පාට දෑස්වල තිබුණේ අමුතුම දීප්තියකි. ඇගේ අත්වල මැණික් කටුවල යකඩ විලංගු නිසා ඇති වූ තුවාල තවමත් අමු අමුවේ තිබුණි.

"ඔයාගේ නම මොකක්ද?" අරණ්‍යා මෘදු හඬින් ඇසුවාය.

"මම දන්නේ නෑ," අග්නිරා බිම බලාගෙන පිළිතුරු දුන්නාය. "උන් මට කතා කළේ 'අංක 7' කියලා. ඒත්... මගේ ඔළුවේ නිතරම රැව් දෙන නමක් තියෙනවා."

"මොකක්ද?"

"අග්නිරා..." ඇය ඒ නම කියද්දී ඇගේ දෑස්වලින් කුඩා ගිනි පුපුරක් පැන්නාය.

"ඔව්. ඔයා අග්නිරා. ගින්නේ උරුමකාරිය," අරණ්‍යා සිනාසුණාය. ඇය තමාගේ මල්ලෙන් වතුර බෝතලයක් ගෙන ඇයට දුන්නාය. නමුත් අග්නිරා එය ප්‍රතික්ෂේප කළාය.

"වතුර එපා. මට... මට ගල් අඟුරු ටිකක් හොයලා දෙන්න පුළුවන්ද? මට බඩගිනියි."

සඳුන් කට ඇරගෙන බලා සිටියේය. "මොකක්? ගල් අඟුරු කන්න?"

"මගේ ඇඟේ ගින්දර පත්තු වෙලා තියෙන්න ඉන්ධන ඕනේ," අග්නිරා දුර්වල ලෙස බිත්තිය දිගේ පහතට ලිස්සා වැටුණාය. "නැත්නම් මම නිවිලා යයි. මම නිවුනොත්... මම මැරෙනවා."

අරණ්‍යාට කාරණය වැටහුණි. මේ පස් දෙනාම සාමාන්‍ය මනුෂ්‍යයන් නොවේ. ඔවුන් ජීවත් වන්නේ තම තමන්ගේ මූලද්‍රව්‍ය මතය.

"සඳුන්, ඔයා දන්නවද මෙහේ අඟුරු විකුණන තැනක්?" අරණ්‍යා ඇසුවාය.

"පහළ පාරේ කම්මලක් තියෙනවා. එතන අඟුරු ඇති. ඒත් අපිට සල්ලි නෑනේ අක්කේ," සඳුන් කීවේය.

අරණ්‍යා ඇගේ ගෙල බැඳි කුඩා රිදී මාලය ගැලවූවාය. මෙය ඇගේ මවගෙන් ඉතිරි වූ එකම මතකයයි. නමුත් අග්නිරා බේරා ගැනීම ඊට වඩා වටී.

"මේක දීලා අඟුරු ගේන්න. පරිස්සමෙන්," ඇය මාලය සඳුන් අත තැබුවාය.

සඳුන් දිව ගිය පසු, අරණ්‍යා සහ අග්නිරා අඳුරු වීදියේ තනි විය.

"ඔයා කවුද?" අග්නිරා හදිසියේම ඇසුවාය. "ඔයා මගේ යකඩ කූඩුව අල්ලපු වෙලාවේ... මට දැනුනා අමුතු සිසිලසක්. ඒක වතුර වගේ නෙවෙයි. ඒක... හුළඟක් වැදුනා වගේ."

"මම අරණ්‍යා," ඇය අග්නිරාගේ තුවාල වී තිබූ අතක් සෙමින් අල්ලා ගත්තාය. "මම ගස්වලට, වැල්වලට කතා කරනවා. ඔයා ගින්දර වගේම, මම වනාන්තරය."

අරණ්‍යාගේ අත්ලෙන් නිකුත් වූ කොළ පැහැති ආලෝකය අග්නිරාගේ තුවාලය වටා එතෙන්නට විය. අග්නිරා වේදනාවෙන් ඇඹරුණද, ඇය අත අහකට ගත්තේ නැත.

"අපි දෙන්නා එකතු වෙන්න හොඳ නෑ," අග්නිරා මිමිණුවාය. "ගස් සහ ගින්දර... අපි ළං වුණොත් විනාශයක් වෙන්නේ."

"සමහර විට," අරණ්‍යා අග්නිරාගේ දෑස් දෙස කෙලින් බැලුවාය. "හැබැයි මේ අළු නගරය විනාශ කරන්න ඕනේ නම්, ඒ විනාශය අපි දෙන්නා එකතුවෙලා පටන් ගමු."

ඒ මොහොතේ අඳුරු අහසේ විශාල පිපිරුම් හඬක් ඇසුණි. යකඩ නගරයේ ප්‍රධාන බලකොටුව දෙසින් නිල් පැහැති ආලෝක ධාරාවක් අහසට විහිදුණි.

"ඒ මොකක්ද?" අග්නිරා බියෙන් ගැහෙන්නට විය.

"අද්මිරාල් ධීර," අරණ්‍යා නැගී සිටියාය. "එයා තව කෙනෙක්ව හොයාගෙන. නිල් එළිය... ඒ කියන්නේ වතුර."

"වතුරේ එක්කෙනා?" අග්නිරාගේ මුහුණේ ඇඳුණේ පිළිකුලකි. "මට එයාව දැනෙනවා. එයා ඉන්නේ ලොකු වේදනාවකින්."

විනාඩි කිහිපයක් ගත වුවද එය අරණ්‍යාට පැය ගණනක් මෙන් දැනිණි. අඳුරු අතුරු වීදියේ සීතල පොළොව මත වැතිර සිටි අග්නිරාගේ හුස්ම ගැනීම වේගවත් වී තිබුණි. ඇගේ සම මතුපිට අළු පාට වී, ඉරිතලා ගොස් තිබුණේ නිවී යන ගිනි අඟුරක් මෙනි.

"එයාට අමාරුයි," සඳුන් එනතුරු බලා සිටි අරණ්‍යා, අග්නිරාගේ නළලත ස්පර්ශ කළාය. එය දැන් උණුසුම් නැත. එය අයිස් මෙන් සීතලය. ගින්දර නැති ගිනි උරුමකාරිය මරණයට අත වනමින් සිටියාය.

"එනවා... එනවා..." අරණ්‍යා තමන්ටම කියා ගත්තාය.

තවත් විනාඩි දෙකකට පසු, අඳුර අතරින් කුඩා රූපයක් මතු විය. සඳුන් හති දමමින්, පපුව අල්ලාගෙන දිව ආවේය. ඔහුගේ අතේ පත්තර කොළයක ඔතන ලද කුඩා පාර්සලයක් විය.

"ගෙනාවා!" සඳුන් අරණ්‍යා අසල දණ ගැසුවේය. "කම්මලේ මිනිහා මාලේ ගත්තා. හැබැයි දුන්නේ මේ ටික විතරයි. එයා කිව්වා හොඳම වර්ගයේ 'කළු ගල්' කියලා."

අරණ්‍යා වහාම පාර්සලය ලිහා බැලුවාය. එහි වූයේ තද කළු පැහැති, දිලිසෙන ගල් අඟුරු කැබලි අතලොස්සකි. ඇය එය අග්නිරාගේ මුව අසලට ළං කළාය.

"අග්නිරා, නැගිටින්න. කන්න."

අග්නිරා අමාරුවෙන් දෑස් හැරියාය. ගල් අඟුරු සුවඳ දැනුණු සැණින් ඇගේ දෑස්වල අඳුරු වී තිබූ රතු එළිය නැවතත් දැල්වුණි. ඇය වෙව්ලන දෑතින් අඟුරු කැබැල්ලක් ගෙන මුවට දමා ගත්තාය.

සඳුන් බියෙන් දෑස් පියා ගත්තේය. මිනිසෙකු ගල් අනුභව කරන හඬ ඇසීම පවා වේදනාකාරී විය. 'කටුස්... කටුස්...' හඬින් අඟුරු කැබැල්ල ඇගේ දත් අතර පොඩි වී ගියේය.

පුදුමයකි! ඇය එය ගිල දැමූ සැණින්, ඇගේ ගෙල දිගේ රතු පැහැති ආලෝක ධාරාවක් පහළට ගමන් කරන අයුරු අරණ්‍යා දුටුවාය. අග්නිරාගේ සුදුමැලි වූ සමට නැවතත් ජීවය ලැබුණි. ඉරිතලා තිබූ තුවාල වේගයෙන් සුව වී, සම රන්වන් පැහැයට හැරුණි. ඇය වටා තිබූ වාතය රත් වී දුමාරයක් නැගුණි.

තවත් අඟුරු කැබලි දෙකක් කෑ පසු අග්නිරා දීර්ඝ හුස්මක් ගෙන කෙළින් වී වාඩි වූවාය. ඇගේ හිසකෙස් අග දැන් රතු පැහැයෙන් දිලිසෙමින් තිබුණි.

"දැන් කොහොමද?" අරණ්‍යා ඇසුවාය.

"හොඳයි," අග්නිරා ඇගේ අත්ල දෙස බැලුවාය. ඇගේ අත්ල මැද කුඩා ගිනි බෝලයක් නටමින් තිබුණි. "මට දැනෙනවා... මගේ බලය ආපහු එනවා." ඇය සඳුන් දෙස බලා සියුම් සිනහවක් පෑවාය. "ස්තූතියි පොඩි එකා."

සඳුන් ලැජ්ජාවෙන් සිනාසුණේය. "මම හිතුවේ ඔයා මැරෙයි කියලා."

"ගින්දර ලේසියෙන් මැරෙන්නේ නෑ," අග්නිරා නැගිට සිටියාය. ඇය අහස දෙස බැලුවාය. අර ඈතින් පෙනෙන නිල් ආලෝක ධාරාව තවමත් අහස විදගෙන ඉහළට විහිදෙමින් තිබුණි.

"අර නීලාරි," අග්නිරාගේ මුහුණේ ඉරියව් වෙනස් විය. එහි වූයේ කෝපය සහ කනගාටුව මුසු වූ හැඟීමකි. "මෝඩ කෙල්ල... එයා අහුවෙලා."

"අපි එයාව බේරගන්න ඕනේ," අරණ්‍යා ස්ථිර හඬින් පැවසුවාය. "අද්මිරාල් ධීර ඒ එළිය පාවිච්චි කරන්නේ මොකකට හරි ලොකු දේකට. මට හිතෙන්නේ එයා නීලාරිගේ බලය යොදාගෙන මොකක් හරි යන්ත්‍රයක් ක්‍රියාත්මක කරනවා."

"යකඩ නගරයේ ප්‍රධාන බලකොටුවට ඇතුල් වෙන එක ලේසි නෑ," අග්නිරා අනතුරු ඇඟවූවාය. "මම දන්නවා. මාව හිරකරලා තිබ්බේ එතන යට තියෙන කුටියක. එතන හැම තැනම වතුර සංවේදක (Water Sensors) තියෙනවා. මගේ ගින්දරට පුළුවන් වුණාට, ඔයාලට එතනින් යන්න බෑ."

"අපිට උඩින් යන්න බෑ," සඳුන් මැදට පැන්නේය. "හැබැයි මම දන්නවා පාරක්."

අරණ්‍යා සහ අග්නිරා දෙදෙනාම සඳුන් දෙස බැලූහ.

"පාරක්?"

"ඔව්," සඳුන් උද්යෝගයෙන් කීවේය. "අපේ තාත්තා වැඩ කළේ යකඩ නගරයේ 'වාතාශ්‍රය පද්ධතියේ' (Ventilation System). එයා මැරෙන්න කලින් මට කියලා දුන්නා, මේ මුළු නගරයටම හුළඟ බෙදන ලොකු පයිප්ප ලයින් එකක් තියෙනවා කියලා. ඒක කෙළින්ම යන්නේ බලකොටුව ඇතුළට."

"හුළඟ..." අරණ්‍යාගේ මතකයට ආවේ තවත් පුරාවෘත්තයකි. 'චන්ද්‍රා – සඳේ සහ සත්‍යයේ උරුමකාරිය'. සමහර විට සුළඟ ඔවුන්ට පාර කියනු ඇත.

"ඒ පයිප්ප ලයින් එක තියෙන්නේ කොහේද?" අග්නිරා ඇසුවාය.

"මේ ළඟ. හැබැයි ඒක ඇතුළේ ලොකු විදුලි පංකා තියෙනවා. පරිස්සමෙන් යන්න ඕනේ," සඳුන් කීවේය.

"අපි යමු," අරණ්‍යා තීරණය කළාය. "අග්නිරා, ඔයාට පුළුවන්ද යකඩ දැල් කපන්න?"

"යකඩ කියන්නේ මගේ සෙල්ලම් බඩු," අග්නිරා ඇගේ ඇඟිලි තුඩු රත් කර ගනිමින් පිළිතුරු දුන්නාය.

තිදෙනාම අඳුරු වීදි අතරින් සඳුන් පෙන්වූ දිශාවට ගමන් කළහ. නගරයේ ශබ්ද දැන් ක්‍රමයෙන් වැඩි වෙමින් තිබුණි. සයිරන් හඬවල් ළඟ ළඟම ඇසෙන්නට විය. අරණ්‍යාගේ රුව සහිත ඩිජිටල් පුවරු වීදි ලාම්පු කණු වල දැල්වෙන්නට පටන් ගෙන තිබුණි.

"අවවාදයයි! ත්‍රස්තවාදීන් නිදහස්ව ඇත. දුටු තැන දන්වන්න."

අරණ්‍යා තමාගේ මුහුණ රෙදි කඩකින් වසා ගත්තාය.

ඔවුන් පැමිණියේ විශාල කර්මාන්තශාලාවක පිටුපස තාප්පයක් අසලටය. එහි අඩි දහයක් පමණ ඉහළින් විශාල වාතාශ්‍රය කවුළුවක් විය. එයින් උණුසුම් අපිරිසිදු වාතය පිටතට පැමිණෙමින් තිබුණි.

"අන්න අතන," සඳුන් පෙන්වීය. "අර පංකාව නතර වුණු වෙලාවට අපි ඇතුළට පනින්න ඕනේ."

අග්නිරා තාප්පය දෙස බලා සමච්චලයට සිනාසුණාය. "පනින්න? මොකටද පනින්නේ?"

ඇය අත් දෙකම බිමට තබා, පොළොවෙන් ගිනි ධාරාවක් නිකුත් කළාය. ඒ සමඟම ඇය රොකට් එකක් මෙන් ඉහළට විසි වී ගොස්, වාතාශ්‍රය කවුළුවේ යකඩ රාමුව අල්ලා ගත්තාය.

"එන්න උඩට!" ඇය අත දිගු කළාය.

අරණ්‍යා, සඳුන්ව වඩාගෙන අග්නිරාගේ අතේ එල්ලුණාය. තිදෙනාම පයිප්පය තුළට රිංගා ගත්හ.

ඇතුළත අඳුරුය. දූවිලි සහ තෙල් ගඳින් පිරී තිබුණි. ඈතින් විශාල විදුලි පංකාවක් කැරකෙන 'වූ.... වූ....' හඬ ඇසුණි.

"දැන් පරිස්සමෙන්," අරණ්‍යා අනතුරු ඇඟවූවාය. "අපි මේ යන්නේ සතුරාගේ හදවතට."

ඔවුන් ඉදිරියට ඇදෙද්දී, අරණ්‍යාට අමුතු දෙයක් දැනිණි. පයිප්පය තුළ හමා ආ සුළඟ හදිසියේම වෙනස් විය. එය තාක්ෂණික සුළඟක් නොවේ. එය ස්වභාවික, සිසිල්, මල් සුවඳක් වැනි සුළඟකි.

"ඔයාලට ඒ සුවඳ දැනෙනවද?" අරණ්‍යා නතර වී ඇසුවාය.

"මොන සුවඳද? මට දැනෙන්නේ මළකඩ ගඳ විතරයි," අග්නිරා නාසය හැකිළුවාය.

"නෑ... මේක මල් සුවඳක්... සමන් පිච්ච මල් සුවඳක්..." අරණ්‍යාගේ දෑස් විශාල විය. "මේ අළු නගරයේ කොහොමද මල් සුවඳක් තියෙන්නේ?"

"සමහර විට..." සඳුන් බියෙන් වටපිට බැලුවේය. "සමහර විට අපි ඉන්නේ තනියම නෙවෙයි වෙන්න ඇති."

අඳුර අතරින් හීන් සිනහ හඬක් ඇසුණි. එය කුඩා දරුවෙකුගේ නොව, තරුණියකගේ සිනහවකි.

"බලාගෙන හිටියේ ඔයාලා එනකල්..."

ඒ හඬත් සමඟ පයිප්පය තුළ වූ අන්ධකාරය මැදින් රිදී පැහැති දීප්තිමත් දෑස් දෙකක් මතු විය.

(ඒ ආවේ කව්රු වෙන්න ඇති ද.. කතාවට ඔයාලා කැමති ද..ඔයාලගේ අදහස් කියාගෙන යන්න..like එකකුත් දාන්න..)

Advertisement
6
0
0

අදහස් (0)

තවම අදහස් නැත. පළමුවැන්නා වන්න!